12 October, 2016

දෙරණට පය තියපු මනීෂා තෙරුණිගෙන් හිට් වුණු හැටි

පුංචි ගායිකාවක් විදියට හඳුනගත්ත මනීෂා 'සිඳු' නිසා මේ දවස්වල ජනප්‍රිය වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?

මම 2008දී තමයි ලිට්ල් ස්ටාර් තරගයට ආවේ. දොළහෙන් පහළ ගායන අංශයෙන් හතරවැනි ස්ථානය මට දිනාගන්න පුළුවන් වුණා. ජනතාව අතරට මම මුලින්ම ගියේ ඒ තරගය නිසා. සිඳු නිසා ජනප්‍රියත්වය තවත් වැඩිවෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි.

සමාජ මාධ්‍යවල මනීෂා වෙනුවෙන් ලොකු ඉඩකුත් වෙන්වෙලා?

ඔව්. ෆේස්බුක් එකෙන් මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. හැබැයි මට Like Page එකක් නැහැ. මගේ නමට හදලා තියෙන හැම Page එකක්ම Fake.

'සිඳු' ටෙලි නාට්‍යයේ තෙරුණි වෙනුවෙන් මෙච්චර ලොකු ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා හිතුවද?

මම රංගනයට ආවේ රංගනය හදාරලා නෙවෙයි. මගේ තිබුණ දක්ෂතාවයෙන් තමයි මම රංගනයට සම්බන්ධ වුණේ. ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙද්දි මෙච්චර ලොකු ජනප්‍රියත්වයක් නම් ලැබෙයි කියලා හිතුවේ නැහැ.

ජනප්‍රියත්වය වැඩිපුර ලැබෙන්නේ හොඳ පැත්තටද? නරක පැත්තටද?

දෙපැත්තටම ලැබෙනවා. කොච්චර කොහොම කිව්වත් මගේ ගැන නරක දෙයක් කියනවා නම් මම භාරගන්නේ නැහැ. වැරැද්දක් කිව්වොත් ඒ වැරැද්ද මගේ තිබුණොත් විතරක් මම හදා ගන්නවා. ලැබෙන ප්‍රතිචාර, ජනප්‍රියත්වය සමබරව දරාගෙන මම මගේ ගමන යනවා.

පුංචි ගායිකාව රංගන ශිල්පිනියක් වෙන්නේ කාගේ වුවමනාවටද?

මම මුලින්ම රඟපෑවේ වස්සාන සිහිනය ටෙලි නාට්‍යයේ. ඒ අවස්ථාව මට ලැබුණෙත් දෙරණේ ලක්සිරි සර් නිසා. සිඳු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න චාන්ස් එක දුන්නෙත් ඔහුම තමයි.

ආරාධනා ආවට රංගනයට කැමැත්තක් නැත්නම් ආරාධනා භාර ගන්නේ නෑනේ. මනීෂත් රංගනයට කැමැත්තෙන් ඉන්න ඇති?

මම කැමැති ගායනය පැත්තට. රංගනයටත් කැමැතියි. පොඩි කාලේ මම නියපොතු කද්දී අම්මා කියනවලු නියපොතු කන්න එපා කැත වුණොත් නිළියක් වෙන්න බෑනේ කියලා. ඉතිං රංගනයට එන්නම අරමුණු කරගෙන හිටියේ නැහැ. අවස්ථාවක් ලැබුණාම කැමැත්තෙන් සම්බන්ධ වුණා.

සිඳු ටෙලි නාට්‍යයේදී ඔබ රඟපාන්නේ සමාධිගේ දුව විදියට කොහොමද ඒ අත්දැකීම?

සමාධි අක්කා මලීි ටෙලි නාට්‍යයෙන් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ තැනට මට ළංවෙන්න තේරෙන්නේ නෑ. එයත් එක්ක රඟපාන්න වගේම අනෙක් ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කරන්න ලැබීම භාග්‍යයක්. එයාලා මට දන්නේ නැති දෙවල් පවා කියලා දෙනවා. ඒ වගේම ජානක සර්, තිළිණ අයියාත් ලොකු සහායක් ලබා දෙනවා. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි.

'තෙරුණි' චරිතයට ලැබුණු ජනප්‍රියත්වය නිසා ඉදිරියටත් රඟපායිද?

රංගනයට ගොඩක් ආරාධනා ලැබුණා. ඉදිරියටත් රංගනයට යොමු වෙනවාම කියලා හිතාගෙන නැහැ. ඒ ගැන ඉදිරියට හිතලා බලන්න ඕන.

දැන් ගායන කටයුතු අමතක කරලාද?

මම ගායනය අමතක කරලා නැහැ. ඩුවට්වලට කතා කළොත් මම සම්බන්ධ වෙනවා. ඉදිරියේදී මගේම ගීතයකුත් කරන්න අදහසක් තියෙනවා.

ගායනය, රංගනයට අමතරව නිවේදනයටත් ඔබ සම්බන්ධ වෙලා හිටියා. ආයෙත් නිවේදනයට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

මම කඳුරට එෆ්.එම්. එකේ නිවේදන කටයුතු කළා. මේ වෙලාවේ සරත් ඉලංගකෝන් සහ ඉන්දික සර්ව මතක් කරන්න ඕන. මම දෙරණෙත් ප්‍රසන්ට් කළා. ඉදිරියටත් නිවේදන කටයුතුවලට ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ දැන් වෘත්තියෙනුත් දෙරණට තවත් නෑකම් කියනවා නේද?

මම දෙරණ නාළිකාවේ සහාය නිෂ්පාදිකාවක් විදියට පුහුණු වෙනවා. ලක්සිරි සර් තමයි මට ඒ අවස්ථාවත් ලබා දුන්නේ.

දෙරණට පය තියලා මනීෂට වැරැදිලා නෑ නේද?

දෙරණ අපිව ඉස්සරහට ගෙනත් අතහැරලා දැම්මේ නෑ. ඔවුන් ඉදිරියට ගෙනාපු අයට තැනක් හදලා දීලා ලොකු අනාගතයක් හදලා දෙනවා. චැනල් එකකට සම්බන්ධ වෙලා වැඩ කරන්න මටත් ආසාවක් තිබ්බා. ලිට්ල් ස්ටාර් එන කාලේ දෙරණ නාළිකාවේ දේවල් දැකලමයි ඒ ආසාව ඇති වුණේ. ඉතිං ඒ අවස්ථාව මට ලබා දුන්නට ලක්සිරි සර්ව සහ කාර්ය මණ්ඩලයම මතක් කරන්න ඕන.

කාලයක් තිස්සේ කලාවට සම්බන්ධ වෙලා හිටියත්තාම මනීෂා පස්සෙන් අම්මා එක්ක යන්නේ ආරක්ෂාවටද? ක්ෂේත්‍රය ගැන බය නිසාද?

ආරක්ෂාවට. අම්මටයි අප්පච්චිටයි හංගන්න දෙයක් මට නැහැ. අපි කරන දේවල් එයාලා දැන ගන්න ඕනේ. ඉතිං අම්මා මාත් එක්ක එන එක මට ශක්තියක්.

පවුලේ විස්තරත් කියමු?

අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි මට ඉන්නේ. ලොකු අක්කා විවාහ වෙලා. එයාට දුවෙක් ඉන්නවා. චූටි අක්කා ඉන්නේ අපිත් එක්කමයි.


maneesha-theruni

-මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දෙරණට පය තියපු මනීෂා තෙරුණිගෙන් හිට් වුණු හැටි"

    Post a Comment