29 November, 2016

පිරිමි ළමුන් කෙළෙසූ නයි හාමුදුරුවන්ට ඇපත් නෑ

දේවාලයේ කාමරයක රඳවාගෙන බාලවයස්කරුවන් දෙදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළා යැයි කියමින් මෙතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නයි හාමුදුරුවෝ නමින් ප්‍රකට ශ්‍රමණ වේශධාරියකුට එරෙහි පවරා තිබූ නඩු දෙකක් පසුගිය 21දා නැවත කැඳවූ අවස්ථාවේ සැකකාර හිමිනම යළි දෙසැම්බර් මස 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.

ඇඹව විමලතිස්ස නමින් පෙනී සිටින ශ්‍රමණ වේශධාරියකු එසේ නැවතත් රක්ෂිත භාරයට පත්වූ අතර පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු නිරන්තරයෙන් රාත්‍රි කාලයේ බීමතින් නාගයකු කරේ දමාගෙන බෙර වයමින් නටන බවත් එය මහජනතාවට මහත් පීඩාවක් බවත් ප්‍රදේශයේ බොහෝ දෙනකු මේ වන විට පොලිසියේ ඒ සම්බන්ධව පැමිණිලි කර ඇති බවත් ඇප ලබාදුනහොත් සැකකරුගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බවත්ය.

සැකකාර ශ්‍රමණ වේශධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ පොලිසිය බී වාර්තාවක් මඟින් ලිංගික අපයෝජන පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් හදි හූනියම් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ අසල විහාරස්ථානයේ හා දේවාලයේ වුවමනාවට බවත් සැකකාර හිමිනමගේ දේවාලයේ කාමරයක් කඩා රන් ආලේපිත බුදු පිළිමයක් සොරාගැනීම සම්බන්ධව මෙතෙක් කළ පැමිණිලි භාරගෙන නොමැති බවත් පැවැසූ අතර අදාළ බාලවයස්කරුවන් පොලිසියට ප්‍රකාශ ලබා දී ඇත්තේද පන්සලේ හා දේවාලයේ පිරිසගේ වුවමනාවට බවත් එය සිතාමතාම සැකකාර හිමිනමට හිංසා කිරීමේ අරමුණින් සිදුකරන ක්‍රියාවලියක් බවත්ය.

එහිදී පොලිසිය නැවත කරුණු දක්වමින් මුල් අවස්ථාවේ අදාළ ලිංගික අපයෝජනයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති බවත් එම අපයෝජනයන්ට පොලිසිය සැකකරු සෙවීමේදී මාස තුනකට අධික කාලයක් සැඟව සිටි බවත් ඒ අවස්ථාවක වාසස්ථානය කඩා බිඳ දැමූ බවට කිසිවකුගෙන් පැමිණිල්ලක් නොලද බවත් පැවැසීය. 

එමෙන්ම මේ වන විට ප්‍රදේශයේ පවත්නා තත්ත්වය අනුව සැකකරුට ඇප ලදහොත් ප්‍රදේශයේ පිරිස් කුපිත වී සැකකාර හිමිනමගේ ජීවිතයට තර්ජනයක් පවා එල්ල විය හැකි තත්ත්වයක් ප්‍රදේශය පුරා පවතින බවත් එම නිසා ඇප පනතේ 14.1 (ආ) වගන්තිය ප්‍රකාරව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටියේය.

වින්දිත දරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු කී නීතිඥවරයා පැවැසුවේ කිසිවකුට හිංසා කිරීමේ අරමුණක් පැමිණිලි පාර්ශ්වයට නොමැති බවත් දිගුකලක් ප්‍රදේශය හැරගොස් සිටි සැකකරු විසින් බාලවයස්කරුවන් මෙසේ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්ය. එම නිසා පරීක්ෂණ කටයුතු අවසන් නොමැති බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මෙන්ද ඉල්ලා සිටියේය.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා වත්මන් නීති තත්ත්වය අනුව සැකකාර ශ්‍රමණ වේශධාරියා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය.

කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හැරිසන් සෝමසිරි, උප පොලිස් පරීක්ෂක රන්බණ්ඩා, පොලිස් සැරයන් දයාරත්න (58527) යන නිලධාරීන් සමඟ නීතිඥ චම්පික ලසිත කුමාර මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකාර ශ්‍රමණ වේශධාරියා වෙනුවෙන් නීතිඥ කැලුම් හෙට්ටිගමගේ මහතා පෙනී සිටියේය.

saddathissa-hora

ගිරිඋල්ල - ඔවින් කෞශල්‍ය_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිරිමි ළමුන් කෙළෙසූ නයි හාමුදුරුවන්ට ඇපත් නෑ"

    Post a Comment