06 August, 2017

රියපදවන ඔබේ ආරක්ෂකයා

Steer

රිය පැදවීම යනු විනෝදජනක කාර්යයක් ලෙසින් බැලූ බැල්මට පෙනී ගියත්, සැබවින්ම එය කොතරම් අවධානයක් අවශ්‍යද යන්න හා වෙහෙසට පත් කරවන්නක්ද කාර්යයක්ද යන්න තහවුරු කළ හැක්කේ රිය පදවන්නෙකුටම පමණි. කෙසේ නමුත් නිදි වර්ජිත දිනකට පසුව රිය පැදවීමේදී හෝ රාත්‍රියේ නින්දට යා යුතු මොහොත පසු වී රිය පැදවීමේදී මෙම වෙහෙසකර බව වඩාත් ඉහළ යන අතර, රිය පැදවීම කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කිරීම වඩ වඩාත් අපහසු වෙයි.

බරපතළම කාරණය වන්නේ එවැනි අවධානය ගිලිහී යන එක් මොහොතක්, ජීවිත හානි ගෙන දෙන්නාවූ රිය අනතුරක් කරා යොමු විය හැකි වීමයි. මෙවැනි නින්ද අවශ්‍ය මොහොතක රිය පැදවීමේදී නින්ද යෑමෙන් හෝ අඩු තරමින් ඇසිපිය බරවීමෙන් හෝ ඇතිවන තත්වයේ භයානක බව රිය පදවන්නෙකු ජීවිතේ එක් මොහොතක්දී හෝ විඳ ඇති බවට සැකයක් නැත.

මෙවැනි ගැටලුවක් මගහරවා ගැනීමේ පහසුම ක්‍රමය වන්නේ තමන් නිදි වර්ජිතව සිට රිය පැදවීමෙන් වැළකී සිටීම හෝ රිය පදවන අතරතුරදී ඇතිවන නිද්‍රාජනක ස්වභාවය මගහැරවීම සඳහා වාහනය නවත්වා මොහොතක් නිදාගැනීම වුවත්, එම පූර්ව උපාය මාර්ග එකක්වත් භාවිතා කළ නොහැකි ප්‍රායෝගික අවස්ථා කොතෙකුත් ඇතිවේ.

මෙම අවස්ථාවන්ට මුහුණ දිම සඳහා සංගීතය අධික හඬකින් වාදනය කරමින් රිය පැදවීම, ඒ අතරතුර තමන්ද ගීත ගායනය, සැර රසැති යමක් සැපීමේ සිට කෝපි පානය දක්වා බොහෝ උපක්‍රමයන් රියැදුරන් විසින් භාවිතා කරයි. කෙසේ නමුත් එවැනි අවස්ථාවකට තාක්ෂණයට අපට සහායක් වීමට නොහැකිද?

හඳුන්වාදෙන, Steer නමින් හැඳින්වෙන පැළඳිය හැකි උපාංගය නිර්මාණය වන්නේ එම ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි. ඔබේ අතේ මැණික් ක‍ටුව ප්‍රදේශයේ අත් ඔරලෝසුවක් ලෙසින්ම පැළඳිය හැකි මෙම Steer උපාංගයට සැබවින්ම ඔබේ නිද්‍රාශීලී මට්ටම පිළිබඳව අවධානයෙන් සිටීමේ හැකියාව තිබේ. එමගින් ඔබ නින්දට වැටීමේ අවදානමක් ආසන්න බව දැනගත් වහාම, ඔබේ ශරීරයට විද්‍යුත් කම්පනයන් ලබාදීම මගින් ඔබව ක්ෂණයකින් පියවි සිහියට ගෙන ඒම සඳහා කටයුතු කරනු ඇත.

මෙම උපාංගය තුළ සංවේදකයන් 16ක් අන්තර්ගත කොට ඇත. මෙයින් ප්‍රධාන වශයෙන්ම එය පැළඳ සිටිනා රියැදුරාගේ හෘද ස්පන්දනය සහ චර්ම සන්නයනතාවය මැන බලයි. යම් පුද්ගලයෙකු සත්‍යය පවසන්නේද යන්න නිර්ණය කිරීම සඳහා භාවිතා වන පොලිග්‍රාෆ් යන්ත්‍රයක භාවිතා වන්නේද මෙම යාන්ත්‍රණයයි.

