17 November, 2016

මම ඉතින් නිළිය වෙන්නේ රඟපාද්දි විතරයි

ඉවුම් පිහුම් කටයුතු එහෙම කරනවද වොල්ගා?

ඔව් උයන වැඩ ටික ෂේප් එකේ කරගෙන යනවා. මට රසට උයන්න පුළුවන් කියලා හැමෝම කියනවා. මට අක්කෙක් ඉන්නවානෙ. එයත් මගේ කෑම කන්න හරිම කැමැතියි.


වොල්ගා නපුරුයි කියලා හැමෝම කියනවා. වොල්ගා හර්ෂණටත් නපුරුකම් කරනවද?

හර්ෂණට විතරක් නෙවෙයි, මම කාටවත් නපුරු නැහැ. මම කියන දේ කෙළින් කියනවා. වහෙන් ඔරෝ නෑ. ඒ නිසා සමහරවිට මිනිස්සු හිතනවා ඇති මම නපුරුයි කියලා. මම කියන්න තියෙන දේ හංගන්නේ නෑ. නමුත් කාටවත් නපුරුකම්, දුෂ්ටකම් කරන්නේ නෑ. කෙළින් කිව්වා ඒක එතැනින් ඉවරයි.

අවුරුදු දහසකට කලින් හොඳම යාළුවා විදියට හර්ෂණව තෝරා ගැනීම ගැන අද මොනවද හිතෙන්නේ?

අනිවාර්යයෙන්ම හුඟක් සතුටුයි. දෙපාරක් හිතන්න කියන්න දෙයක් නෑ. සතුටුයි. හැම දරුවෙක්ම තාත්තාට ආදරෙයි. මම තාත්තා කියන තැනදී හරිම සංවේදී වෙනවා. මම දැඩි ලෙස ආදරය කරන මවුපියන්ට හර්ෂණත් හුඟක් ආදරෙයි. එයා ආත්මාර්ථකාමී නෑ. ඉතින් ඒ තීරණය ගැන හුඟක් සතුටුයි.

ඔය ආදරේ කාලයත් එක්කම වෙනස් වෙයිද?

එහෙම නැහැ. සමහර විට දැන හඳුනාගෙන වසර දෙකක් තුනක් නම් එහෙම වෙන්න තිබුණා. අපි හඳුනාගෙන අවුරුදු දහසයක්. අපි අර කතාවට කියනවා වගේ "මචං ලෙවල් එකෙන්" ඉන්නේ. අපි ළඟ ලෝකෙට පෙන්න බොරු සුද්ධවන්තකම් නෑ.

වෝල්ගාගේ ෆැෂන් ගැන හර්ෂණ මොකද කියන්නේ?

වරදක් කියන්නේ නෑ. මං අවශ්‍ය තැනට අවශ්‍ය විදියට අඳිනවා. සාමාන්‍ය ගමනට නම් මම ඩෙනිමක් දාලා, හර්ෂණගේ ටී ෂර්ට් එකක් ඇඳගෙන යනවා. හැබැයි එයා එහෙම නෑ. එයා හරි පිළිවෙළයි.

විවාහක යුවළක් විදියට ජනප්‍රියත්වය වැඩි වුණාද?

ඇත්තටම වැඩි වුණා. යුවළක් විදියට අපිට ක්‍ෂේත්‍රයේදී වුණත් වැඩි ඉඩක් ලැබෙනවා. ප්‍රේක්‍ෂකයන් පවා හරි ආදරෙයි. ලස්සන කෆල් එකක් කියලා කියනවා. කවුරු අපරාදේ කියලා කියන්නේ නෑ.

විවාහයත් එක්කම ජීවිතයට එකතු වුණු අලුත්ම දේවල් මොනවද?

ඇත්තටම මම විවාහ වෙන්න කලින් තනියම ගෙදර ඉන්න කාලේ හරිම කම්මැළියි. වෙලාවට වැඩ කරනවා කියන එක දන්නෙම නෑ. දැන් එහෙම නෑ. ෂූටින් දවසට මාව ඇහැරවලා, වෙලාවට ෂූටින්වලට එක්ක යනවා. ආරක්‍ෂාව තව වැඩි වුණා. මම හිතන්නේ මගේ ජීවිතේ කලින් තිබුණටත් වඩා ලස්සනයි.

