ධම්මපදයෙහි මාර්ග වර්ගයේ ඇති මෙම ගාථාව සුජීවත්ව වාසය කරන අප සැමගේ යහපත පිණිස පවතින්නක් බව අමුතුවෙන් සඳහන් නොකළ මනාය. සම්බුදු හිමියන් සැවැතෙහි දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන කල්හි සිදුවූ එක්‌තරා කරුණක් නිසා මෙම ගාථාව දේශනා කළ සේක. මෙයින් එන්නා වූ සරල අදහස ඉහතින් දක්‌වා ඇත්තේ එය තේරුම් ගැනීම කළ යුතු නිසාවෙනි.
බුදුන් වහන්සේගේ ජීවන චරිතය ගත් කල්හි වර්ෂ හතළිස්‌පහක් පුරාවටම උන්වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස ගතකළ බව පෙනෙන සැබෑ සාධකයකි. උන්වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කළේ ද ලෝවැසි දනන්ගේ මෙලොව පරලොව සහ ලෝකෝත්තර සුබ සිද්ධිය උදෙසාය. එසේ දේශනාවන් සිදු කිරීමේදී යම් යම් සිදුවීම් ආශ්‍රයෙන් ධර්ම දේශනා කිරීම සුපුරුදු පිළිවෙතයි.
ඉහතින් දැක්‌වෙන ගාථාව දේශනා කිරීමට හේතුවක් වූයේ දෙව්රම් වෙහෙරේ ජීවත්වූ එක්‌තරා භික්‌ෂුවකි. උන්වහන්සේ නමින් පධානකම්මිකතිස්‌ස නම් වේ. සම්බුද්ධ දේශනාව ඇසූ උන්වහන්සේ තවත් භික්‌ෂූන් වහන්සේලා පන්සිය නමක් සමඟ පැවිදි උපසම්පදාව ලැබූ සේක. අනෙක් සියලු දෙනා තමාට අභිමත යම් කමටහනක් ලබාගෙන බවුන් වැඩීම සඳහා වනගතවුවද මෙම භික්‌ෂුව බුදුන් වහන්සේ වැඩ වාසය කරන දෙව්රම් වෙහෙරෙහිම උන්වහන්සේට උපස්‌ථාන කරමින් වැඩසිටියේය. අනෙක් භික්‌ෂූන් වහන්සේලා පන්සිය නම වස් කාලය අවසන් වූ වහාම බුදුන් වහන්සේ බැහැ දැක්‌කාහ. උන්වහන්සේලා අර්හත් භාවය පත්ව සිටියහ. බුදුන්වහන්සේද උන්වහන්සේලා සමඟ ඉතා කුළුපගව සාකච්ඡාවේ යෙදී සිටින අයුරු දැක උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. "මෙපමණ කලක් මා මෙහි වාසය කළ ද මා සමඟ මෙවැනි ආකාරයට කුළුපඟවීමක් ඇති වූයේ නැත. මුන්වහන්සේලා සමඟ කුළුපගව කථිකා කරන්නේ මොවුන් උන්වහන්සේ වදාළ මාර්ගයේ ගමන්a කර ඇති නිසා වන්නට ඇත." යනුවෙන් සිතා උන්වහන්සේද වහා එතැනින් පිටත්ව ගොස් භාවනාකොට අර්හත්භාවයට පත්වූ සේක. මෙම සිදුවීම හේතුපාදක කරගෙන ඉහතින් වූ ගාථාව දේශිතය.
මෙම ගාථාවෙන් එන අදහස දැන් මොහොතක් විමසා බලමු. එයින් පෙන්වා දෙන ප්‍රධාන අදහස නම් උත්සාහ කළ යුතු කාලයෙහි උත්සාහ නොවී සිටීම පරිහානියට හේතුවක් බවයි. උට්‌ඨාන කාලම්හි අනුට්‌ඨහානෝ යනුවෙන් දක්‌වා යුවා බලී ආලසියං උපේතෝ යනුවෙන් විශේෂ කර දක්‌වා ඇත්තේ තරුණ අවධියේ දී එසේ උත්සාහ නොකිරීම බලවත් වැරැද්දක් බවයි. තමාට කළ යුතු වැඩ තිබියදී ඒ පිළිබඳ නොසිතා කුසීතකමින් යුක්‌තව දිවි ගෙවන තැනැත්තාට විශේෂ යමක් උපදවාගත නොහැකි බව දේශනාවයි. එවන් තැනැත්තාට ප්‍රඥාව ලබා ගැනීමට හෝ ලෝකෝත්තර විමුක්‌තිය උදාකර ගැනීමට හැකියාවක් නොවන බව දේශනා කර ඇත.
