27 July, 2017

කළුබෝවිල ළමා නිවාසෙක දැරියන් 18කට ලිංගික අතවර කරලා

Sexual abuse Kalubowila childre home

කළුබෝවිල ප්‍රදේශයේ ළමා නිවාසයක රියැදුරකු වශයෙන් සේවය කරමින් සිටින අතරතුර එම නිවාසයේ රඳවා සිටි බාලවයස්කාර දැරියන් දහඅට දෙනකුට (18) වසර ගණනාවක් තිස්සේ ලිංගික අතවර කළ බව කියන සැකකරුවකු අගෝස්තු මස 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අනුෂ්ක සෙනවිරත්න මහතා ඊයේ (25දා) නියෝග කළේය.

මොහොම්මදු සරිප්පුගේ මොහාර් නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකාර පුද්ගලයා එම ළමා නිවාසය භාර පාලිකාවගේ ස්වාමිපුරුෂයා බවද අනාවරණය වෙයි.

අධිකරණ නියෝග මත හා මවුපියන් විසින් භාර දෙන ලද දහය (10) හා දහහත (17) හැවිරිදි දැරියන් පිරිසක් එසේ සැකකරුගේ අතවරයට ලක්ව ඇති බවද ඔහු මෙම ක්‍රියාව වසරකට අධික කාලක සිට සිදුකර ඇති බවද වාර්තා වෙයි.

මෙම දැරියන් පිරිස කළුබෝවිල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන බවද ළමා නිවාසයේ රියැදුරකු වශයෙන් සේවය කරන සැකකරු එම ළමයින්ව වෑන් රථයේ නංවාගෙන පාසලට ගෙනයන අතුරතුරදී මෙන්ම එම ළමයින් නිවාඩු දිනවල එම නිවාසයේ රැඳී සිටින අතුරතුරදීද එම අතවරයන් සිදුකර ඇති බවද දැන ගැනීමට තිබේ.

එම නිවාසය භාර පාලිකාවගේ සැමියා වන සැකකරු එම ළමා නිවාසයේ රැඳී සිට ඇති බවද ඔහු විසින් සිදුකරනු ලබන අතවරයන් පිළිබඳව එම දැරියන් එකී පාලිකාවට කොතෙක් දැනුවත් කළද ඇය එම තොරතුරු වසන් කර ඇති බවද එම ළමා නිවාසය පරීක්ෂා කිරීමට පැමිණෙන නිලධාරීන්ට එම සිද්ධීන් අනාවරණය කිරීමට දැරියන් උත්සාහ ගත් හැම අවස්ථාවකදීම එකී පාලිකාව එය වළක්වා ඇති බවටද කරුණු අනාවරණය වෙයි.

මෙම සිද්ධිය දැනගත් කිසියම් පුද්ගලයකු ළමා ආරක්ෂක අධිකාරියට කළ දැනුම් දීමකට අනුව කොහුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එකී ළමා නිවාසයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද දැරියන් පිරිස පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වෙයි.
පොලිස් භාරයට ගැනුණු දරුවන් සුදුසු ළමා නිවාසයක රඳවා තබන ලෙස පරිවාස නිලධාරිනියට අධිකරණයෙන් නියම කෙරුණු අතර, එකී දැරියන් කළුබෝවිල රෝහල් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසටද අධිකරණයෙන් පොලිසියට නියම කෙරිණි.

මෙම ළමා නිවාසයේ අයිතිකාරිය වෛද්‍යවරියක් බවද මෙය පාලනය වන්නේ රාජ්‍ය නොවන සංවිධාන මඟින් ලබාදෙන ආධාර මත බවද අධිකරණයේදී අනාවරණය විය.

කොහුවල පොලිසියේ කොස්තාපල් දයාසිරි (33789) මහතා පැමිණිල්ල මෙහෙයවීය. (කුමුදු උපුල් ශාන්ත - මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කළුබෝවිල ළමා නිවාසෙක දැරියන් 18කට ලිංගික අතවර කරලා "

    Post a Comment