රඟපෑමේදී සහ චරිත තෝරා ගැනීමේදී හර්ෂණ නීති දානවද?

මම රඟපානවට මටත් වැඩිය හර්ෂණ කැමැතියි. මට වෙනස් විදියේ චරිත ලැබුණත් එයා එපා කියන්නේ නැහැ. එහෙම එපා කියන විදියේ අසම්මත චරිත මම රඟපාන්නෙත් නෑ. එයා මට චරිත තෝරා බේරා දෙනවා.

ඔය තරම් ආදරේ කරන හර්ෂණට ඇයි අර වගේ බරපතළ දඬුවමක් දෙන්නේ?

(ලැජ්ජාවෙන් සිනාසෙමින්) ආහ් ඒකද?

ඉතින් ප්‍රශ්න වෙනවා. ඒවා දුරදිග ගෙනියන්න ඕන නෑනේ. මට ඕන මැරෙන තුරාවට හර්ෂණ එක්ක සතුටින් ඉන්න. මම දෙවියන්ව විශ්වාස කරනවා. හර්ෂණ මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. දෙවියෝ වැරැදි දේවල් දෙන්නේ නැහැ. ඒ නිසා දෙවියෝ දුන්නු දේ රැක ගන්න ඕන. එයාට දුකක් වදයක් වෙන්න හොඳ නෑ.

විවාහ වෙන්න කලින් ඉඳලම විවාහයට අකුල් හෙළපු අය හිටිය නේද?

අපොයි ඔව්. කේලාම් කියපු පව්කාරයෝ ඕනතරම් හිටියා. එක්කෙනෙක් කියලා තිබුණා "ඔය වොල්ගා බෙන්ස් කාර්කාරයෙක් බඳී" කියලා. ඒ කේලම් කියන පව්කාරයෝ දෙතුන් දෙනෙක් ඇරුණාම අනිත් හැම කෙනෙක්ම අපිට ආශීර්වාද කළා. වෙඩින් එක කියන්න ගියාම කුසුම් රේණු මහත්මිය එයාගේ අතේ දාගෙන හිටපු මුද්දක් ගලවලා මගේ අතට දීලා මට සුබපැතුවා.

අම්මා කෙනෙක් වෙන්න අදහසක් නැද්ද?

හැමදේම වේලාවට කලාවට තියෙන්නෙ ඕන. ගෙදර අයයි, අපි දෙන්නයි මේ හැමදේම කරගත්තේ තනියම. අපි තවම රංගන ක්‍ෂේත්‍රය නිසා ජීවත්වෙන අය. තව ටිකක් ජීවිතේ පිළියෙල වෙන්න ඕන. කාලය ආවාම ඒ ගැන හිතනවා.

වොල්ගත් කැමැති පුතෙකුටද?

ඔව් පුතෙක් නම් හොඳයි. ඇත්තටම අපි දෙන්නම පුතාලට කැමැති අපේ අක්කගේ පුතු පැටියා නිසා. අක්කට ඉන්නවා හුරතල් බතල ගෙඩියක්. මේ දවස්වල එයාගෙ හුරතල් බලබල ඉන්නේ. පුතෙක් නම් හොඳයි. ඒත් ලැබෙන දරුවා භාර ගන්නවා.

තව අවුරුදු ගාණකට පස්සේ වයසත් එක්ක ලස්සන වියැකිලා යද්දී දරුවෝ උස්මහත් වෙද්දී සාමාන්‍ය ගැහැනියක් විදියට වොල්ගා මොනවගේ තැනක ඉඳීද?

හදවත ලස්සන හැමදාම අපි ලස්සනයි. මම ඉතින් නිළිය වෙන්නේ සෙට් එකට ගියාම විතරයි. නැත්නම් මම සාමාන්‍ය ගැහැනු ළමයෙක්. එදාටත් මේ වගේම ජොලියෙන් සැමියාට දරුවන්ට යුතුකම් ඉටුකරන හොඳ බිරියක් විදියට ඉඳියි.

harshana-bethmage-volga-kalpani

හංසි ආටිගල_මව්බිම
ඡායා - අශාන් ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම ඉතින් නිළිය වෙන්නේ රඟපාද්දි විතරයි "

    Post a Comment