21 July, 2017

“සරසවි වෛද්‍ය ශිෂ්‍යයා සුදුවෑන් කල්ලියකින් බේරෙයි”

Ryan Jayalath - Lahiru Weerrasekara
File Photo - ලහිරු වීරසේකර (වම) - රයන් ජයලත් (දකුණ)


විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති 'සයිටම්' විරෝධී වැඩ සටහනකට සම්බන්ධ වී පිටව යමින් සිටි සරසවි ශිෂ්‍ය නායකයකු පැහැර ගැනීමට සුදු වෑන් කල්ලියක් තැත් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති සාකච්ඡා වලට සහභාගී වී ආපසු යමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළ බව කියා සිටියේය.

"විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවැත්වුන සාකච්ඡාවලට වෛද්‍යවරුන්,දේශපාලන පක්ෂ නියෝජිතයන්,වෘත්තීය සමිති ක්‍රියාධරයන් සහ වෙනත් විවිධ පුද්ගලයන් සහභාගී වුනා. ඒ සාකච්ඡා ඉවර වෙලා හවස පහට විතර එළියට පැමිණි වෛද්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා පැහැර ගැනීමට සුදු වෑන් එකකින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළා. එම අවස්ථාවේ රයන් ජයලත් ශිෂ්‍යයා ආයෙත් ගොඩනැගිල්ල ඇතුළට දිවගොස් බේරුනා" පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

රයන් ජයලත් වෛද්‍ය ශිෂ්‍යයා බේරා ගන්නා ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇතුළු කණ්ඩායමක මැදිහත් වීමෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේ පොලිස් කණ්ඩායමක් විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානය ඉදිරිපිට රඳවා සිටි බවත් බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසයි.

වෛද්‍ය ශිෂ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීමට තැත් කරන ලද්දේ පොලිසිය විසින්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක "ඔවුන් සිවිල් ඇඳුමින් සැරසී සිටි අතර අත්අඩංගුවට ගැනීමකට අදාළ අධිකරණ නියෝගයක් හෝ වෙනත් ලියවිල්ලක් ඔවුන් අත නොතිබුණ බවත්" සඳහන් කළේය.

එම සිද්ධිය ගැන විමසීමට බීබීසිය පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර දුරකතනය මගින් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

අනතුරුව බීබීසිය පොලිස් මාධ්‍ය අංශයට කතා කළ විට එහි නිලධාරියෙක් අදහස් දක්වමින්,වෛද්‍ය ශිෂ්‍යයා පැහැර ගැනීමට තැත් කරන ලදැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නොමැති බව සඳහන් කළේය.

අදාළ සිද්ධිය පිළිබඳ හඬපට සහ වීඩියෝ දර්ශන තමන් සතුබව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක එවැනි මර්දනකාරී ක්‍රියාවන් හෙළා දකින බවත් සඳහන් කළේය. (BBC)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“සරසවි වෛද්‍ය ශිෂ්‍යයා සුදුවෑන් කල්ලියකින් බේරෙයි”"

    Post a Comment