අපේ ගේ ඉදිරිපිටින් සතියකට වතාවක් යන තරුණයකුගේ ඒ කටහඬ නොවරදවාම ඇසේ. ඔහුගේ ගමන හරිම වේගවත්ය. හැඳ සිටින්නේ තද බල ලෙස කිළිටි වූ බැනියමක් සහ කොට කලිසමකි. ඒ ඇඳුම එතරම්ම කිළිටි වී ඇත්තේ ගස් නැගීම නිසා විය හැක.
බොහෝ විට සුපිරි නාගරිකයන්ට ගස් නගින්නෙකු හෙවත් පොල් කඩන්නෙකු හමු නොවේ. මක්‌නිසාද පර්චස් පහේ ඉඩම්වල ගේ හැදුවාට පසු පොල් ගහක් වවන්නට ඉඩ නොමැති හෙයිනි. එබැවින් නාගරිකයන්ට පොල් කඩන්නෙකු මුණ ගැසෙන්නට තිබෙන ඉඩකඩ අඩුය.
පොල් කඩන්නා අපේ සමාජයේ බලගතු තැනක් නියෝජනය කළ අයෙකි. හැමෝටම පොල් ගස් නැගීම කළ නොහැක. එබැවින් මුලින්ම ගසකට නැග්ගොත් පොල් ගෙඩි දෙකක් යන ගාස්‌තු අය කිරීමේ සිට ගහකම රු. 100 දක්‌වා ගාස්‌තු අය කිරීම දක්‌වා ඉහළ ගොස් ඇත. අද වනවිට පොල් කඩන්නෙකු ගහකට නගින්නට රු. 100 ක් අයකරයි.
අපේ ගෙදර තිබෙන්නේ පොල් ගස් දෙකක් පමණි. පොල් කඩන්නා ඒ ගස් දෙකට නැග පොල් කඩා නිම කරන්නට ගතවූයේ මිනිත්ත පහක තරම් සුළු කාලයකි.
අනතුරුව ගාස්‌තුව ලැබෙනතුරු හේ ගෙමිදුලේ බිම වාඩිවී සිටියේය.
"ගහකට සීයක් වැඩි නැද්ද"
මම ඇසීමි.
"කොහොමද මහත්තයා සීයක් වැඩිවෙන්නෙ. මහත්තයලා බඩුගන්න කඩවලින්ම තමයි අපි බඩු ගන්නෙ. බඩුවල ගණන් මහත්තයා දන්නවනෙ. සමහර කාලවලට පොල් ගෙඩියක් වුණත් රුපියල් හැත්තෑපහයි.
"කොහොමද ඔය රස්‌සාව පුරුදු වුණේ."
"තාත්තාගෙන්."
"ඒ කොහොමද?"
"අම්ම මාව තාත්තගෙ පස්‌සෙන් යෑව්ව. ඒ දවස්‌වල තාත්ත පොල් කැඩුවෙ ගහකට ගෙඩි දෙකක් ගාස්‌තුව පිට. මං ගියේ පොල් එකතුකරන් එන්න.
"ඊට පස්‌සෙ."
"තාත්තා හුඟක් කල් මේ රස්‌සාව කෙරුව. ඒ වුණත් අපි හැමදාමත් හිටියෙ එකම තැන. රටේ පොල් ගස් අඩු වුණා මිසක් වැඩි වුණේ නෑනෙ.
ඔහු සඳහන් කළ අන්දමට ඔහු කවදාවත්ම පාසල් ගියේ නැත. ගෙදර තිබුණේ එකම තැනය. හැමදාමත් ගෙදර කෑවේ එකම දේවල්ය. බත්, පරිප්පු, අල. මේ දේවල් හැමදාම තිබුණි. වස්‌ත්‍රද එසේමය. අලුත් ඇඳුමක් ලැබුණේම නැත.
"මෙහෙම ඉදිද්දි තාත්තා මැරුණා.