දැන් මෙම ගාථාවෙන් පැවසෙන කරුණු අපේ ජීවිතය හා සම්බන්ධ කිරීමට උත්සාහ ගනිමු. අප ජීවත්වනකොට අපේ හිතට නිරන්තරයෙන් එන හැඟීමක් නම්, මනෝභාවයක් නම් "මේ වැඩේ මට කරන්න බැරිවෙයි" මේ කරන දෙයින් හොඳ ප්‍රතිඵලයක් විඳින්න බැරිවෙයි." ආදී වශයෙන් එන සෘනාත්මක හැඟීම් සමුදායයි. පුද්ගලයකුගේ ජීවිතය පරිහානියට පත් කිරීම මේ සිතිවිල්ල ප්‍රබල සාධකයක් බව නොකිව මනාය. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ උත්සාහයේ ඇති වැදගත්කමයි. උට්‌ඨානමතෝ සතිමතෝ යනුවෙනුත් උට්‌ඨානේනප්පමාදේන යනුවෙනුත් ධම්මපදයේ අප්පමාද වර්ගයේ දක්‌වා ඇති ගථා දෙකෙන් උත්සාහය නම් පුද්ගලයකුට තිබිය යුතු මූලික අවශ්‍යතාවක් බව පෙන්වා දී ඇත. එසේ නම් මෙලොව උපත ලද අපි සියලු දෙනාම උත්සාහවත් භාවය ලබාගත යුතු නොවෙමුද? එම උත්සාහවත් භාවය අපගේ දිවි තිබෙනතාක්‌ම තබා ගත යුතු නොවේද? එසේ නම් අපගේ ජීවිතයේ හැරවුම් ලක්‌ෂය වන්නේ අන් කිසි දෙයක් නොව උත්සාහවත් භාවයයි. බැරිකම, මැලිකම, කළයුතු වැඩය පමා කිරීම ආදී දේ නිසා අපේ ජීවිත අයසට පත්වන බව අපටම යම් යම් අත්දැකීම් ආශ්‍රයෙන් හඳුනාගත හැකිවේ.
ළමා කාලයේදී කළ යුතු නිසි ක්‍රියාවන් නොකර අද වනවිට මහාමාර්ගවල හා වෙනත් ස්‌ථානවල නිරපරාදේ කල් යවන උදවිය ඕනෑතරම් සමාජයෙන් අහුලා ගත හැකිය. ඔවුන්ගෙන් අපේ ජීවිතවලට ගත හැකි සාරයක් නැති වුවත් ඔවුන් ජීවිතය වරද්දාගත්තා සේ අපද ජීවිතය වරද්දා ගැනීම නොකළ යුත්තකි. ඔවුන්ට වැරදුනු හේතුව මනාව දැන ඒ මගෙන් ඈත් වීමයි බුද්ධිගෝචර උදවිය කළ යුතු දේ වන්නේ. ඉතින් ළමා අවධියේදී පමණක් නොව තරුණ අවධියේදී ද අපේ සිතට එන හැඟීමක් තමයි බැරිකම, මැලිකම සහ කළයුතු කාර්ය පමා කිරීම කියන්නේ. මේක මනුෂ්‍ය මනෝභාවයක්. මේ හැඟීමෙන් මිදිය යුතුමය. ධම්මපදයේ එක් තැනෙක සඳහන් වෙනවා "අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං" ආදී වශයෙන්. ඒකෙන් කියෑවෙන්නේ ඉගෙනගත යුතු නිසි කල එම දේ නොකරනවානං යෞවන කාලයේද ධනය ලබා ගැනීමට නොහැකි වන බවයි. මේ දේ කෙතරම් සත්‍යය ද යන්න දැන් ඔබට වැටහෙනවා නොඅනුමානයි. සමාජයේ අද අපි දකින බොහෝ දුප්පත් තරුණයන් සහ ජීවිත විනාශ කරගෙන ඇති තරුණයන් සුදුසු කාලයේද අධ්‍යාපනය නොලැබීම නිසා දිවියම විනාශ කරගෙන ඇති බව නොරහසකි. අපිත් ඒ දේම කරගන්නවාද නැතිනම් ඒ මාවතෙන් මිදෙනවාද යන දේ ඔබමයි භාරගත යුත්තේ. ඉතින් බුද්ධියෙන් මුහුකුරා ගිය අයවලුන් නම් කළයුතු වන්නේ මෙම දේවල්වලින් යම් පාඩමක් ඉගෙන ගෙන ජීවිතය සකස් කර ගැනීමයි.