මෙම උපාංගය මගින් ආරම්භයේදී ඔබ සාමාන්‍ය ශරීර තත්වයේ සිටිනා අවස්ථාවේ මෙම තත්වයන් දෙක මැන බලා එය වාර්තා කර තබාගනී. දැන් එම කියැවීම පාදම් රේඛාව ලෙසින් තබාගෙන ඔබේ ශරීර ස්වභාවය නිද්‍රාශීලී වන ආකාරය හඳුනාගැනීමට මෙයට හැකියාව තිබේ. දැන් ඔබ නින්දට වැටීමේ ස්වභාවයක් පෙන්නුම් කරනා විට ක්ෂණිකව මෘදු විද්‍යුත් කම්පනයක් නිකුත් කිරීමත්, උපාංගයේ ඇති කහ එල්.ඊ.ඩී. බල්බය දැල්වීමත් සිදුවේ.

මෙම විද්‍යුත් කම්පනය මිනිසෙකුට කිසිසේත්ම හානිකර පරාසයක නොමැති නමුත්, නින්දට වැටෙනා ඔබව ක්ෂණයකින්ම පියවි සිහියට ගෙන ඒමට සමත් ප්‍රබල කම්පනයක් ඇති කිරීම සඳහා ප්‍රමාණවත් වනු ඇත.

එසේම මෙහි නිර්මාපකයින්ට අනුව, මෙම මෘදු විද්‍යුත් කම්පනයට ඔබේ සිරුරේ සෙරටොනින්, නො‍රැඩ්‍රිනලින් සහ කෝර්ටිසෝල් මට්ටම වැඩි කිරීමටත්, ඒ හා සමගාමීව සිරුරේ මෙලටොනින් මට්ටම පහත දැමීමටත් හැකියාව තිබේ. එමගින් ක්ෂණයකින් ඔබගේ නිද්‍රාශීලී බව පහව ගොස් නැවුම් බවක් දැනෙනු ඇත. එමගින් නැවතත් රිය පැදවීම කරා ඔබේ පූර්ණ අවධානය යොමු කිරීමට හැකිවනු ඇත.

මෙය අඟල් 2.6x1.6x0.4 ප්‍රමාණයේ වන අතර, දිගින් සහ පළලින් ඔරලෝසුවකට වඩා විශාල වනු ඇත. එසේම එය ඔබේ මැණික් ක‍ටුවට ස්ථිරව බැඳ තබනා පටියක්ද තිබේ. මෙම උපාංගය තුළ 500mAh ප්‍රමාණයේ බැටරියක් තිබෙනා අතර, මෙහි නිර්මාපකයින්ට අනුව එක දිගට සති දෙකක් පුරාවට භාවිතා කිරීම සඳහා එක් ආරෝපණයක බැටරි බලය ප්‍රමාණවත් වනු ඇත.

මෙහි විශාල ප්‍රමාණය ගැටළුවක් නොවන්නේ, එය එදිනෙදා පැළඳිය යුතු යමක් නොවනා බැවිනි. සැබවින්ම මෙය හදිසි අවස්ථාවකට උපයෝගී වන උපාංගයක් ලෙසින් හැඳින්වීම වඩාත් යෝග්‍ය වේ. කෙසේ නමුත් නිරන්තරයෙන් නිදි වර්ජිතව රිය ධාවනයේ යෙදීමට සිදුවන ට්‍රක් රථ රියැදුරන්, රාත්‍රී ප්‍රවාහන අංශ රියැදුරන් වැනි පුද්ගලයින් හට මෙය නිරන්තරයෙන් වුවද භාවිතා කිරීමට මනා ලෙසින් ගැලපෙන උපාංගයක් වනු ඇති බවද ඒ සමගින්ම කිව යුතුවේ.

මෙය තවමත් වෙළෙඳ පොළට පැමිණ නැති නමුත්, ඔබටද එහි වාණිජ වශයෙන් නිෂ්පාදනය සඳහා දායක වී උපාංගයක් වෙන් කරගත හැක.

Steer - 2017-08-05-23-42-46

(පැතුම් පුංචිහේවා-අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රියපදවන ඔබේ ආරක්ෂකයා"

    Post a Comment