05 August, 2017

මොළය අවුල් කරන චැනල්

Man watch TV - Channels

විවෘත ආර්ථිකයත් සමඟ විද්‍යුත් මාධ්‍යයන්හි රසාස්වාදය විඳගැනීමට අපට හැකිවිය. එම නාලිකා ආරම්භයේදී නම් ඉතා විශිෂ්ට ලෙස ජනතාවට දැනුම, රසය හා ආශ්වාදය ලබා දීමට සමත් විය. එහෙත් මේ වන විට ඇතැම් විද්‍යුත් මාධ්‍ය ක්‍රියා කරන ආකාරය මාධ්‍ය සදාචාරයට විනාශ හානි දායකය. ජාත්‍යන්තර මාධ්‍ය සංස්කෘතිය තුළට එබිකම් කරන අපේ මාධ්‍ය ආයතන ඒවාහි සියලු ක්‍රියාකාරකම් අප රට තුළ ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙන අතර ඉන් ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලාංකීයත්වය විනාශවන අන්දම මාධ්‍ය බලධාරීන්ට නොපෙනීම පුදුමයට කරුණකි.

එදා විද්‍යුත් හා ප්‍රකාශන මාධ්‍ය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය අද වන විට පහව ගොස් තිබේ. එදවස පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට මාධ්‍ය ආදර්ශයට ගන්නා ලෙස ගුරුවරුන් පැවසූහ. ඒ හරවත් වදන් ප්‍රකාශය හා එහි උච්චාරණ ශෛලිය උක්තය, ආඛ්‍යාතය ගැලපීම වැනි දේ ආදර්ශයට ගැනීමටය. එහෙත් වර්තමානයේ නම් ඒ තත්ත්වය වෙනස් ය. ඇතැම් විද්‍යුත් නාලිකාවන්හි වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් කොච්චි මිරිස් කෑ ගිරවුන් වැනි ය. තොරතෝංචියක් නැතිව කිසිදු ගැලපීමක් නැති හරසුන් කතා ඉදිරිපත් කරන අය බවට පත්ව තිබේ. 

ඇතැමුන් භාවිතා කරන වාක්‍ය අතර භාගයක් ඉංග්‍රීසි වචන ද, තව කොටසක් සිංහල වචන ද, තවත් කොටසක් සිංග්ලිෂ් යනුවෙන් ව්‍යාවහාර වන වචන ද ඉදිරිපත්වන අතර තවත් කොටසක් කිසිදු හරයක් නැති ඒවාය. ඇතැම් නිවේදක නිවේදිකාවන් ඔවුන්ට පවසන වදන් හමුවේ ඔවුන්ම සිනාසෙති. අසන්නන්ට නම් ‘කිති’ කැවීමක් කළත් හිනා නොයන තරමට ඒවා හරසුන්ය. විද්‍යුත් මාධ්‍ය ආරම්භයේදී ප්‍රවෘත්ති විකාශයද ඉතා හරවත් වූවකි. එහෙත් අද වන විට එයද සජිවීකරණයට ගොදුරු වී වැරදි සිදුකරන අවස්ථා බොහෝය.

තවද ටික කලක සිට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට ඉතා දරුණු රෝගයක් බෝවී තිබේ. ‘ඇහුවොත් සල්ලි තමයි’ එම රෝගයයි. මෙය එක්තරා අයුරකින් ප්‍රසිද්ධියේ අල්ලස් ලබාදීමකි. යම් ප්‍රේක්ෂකයකු යම් නාලිකාවක් හා බැ‍ඳෙන්නේ සල්ලි බලාගෙනද? එයින් අදහස් වෙන්නේ සල්ලි විසි නොකළොත් එම නාලිකාව හා සම්බන්ධ වන්නේ නැහැ කියන අදහස ද? තවත් ආකාරයකින් හැඳින්වුවහොත් එම නාලිකා ජනප්‍රියවීමට උත්සාහ කරන්නේ හරවත් වැඩසටහන්වලින් නොවන බවද? ජනතාවට ප්‍රයෝජනවත් වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නම්’ ... ඇහුවොත් සල්ලිම තමයි’ වැඩසටහන් කරන්න අවශ්‍ය වන්නේ නැත.

