01 August, 2017

ක්‍රීඩකයන්ගේ වැසිකිළියත් පරීක්‍ෂාවට

Cricketers proglem - Question

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර පැවැති එක්දින තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ක්‍රීඩකයන්ගේ කාමරයේ වැසිකිළියට කඩා වැදී තිබේ. මෙම නිලධාරීන් ක්‍රීඩකයන්ගේ කාමරයේ වැසිකිළියට කඩා වැදී ඇත්තේ නවීනතම ජංගම සන්නිවේදන උපකරණ දෙකක් සොයමින් බව දැනගන්නට ඇත.

දූෂණ මර්ධන නිලධාරීන් එවන් පියවරක් ගෙන ඇත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩයන් දෙදෙනකුගේ පැමිණිලි වලින් පසුව බවද කියැවේ. ඒ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමසීමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු කියා සිටියේ ක්‍රීඩකයන් දෙදෙනකුගේ හැසිරීම සම්බන්ධයෙන් මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනාට ඇතිවූ සැකය හේතුවෙන් ඔවුන් අදාළ බලධාරීන්ට පැමිණිළි කළ බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පිල හමුවේ දිගින් දිගටම පරාජයන් වැලකට මුහුණ දුන් අතර සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් තරගාවලිය 3-2 ක් ලෙසින් ජයගැනීමටද සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූහ.

අන්තර්ජාතික කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ විවේක කාමරය කණ්ඩායමේ සාමාජිකයන්ට පමණක් සීමාවූ ප්‍රදේශයකි. ක්‍රීඩකයන්, පුහුණු කාර්ය මණ්ඩලය සහ නිලධාරීන් හැරුණු විට එහි යන කිසිවකු වේ නම් ඒ තේරීම් කමිටු නිලධාරියකු පමණි. එයද කණ්ඩායමේ උපක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමට මිස ක්‍රීඩකයන් සමග කාලය ගෙවා දමමින් තරග නැරඹීමට නොවේ. එහෙත් ක්‍රීඩකයන්ගේ කාමරයේදී ජංගම සන්නිවේදන උපකරණ භාවිතය සපුරා තහනම් වන අතර ඒ සඳහා අවස්ථාව ඇත්තේ කණ්ඩායමේ කළමණාකරුට පමණි.
ඕනෑම රටක ඕනෑම ජාතික ක්‍රීඩා සංගමයක සභාපති ලේකම්වරු පවා ක්‍රීඩකයන්ගේ කාමරය පැත්තේ රවුම් නොගැසීමට පරෙස්සම් වෙති.

වාර්තාවන පරිදි සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත් පත කළ විමසීමකදී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා ඇත්තේ “අපි නම් දන්න තරමට ඒ වගේ සිද්ධියක් වෙලා නෑ. ඒ මේ වගේ දේවල් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයෙන් කරන්නේ ඉතාමත් ස්වාධීන ආකාරයෙන් ” කියාය.

මේ අතරවාරයේ අදාළ පරීක්‍ෂණ පිළිබඳව තවත් නිලධාරියෙක් සංත්‍රාසයට පත්ව සිටී. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ඥාතිත්වයක් ඇතැයි කියැවෙන සම්පත් හෙට්ටිආරච්චි මහතාය.

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලිය පැවැති දිනවලදී කණ්ඩායම් රැස්වීම් වලට පවා සහභාගි වී ඇති සම්පත් හෙට්ටිආරච්චි මහතාට ඒ සඳහා සහභාගි වීමට කිසිම සුදුසුකමක් නොතිබූ බැවින් පසුව ඔහුව කණ්ඩායම් රැස්වීම් වලින් පන්නා දමා තිබේ. එසේ වුවත් අදාළ නිලධාරියා සම්බන්ධයෙන් පවතින කතාබහ ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදි

“සම්පත් හෙට්ටිආරච්චි කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතාමත් ඉක්මනින්ම පිහිටුවන්න යන ‘බුද්ධි මධ්‍යස්ථානය’ බාරගන්න ඉන්නේ ඔහු තමා”
“ඒ නිසා තමන්ට බාරගන්න සිදුවන වගකීම්වල ස්වභාවය ගැන වැටහීමක් ලබාගන්න එයාට ඒ වගේ (කණ්ඩායම්) රැස්වීම් වලට සහභාගි වෙන්න වෙනවා. ඒ එක්කම කවුරුවත් එයාට කණ්ඩායම් රැස්වීම් වලට එන්න එපා කියලා නෑ” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මේ වසරේදී විමසිලිමත් වූ දෙවැනි අවස්ථාව මෙයයි. එහි පළමු අවස්ථාව වාර්තා වන්නේ මේ වසරේ මාර්තු මාසයේදී කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පිල හමුවේ පරාජය වීමෙන් පසුවය. එවරත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ක්‍රීඩකයකු වෙත ප්‍රශ්න වැලක් මුදාහැර තිබේ.

මෙවැනි දේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දුන් බරපතලම සිදුවීම වාර්තාවන්නේ 2010 දීය. ඒ දඹුල්ලේ පැවැති එක්දින තරගයකදී ඉන්දීය ආරම්භක පිතිකරු විරෙන්දර් සෙවැග්ට ශතකය අහිමි කිරීමට සුරාජ් රන්දිව් විසින් නිපන්දුවක් යවනු ලැබීමයි.

එම නිපන්දුව හේතුවෙන් රන්දිව්ට තරගයක තහනමක් පැනවූ අතර ඔහුට එසේ කරන්න’යි උපදෙස් දුන් තිලකරත්න ඩිල්ෂාන්ට දඩයක් පැනවන ලදි. ඒ සම්බන්ධයෙන් එවකට කණ්ඩායමේ නායකයාව සිටි කුමාර් සංගක්කාරද ප්‍රශ්න කිරීම් වලට ලක්විය.

- ද සන්ඩේ ටයිම්ස් (එස්. ආර්. පතිරවිතාන - කෙළිමඩල)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රීඩකයන්ගේ වැසිකිළියත් පරීක්‍ෂාවට"

    Post a Comment