බුදුන් වහන්සේ භික්‌ෂූන් වහන්සේ උදෙසා දේශනා කළ එක් සූත්‍ර ධර්මයක් තමයි දසධම්ම සූත්‍රය කියන්නේ. මේක භික්‌ෂූන් උදෙසා දේශනා කළත් ගිහි ජීවිතය සරු කර ගන්න හේතුවන අදහස් රැසක් මෙහි අඩංගු වනවා කිව්වොත් ඔබ පුදුම වෙන එකක් නැහැ. ඒකේ එක් ස්‌ථානයක තියෙනවා. "තමා කළ කී දෑ පිළිබඳව රාත්‍රියේ සයනයට ගිහින් නැවත විමසා බලා අඩුපාඩු සකසා ගන්න" කියලා. මං හිතන්නේ මේ දේ ගිහි පැවිදි භේදයකින් තොරව සිදු කළොත් අප බලාගෙන ඉඳිද්දීම අපේ ජීවිත සාර්ථකවේවි. අප දවස පුරා නොයෙකුත් දෑ සමඟ පොර බදන බව අමුතු කාරණාවක් නොවෙයි. ඒ කරන කියන දේ පිළිබඳ ඒ මොහොතේ කිසිදු හැඟීමක් ඇති නොවුණත් ඒකරපු දේ ගැන විමසන්න. තියෙන හොඳම අවස්‌ථාව තමයි නිදන්න යන අවස්‌ථාව. ඒ වෙලාවෙ නින්දට මොහොතකට කලින් තමා අද දිනයේදී කළ කී දේවල් ගැන ඒවායේ හොඳ නරක බව විමසිය යුතුයි. එසේ මනසින් විචාරන්න හොඳ පරිසරයක් ඒ මොහොතේ නිවසේ තියෙනවා. මොකද හැම දෙනාම නින්දට ගියාට පස්‌සේ පරිසරය ඉතාම නිහඬයි. විවාහ වෙලා සිටින අයෙක් නම් තමාගේ බිරිඳ, සැමියා සමඟ මේ දේවල් විමසා බලා නිවැරදි කර ගන්න පුළුවන්. දෙදෙනාම තම තමන්ව අවබෝධ කර ගැනීමට හොඳම තෝතැන්න නිදන්න යන සයනය බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. දරුවන් නින්දට ගිය පසු තම තමන්ගෙන් සිදු වූ වැරදි ගැන. අඩුපාඩු ගැන විමසා බලා සකස් කර ගත හැකියි.
කෙසේ වෙතත් කම්මැලිකම කුසීතකම වැඩ පමා කිරීම ආදී දේවල් දියුණුවන පුද්ගලයාගේ ලක්‌ෂණ නම් නොවෙයි. ඔහු බලාගෙන සිටියදීම පරිහානියට පත් වෙනවා. සිඟාලෝවාද සූත්‍රයේදී බුදුන්වහන්සේ පෙන්වා දී තියෙනවා. ධනය පරිහානියට යන එක් හේතුවක් ලෙස කම්මැලිකමෙන් යුතුව ජීවත්වීම කියන සාධකය. එසේ නම් කම්මැලි වුවහොත් එයින් යහපතක් නොවෙනවා. යන්න දැනගෙන අප්‍රමාදීව මනා උත්සාහයෙන් යුතුව ක්‍රියාකිරීමයි අප කළ යුතු දේ වන්නේ.
කම්මැලිකමෙන් ජීවත් වුණොත් අපට මොනවද ලැබෙන්නේ. අපට ලැබෙන දේවල් කිහිපයක් බුදුහාමුදුරුවෝ පෙන්වා දීලා තියෙනවා. ඒවා තමයි කාමවිතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහංසා විතර්ක කියන්නේ. මොනාද කාම විතර්ක කියන්නේ. අපි කම්මැලිකමෙන් වැඩ පමා කරමින් කුසීතව දිවි ගෙවන්නේ නම් මේ කියන දේවල් ඉබේම ඇති වෙනවා. කාමවිතර්ක කියන්නේ කාමය ගැන පහළ වන හැඟීම්, කාමයට ලොල් වෙන්න ගියහොත් ඉක්‌මනින්ම අපේ ජීවිත විනාශ වෙනවා. කාමභෝගී ජීවිත අප ගත කළත් ඉතාම පරිස්‌සමින් ජීවත්වීම වැදගත්. කාමය කියන්නේ ඉතා භයානක හැඟීමක්. ඉතින් අපි කාමය වශයෙන් ගන්න දඟලන්නේ මොනාද, ඇසෙන් සුන්දර රූප, කනෙන් මිහිරි ශබ්ද, නාසයෙන් මන පිනායන සුවඳ, දිවෙන් ඉමිහිරි රස, ශරීරයෙන් හදවත පිනා යන ස්‌පර්ශ, ඉතින් මේවා ලබා ගන්න වෙහෙස වෙනවා කියන්නේ ජීවිතය විනාශ කරන්න මහන්සි ගන්නවා කියන එක නොවෙයිද?
