07 August, 2017

ලංකාවේ දෙවැනි ජාතික රෝහල

Medical - Nurse - Hospital

මහනුවර ශික්ෂණ රෝහල ලංකාවේ දෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අදහස් කරයි.මෙම අද්විතීය රෝහල් සංකීර්ණය මහනුවර හදවත සේ සැළකිය හැකිය. හදවත අකර්මණ්‍ය වුවහොත් සියල්ල නිමාවට පත්වෙයි. ඒ මිනිසාගේය. එහෙත් හදවත් අකර්මණ්‍ය වූ මිනිසුන්ට හදවත් බද්ධ කොට ජීවත් වීමේ අපේක්ෂාව ලබා දෙන්නට තරම් මහනුවර මහ රෝහල ජාතික වස්තුවකි. මහනුවර හදවත යැයි මේ රෝහලට නොකිය නොහැකි එහෙයිනි.

වකුගඩු බද්ධ කිරීමේ අති විශේෂ ශල්‍ය වෛද්‍ය ඒකකයක් මොළය සහ ස්නායු පිළිබඳව විශේෂඥ ප්‍රතිකාර කිරීමේ ඒකකයක් තවද රෝග පිළබඳව සහ හදවත් බද්ධ කිරීමේ විශේෂ ශල්‍ය වෛද්‍ය ඒකකයක්, කැඩුම් බිඳුම් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක් මනෝ වෛද්‍ය ඒකකයක්, නවීන තාක්ෂණයෙන් යුත් රෝග පරීක්ෂණ ඒකකයක් (ස්කෑනර් අංශය) දැඩි සත්කාර ඒකකයක්, විශේෂඥ මාතෘ ශල්‍ය වෛද්‍ය හා නාරි රෝග ප්‍රතිකාර ඒකකයක්, භෞත චිකිත්සක අංශයක්, විශේෂ විකිරණ ප්‍රතිකාර ඒකකයක්, විශේෂ එක්ස්-රේ පර්යේෂණාගාරයක් ඇතුළු රෝගී ජනතාවට එකම වහලක් යටදී සුවිශේෂී වූ වෛද්‍ය ප්‍රතිකාර ශල්‍යකර්ම අතිනවීන වෛද්‍ය උපකරණ ඔස්සේ ලබාදීමට මෙරට අධ්‍යාපන මෙන්ම විදේශීය විශේෂඥ වෛද්‍ය අධ්‍යාපනය ලද අපේම ශ්‍රී ලාංකීය වෛද්‍ය පුතුන් රැසක් මෙම රෝහලේ දිවා රාත්‍රී සේවයේ යෙදී සිටිති.

ලංකාවේ ඉතා දුර බැහැර දුෂ්කර ප්‍රදේශවල සිට මහනුවර ශීක්ෂණ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගී ජනතාවගේ සංඛ්‍යාව දිනකට 4000ක් ඉක්මවයි.

ඇඳන් 2400කින් යුත් මෙම මහා ගිලන්හල රෝගී ජනතාවට ලබා දෙන සත්කාර සේවාව කොළඹ ජාතික රෝහලට නොදෙවැනි වී තිබේ.

ඊට අමතරව තැලිසීමියා රෝගීන්ට සහ පිළිකා රෝගීන් සඳහා තවත් විශේෂ වාට්ටු සංකීර්ණයක් ඉදිවෙමින් පවතියි.

අක්කර 58.8ක භූමි ප්‍රමාණයක පැතිරී පවතින මහනුවර රෝහල් සංකීර්ණය සතු තවත් අක්කර 20ක් අනවසර පදිංචිකරුවන් විසින් විවිධ දේශපාලනඥයන්ගේ අනුමැතිය ඔස්සේ අත්පත්කරගෙන සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇතැම් රෝහල් පරිශ්‍ර ඉඩම් කොටස් අවමංගල්‍ය සේවාවන් පවත්වන්නන් විසින් විවිධ ක්‍රම ඔස්සේ අත්පත් කරගෙන තිබෙන අතර එකී ඉඩම් කොටස් යළිත් මහනුවර රෝහල සතුකර ගැනීම සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මේවන විට නීතිමය ක්‍රියාමාර්ගයන් ගෙන තිබෙන බව දැනගන්නට තිබේ.

අම්පාර, වව්නියාව, මොණරාගල, බදුල්ල, බිබිල, නුවරඑළිය, කුරුණෑගල වැනි ප්‍රදේශවල සිට පවා මෙම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට රෝගී ජනතාව පැමිණෙති.

මෙහි විශේෂඥ වෛද්‍යවරු, හෙද හෙදි, රසායනාගාර ශිල්පීන් ඇතුළු අතුරු වෛද්‍ය සේවාවේ මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය 6000ක් පමණ සේවය කරති. දිවා රාත්‍රී ඔවුහු තම සේවාව රෝගී ජනතාව වෙනුවෙන් ඉටු කරති.

විශේෂඥ වෛද්‍යවරු 125ක් මෙම රෝහලේ සේවයේ යෙදී සිටිති. ශල්‍යාගාර සංඛ්‍යාව 16කි.

මෙහි විශේෂඥ වෛද්‍ය සේවාවන් සපයන අංශ කීපයකින්ද සමන්විත වෙයි. වෛද්‍ය සේවා පරිපාලන නිලධාරීන් තිදනෙකුගෙන් යුත් පරිපාලන මණ්ඩලය මෙම දැවැන්ත ගිලන්හලේ පරිපාලන කටයුතු මෙහෙයවන අතර වෙනත් වෙනත් අංශවලටද ප්‍රධානීන් පත්කර තිබේ.