එවැනි දේ සිදු කරන විද්‍යුත් නාලිකාවලට ‘සල්ලි වැඩි නම්’ ප්‍රජා සත්කාර සේවාවක් ආරම්භ කළ හැකි නොවේද? හිසට සෙවනක් නැති ජනතාව අප රටේ කොතෙකුත් සිටිති. ඉගෙනීමට දක්ෂතා ඇති එහෙත් ආර්ථික අසීරුතා තිබෙන දරුවන් කොතෙකුත් සිටීද? බෙහෙත් ගැනීමට නොහැකිව ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන රෝගීන් කෙතෙකුත් හිඳීද? එදාවේල කන්න නැතිව කුසගින්නෙන් පෙළෙන දුගී ජනතාව කොතෙකුත් සිටීද? 

‘සල්ලි විසි කරන මාධ්‍ය ආයතනවලට මොවුන් නොපෙනෙන්නේ කුමන පාප කර්මයක් නිසා ද? බස්රියට ගොඩවී, දුම්රියට ගොඩවී, නිවෙස්වලට ගොඩවී, මහමඟ යනෙන ජනතාව හමුවී අදාළ නාලිකාවේ නම කියවාගෙන දහස් ගණන් සල්ලි පූජා කරන මාධ්‍ය ආයතනවලට ඉහත කී අසරණයන්ට එම පරිත්‍යාග කිරීම නොවටින්නේද? මේවා මාධ්‍ය සංදර්ශනය. හතු පිපෙන්නා සේ විද්‍යුත් නාලිකා බිහිවෙන මෙවන් යුගයක තම නාලිකාව ජනප්‍රිය කරවීමට මෙවන් මුදල් නාස්ති කිරීම බුද්ධිමත් ජනතාව කිසිසේත් අනුමත නොකරනු ඇත‍.

ඊට අමතරව ප්‍රදර්ශනය වන ටෙලිනාට්‍ය ද ජනතාවට විහිළු සැපයීමක් බඳුය. එකම රටාවක ගමන් ගන්නා නිර්මාණවලින් කාලය විනාශ කර දමති. ඇතැම් නාලිකාවල පමණක් තවමත් හරවත් දේ විකාශය කිරීම සැනසීමට කරුණකි. ඇතැම් නිර්මාණ මව්පිය - දරුවන් හා සොයුරු සොයුරියන් සමඟ එකට හිඳ නැරඹිය හැකි ඒවා නොවෙති. වෙළඳ දැන්වීම් පිළිබඳ කතා කළද එවැනි තත්ත්වයකි. 

බටහිර රටවල පවතින සංස්කෘතියට අනුව එවැනි රටවල වැඩසටහන් නිෂ්පාදනය වන අතර ඒවා සියල්ලක්ම අප රටට ගැලපේද යන වග බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු කරුණකි. එවැනි තත්ත්වයන්ගෙන් මදක් හෝ ආරක්ෂා වෙමින් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා බැඳුණා ගුවන් විදුලි නාලිකා ඉදිරිපත් කරන වැඩසටහන් අපේ සංස්කෘතිය ආරක්ෂා කරමින් විකාශය වීම සැනසීමට කරුණකි.

මාධ්‍ය මඟින් අප රටේ පවතින සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා නීතිරීති පැනවූවාට ප්‍රමාණවත් නැත. ඒ ඒ නාලිකා ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් මාධ්‍ය සදාචාරය ආරක්ෂා කිරීමට ස්වයං තීරණයක් ගත යුතුය. ඒ අනුව ක්‍රියාත්මක විය යුතුය. නැතහොත් අනාගතයේදී මාධ්‍ය මඟින් අපේ අනාගත පරපුරට ලබා දෙන ආදර්ශය සුබදායක නොවනු ඇත.

නිශාන් මෙන්ඩිස් (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මොළය අවුල් කරන චැනල්"

    Post a Comment