"ඒ කොහොමද?
"පොල් ගහකින් වැටිලා. තාත්තා හැමදාමත් කිය කිය හිටියෙ. මේ දේවෙයි කියලා. ඒ විදියටම සිද්ධ වුණා. ඒක බොහෝම දුප්පත් මළගෙයක්.
පොල් කඩන්නා බිම වාඩිවී පිහි තුඩින් මිදුලේ ඉරි අඳිමින් සිටියේය.
"ඉතිං... ඊට පස්‌සෙ ඔයා පොල් කඩන්න පටන් ගත්තා."
ඔහු ඔව් යෑයි කීවේ නැත. ඒ වෙනුවට සිනාසුනේය.
"ඔය පොල් කඩන අය හොරකම් කරනවලු නේද?"
"ඔව් එහෙම අයත් ඉන්නවා."
"එතකොට කුඩු ගහන අයත් ඉන්නවලු නේද?"
"කුඩු ගැහුවම ගස් යන වැඩේ ටොයිස්. ටක් ගාල ගහට නගින්න පුළුවන්. හැබැයි කුඩු ගහන්න ගොඩක් සල්ලි ඕන. මේ රස්‌සාවත් එක්‌ක ඒක කරන්න බෑ. මම නං කවදාවත් කුඩු ගහන්නෙ නෑ. කුඩු ගහන්න දහස් ගාණක් සල්ලි තියෙන්න ඕන මහත්තයා."
"පොල් කඩන එකමද දිගටම කරන්න හදන්නෙ.?"
"පුරුදු රස්‌සාවනෙ මහත්තයා.. ඒක තමයි දිගටම කරන්න වෙලා තියෙන්නෙ."
අනතුරුව ගෙවී ගියේ නිහැඬියාවකි. මම ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි. ඒ මුහුණ අහිංසකය. මා දුන් රු. 200 ඔහුගේ අතේ ගුලිවී තිබුණි.
"කවද හරි මාත් ගහක් යට තමයි මහත්තයා"
"නෑ එහෙම වෙන එකක් නෑ."
"ගහක් ගාව වැටුණොත් ඒ ගෙදර මිනිස්‌සු මාව ඉස්‌පිරිතාලෙ ගිහින් දායි. ඉන්පස්‌සෙ ගෑණියි දරුවොයි මිසක් බලන්න වෙන කවුරුවත් එන්නෙ නෑ. ගෑනි කුලී වැඩට යයි මහත්තයා වෙන කරන්න දෙයක් නෑ. ගහකට නගින්න තරම් උස දරුවෙකුත් මට නෑ මහත්තයා.
හේ නැගිට්‌ටේය. ඒ සමඟම ඔහුගේ කකුලේ ඇටයක් බිඳෙන හඬ ඇසිණි. පොල් කඩන්නෙකුගෙන් එහාට ජීවිතය සොයන්නට මා උත්සාහයක් කළේ යෑයි ඔහු සිතන්නට ඇත.
"ගහකට සියයක් ගන්න එක වැඩිද නැද්ද කියල ආයෙ කල්පනා කරලා බලන්න මහත්තයා."
එසේ කී ඔහු යන්නට ගියේය.
එයින් සතියකට පමණ පසු මට ආරංචි වූයේ ඔහු පොල් ගසකින් ඇද වැටුණු බවයි. එපමණක් නොව රෝහලට ඇතුළුකොට දිනකට පසු මිය ගිය බවයි.
ගහකට සීයක් ගන්න එක වැඩි නැද්දැයි ඔහුගෙන් ඇසූ ප්‍රශ්නය තවමත් මට වධ දෙමින් සිටී.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ (දිවයින)
Share this
|
|
0 Comment to "පොල් කඩන්නාගේ කඳුළු කථාව "පොල් කඩනවා.... පොල් කඩනවා..""
Post a Comment