රෝහලේ සේවයේ නියුතු සමස්ත කාර්ය මණ්ඩලය සඳහා ඒ ඒ ශ්‍රේණි තනතුරැ අනුව වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් ලක්ෂ 3650ක මුදලක් රජය විසින් වැයකරනු ලබයි.

වත්මන් රෝහල් පරිපාලන අධ්‍යක්ෂ වෛද්‍ය සමන් ගමගේ, නියෝජ්‍ය පරිපාලන අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන යන මහත්වරුන්ගේ අඛණ්ඩ කැපවීම හා උනන්දුව මත මේසා අති විශාල ගිලන් හලක් පරිපාලනය කිරීම අති දුෂ්කර වගකීමක් වූවද ඔවුන් එම කාර්ය මනාව ඉටු කරනු ලබන බව පැවසිය යුතුය.

රෝහලේ නේවාසික රෝගීන්ගේ මාසික ආහාර පාන සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කෙරෙයි. රෝහලේ නඩත්තු කටයුතු සඳහාද මාසිකව විශාල මුදලක් වැයකරන බව එහි ගිණුම් අංශය සඳහන් කරයි.

රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක නිලධාරීන්ට වැටුප් ගෙවීමට අදාළව මාසිකව රුපියල් ලක්ෂ 50ක මුදලක්ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ගෙවනු ලබන අතර, පවිත්‍රතා කටයුතු (රෝහලේ සියලු අංශ පිරිසිදු කිරීමට) සඳහා පෞද්ගලික ආයතනයකට මාසිකව රුපියල් ලක්ෂ 95ක මුදලක්ද ගෙවීමට සිදුව තිබේ.

ජලය සඳහා මාසිකව රුපියල් ලක්ෂ 40ක මුදලක් වැය කෙරෙන බවද එයට අමතරව රෝහලේ සෑම අංශයකම භාවිතයට ගනු ලබන ඇඳ ඇතිරිලි, රෝගීන්ට පරිහරණයට ලබාදෙන රෙදි පිළි ශල්‍යාගාර භාවිතයට ගනු ලබන විශේෂ ආරක්ෂිත ඇඳුම් මේ සියල්ල පවිත්‍ර කිරීම ආදී කටයුතු සඳහා අංගසම්පූර්ණ ලොන්ඩ්‍රි පහසුකම්ද මෙහි තිබේ. නවීන යන්ත්‍ර සූත්‍ර රැසක් යොදාගනිමින් එකී රෙදිපිළි පිරිසුදු කිරීම් සිදු කරන අතර ශල්‍යාගාර සඳහා අවශ්‍ය විශේෂිත රෙදිපිළි වෛද්‍ය උපකරණ ජීවානුහරණය (විෂබීජ නැසීමට උණුවතුරෙන් තැම්බීම) කිරීමට ද අති සුපිරි යන්ත්‍ර යොදා ගැනේ.

කිසිවකුට හෝ සිතාගන්නට බැරි දැවැන්ත සමාජ සත්කාරක මෙහෙවරක් ඉ‍ටුකරන මහනුවර මහ රෝහල එක්දිනකට වැඩ වැරීමක් (වැඩ වර්ජනයක්) සිදුවූ දවසට රෝගී ජනතාව නගන අඳෝනා පිළිබඳ අමුතුවෙන් කිවයුතු නොවේ.

එහි හොඳම උදාහරණය වන්නේ පසුගියදා මහනුවර රෝහලේදී හදවතක් අකර්මණ්‍ය වූ මවකට හදවතක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදු කිරීමේ ක්‍රියාදාමයයි.

මහනුවර රෝහලේ මාසික විදුලිබිල පමණක් රුපියල් ලක්ෂ 130ක් ඉක්මවන බව එහි ගිණුම් අංශය පවසයි. ජනතාවගේ මුදල් කෝටි ගණන් වැයකරමින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ජනතාවට ජීවිතාපේක්ෂාව ලබා දීමට දිවා රාත්‍රී ඇපකැපවී සිටින මහනුවර මහ රෝහල් කාර්ය මණ්ඩලයට ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතුය.

මහනුවර මහ රෝහලේ වත්මන් දියුණු තත්ත්වය සම්බන්ධයෙන් වත්මන් රෝහල් අධ්‍යක්ෂවරයා මෙන්ම මෙම රෝහලේ අධ්‍යක්ෂධූර හෙබවූ තවත් .වෛද්‍ය නිලධාරීන් කීපදෙනෙකුටද ස්තූතිය පුදකළ යුතුව ඇත.

මෙම රෝහලට විශේෂඥ වකුගඩු ශල්‍ය වෛද්‍ය ඒකකයක් ලබාදීමට මූලික වූ වෛද්‍යවරුන් වශයෙන් විශේෂඥ වෛද්‍ය බෙලිගස්වත්ත, විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, විශේෂඥ ශල්‍ය වෛද්‍ය කේ.හරිස්චන්ද්‍ර යන මහත්වරුද සිදුකර ඇත්තේ ඉතා වටිනා මෙහෙවරකි.

රජයන් කීපයක් මහනුවර මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා විවිධ අවස්ථාවන්හිදී ආයකත්වය ලබා දී තිබේ.

ඉදිරියේදී මහනුවර මහ රෝහල දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයකට යොමුකිරීමට පවතින ලොකුම බාධකය වී ඇත්තේ රෝහලට අයත්ව තිබෙන ඉඩම් කොටස් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට නතුවී තිබීමය. එම ඉඩම් ද රෝහලට යළි ලබාගත හැකිනම් මහනුවර රෝහල තුළින් මීට වඩා පුළුල් වූ ජනතා මෙහෙවරක් ඉටුකළ හැක.

 ජේ.ඒ.එල්.ජයසිංහ (දේශය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවේ දෙවැනි ජාතික රෝහල"

    Post a Comment