කාමවිතර්කවලට වඩා අතිශයින් භයංකර තවත් හැඟීමක් තමයි ව්‍යාපාද විතර්ක කියන්නේ. ව්‍යාපාදය කියන්නේ අකුසලයක්. අනුන්ව නැසේවා කියන හැඟීමෙන් යුතුව කටයුතු කිරීමයි ව්‍යාපාදයෙන් වෙන්නේ. ඉතින් මෙම ලක්‌ෂණයෙන් යුක්‌ත තැනැත්තා මේ සමාජයට භීතිය ගෙන දෙන්නෙක්. තමා ළඟ සිටින දෙමාපියන්, සහෝදරයන්, ඥාතීන් මේ හැම දෙනාම අයසකට පත් කරන්නෙක් තමයි ව්‍යාපාද විතර්කයෙන් යුක්‌ත තැනැත්තා. ව්‍යාපාදය ඇති වන්නේ කම්මැලි කමෙන් ජීවත් වන තැනැත්තාට කිව්වොත් ඔබද එයට එකඟ වේවි. මොකද නිරන්තරයෙන් වැඩ කරන අයට අනුන් ගැන සිතීමට වේලාවක් ඉතිරි වන්නේ නැත. තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් සමුදාය ඉටු කිරීමට වෙහෙස ගන්නා ඔවුන් අනෙකා තලාපෙළන වැඩ කිරීමට මහන්සි ගන්නේ නැත. කම්මැලියාට කළ හැකි යමක් නොවන නිසා අනෙකා දියුණුවන දෙස බලා එම දියුණුව ගැන ඊර්ෂ්‍යාපරවශව එම මාවත කඩාකප්පල් කිරීමට වෙහෙස ගනී. මේ ලක්‌ෂණයෙන් යුක්‌ත පිරිස් ඔබද නොයෙක් වර දැක ඇත.
තෙවැනි කාරණාව තමයි විහිංසා විතර්ක කියන්නේ. ව්‍යාපාදය වගේම විහිංසාවත් අනෙකාගේ ජීවිතය විනාශ කරන මනෝභාවයක්. අනෙකා තලා පෙළීමට ඇති කැමැත්ත තමයි මෙයින් කියවෙන්නේ. මේ ලෝකයේ ජීවත්වන පණ ඇති සියල්ලෝම නිදහසේ තමා කැමැති විදියට ජීවත් වීමට ආශා කරති. ඔවුන් දඬුවමට බියය. සබ්බේ තසන්ති දණ්‌ඩස්‌ස සබ්බේ හායන්ති මච්චුනෝ ආදී වශයෙන් පෙන්වා දී ඇත්තේ මේ කාරණාවයි. එසේ හෙයින් මෙම සිතිවිල්ල ඇතිවීමම අනෙකා නැසීමට කටයුතු කිරීමේ මූලික අඩිතාලමයි. ඒ නිසා මෙවැනි සිතිවිලි පහළ වන්නේ කම්මැලිකමෙන් යුක්‌තව ජීවත්වීම නිසාය.
අප ජීවත් විය යුත්තේ ලෞකික දිවිය ගැන සිතා සහ විශේෂයෙන් ලෝකෝත්තර විමුක්‌තිය සිහි තබා ගෙනය. හැකි සියලු අවස්‌ථාවලදීම පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා සිදු කිරීමට වෙහෙස ගත යුතුය. මේ ලබාගත් මනුෂ්‍ය ආත්මය සාර්ථක කර ගැනීමට වෙහෙසෙනවා විනා විනාශ කර ගැනීමට කටයුතු නොකළ යුතුය. එසේ හෙයින් කම්මැලිකමෙන් දුරුව අකර්මණ්‍ය භාවයෙන් ඈත්ව තමාට කළ යුතු කාර්යයන් කළයුතු දිනම කර ජීවිතය සාර්ථක කර ගැනීමට අදිටන් කර ගැනීම වැදගත්ය. ලෝකෝත්තර විමුක්‌තිය සාධනය කරගත හැකිවන්නේ ඒ මාර්ගය විවර කරගත හැකි වන්නේ එබඳු ප්‍රඥාවන්ත පුද්ගලයාටම පමණි. ඔබත් ඒ පිරිසට එකතු වන්න. තෙරුවන් සරණයි.
* බිබිල යල්කුඹුර
මො/ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ පරිවෙණාධිපති
රාජකීය පණ්‌ඩිත පදියතලාවේ ඤාණවිමල හිම් (දිවයින)
Share this
|
|
0 Comment to "කළ යුතු දේ සුදුසු කල්හිම කරන්න"
Post a Comment