03 July, 2017

කොදෙව්වෝ ඉන්දියාව අන්දමන්ද කරති

West Indies Bowler

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 11 ක ජයක් අත්කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (02 වැනිදා) සමත් විය.

දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී කොදෙව් කණ්ඩායම හිමිකරගත් පළමු ජයග්‍රහණය මෙය වන අතර මේ වන විට ඉන්දීය පිල තරග 2 ක් ජයගෙන 2-1 ක් ලෙස පෙරමුණේ පසුවෙයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 49.4 ක් අවසානයේ ලකුණු 178 කට සීමා කිරීමට කොදෙව් පන්දුයවන්නෝ සමත් වූහ. එහිදී අනගි පන්දු යැවීමක නිරත වූ නායක ජේසන් හෝලඩර් ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගනිමින් ඉන්දීය ඉනිම සුණුවිසුනු කර දැමීය.

සිය සුපුරුදු ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයෙන් මඳක් බැහැරව ඉතා ඉවසිලිවන්ත ලෙස පන්දුවට පහරදුන් මහේන්ද්‍ර සිං දෝනි පන්දු 114 කදී හතරේ පහරක් සමග ලකුණු 54 ක් රැස්කළද කෙශ්‍රික් විලියම්ස් යැවූ 48 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී අල්සාරි ජෝෂප් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයෑම නිසා දෝනිට සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට නොහැකි විය.

නායක විරාට් කෝලිද (3) සමගින් මුල් පෙළ පිතිකරුවන් තිදෙනකුම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී, ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වීමට අජින්ක්‍යා රහනේ (60) සමත් වූයේය. පන්දු 91 කදී වාර්තා වූ ඔහුගේ 19 වැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට එවින් ලුවිස් (35) සහ කයිල් හෝප් (35) සමත් වූහ. පන්දු 60 කදී වාර්තා වූ ලුවිස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 63 කදී වාර්තා වූ හෝප්ගේ ඉනිම හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

ඔවුන් දෙදෙනා හැරුණු විට සෙසු කොදෙව් පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් උමේෂ් යාදව් සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 3 බැගින් දවාගත්හ. කොදෙව් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා යාදව්ට සහ පාණ්ඩ්‍යාට අනගි සහයන් දුන් කුල්දිප් යාදව් ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ෂේ හෝප් පන්දු 39 කදී හයේ පහරක් සමග ලකුණු 25 ක්ද, රොස්ටන් චේස් පන්දු 34 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළහ,

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 189
(එවින් ලුවිස් 35, කයිල් හෝප් 35, ෂේ හෝප් 25, රොස්ටන් චේස් 24, ජේසන් මොහොමඞ් 20, උමේෂ් යාද්ව් 36/3, කුල්දිප් යාදව් 31/2)

ඉන්දීය පිල - ඕවර 49.4 කදී කඩුලු 10 කඩුදී 178
(අජින්කා රහනේ 60, මහේන්ද්‍ර සිං දෝනි 54, හර්දීක් පාණ්ඩ්‍යා 20, ජේසන් හෝල්ඩර් 27/5, අල්සාරි ජෝෂප් 46/2) 

(kelimandala)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කොදෙව්වෝ ඉන්දියාව අන්දමන්ද කරති"

    Post a Comment