28 July, 2017

හත් වසරක පිපාසයට දිය බිඳක්



දිගු කලකට පසුව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගයකදී වේග පන්දු යවන්නකු කඩුලු 5 ක් දවාගත්තේය. හරියටම කාලය මැන බලන්නේ නම් ඒ වසර හතකට පසුවය.

වේග පන්දු යවන්නකු අවසන් ශ්‍රි ලංකාවේදී පැවැති ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් දවාගත්තේත් ඉන්දියාවට එරෙහිව ගාල්ලේදීම පැවැති ටෙස්ට් තරගයකදීය. වසර 2010 දී පැවැති මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමේ තරගය එයයි.

එදා ලසිත් මාලිංගගේ දස්කම් යටපත් වන්නේ සිය අවසන් ටෙස්ට් තරගයේ අවසන් ඉනිමේදී කඩුලු 3 ක් දවාගන්නා මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 කඩයිම පසුකරන බැවිනි. එහෙත් ඇත්ත වශයෙන්ම ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක් දවාගන්නා ලසිත් මාලිංග සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරන්නේත් එම තරගයේදීමය. එයින් දින කිහිපයකට පසුව කොළඹදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් අනතුරුව ලසිත් මාලිංගත් ටෙස්ට් පිටියට ආයුබෝවන් කියන්නේ දණහිසේ ආබාධයක් හේතුවෙන් දින 5 ක ටෙස්ට් තරගයක පවතින අතිශය දුෂ්කර කාර්යභාරයට උරදිය නොහැකි බැවිනි.

මව්බිමේදී පැවැත්වෙන ටෙස්ට් තරග වලදී දඟ පන්දු යවන්නන්ට සුදුසු තණතීරු සකස් කරමින්, නව පන්දුවෙන් ඕවර කිහිපයක් යැවීමට පමණක් වේග පන්දු යවන්නන් යොදා ගන්නා කණ්ඩායමක වසර 5 ක් පුරා රැඳී සිටීමත් එක අතකින් දස්කමකි. වසර 5 ක් කණ්ඩායමේ සිටියද විවිධ ශාරීරික ආබාධ හේතුවෙන් ටෙස්ට් තරග කිහිපයක්ම අහිමි කරගන්නා නුවන් සිය පළමු කඩුලු 5 ටෙස්ට් ඉනිම වාර්තා කරන්නේ 25 වැනි ටෙස්ට් තරගයේදීය.

“මා ඒ තරම් හොඳ ආරම්භයක් ගත්තේ නෑ. ඒත් ටිකෙන් ටික පන්දු යවද්දී මා නියම රිද්මයට ආවා” යයි නුවන් කීවේය. වරින් වර පිටියේ අන්ත මාරු කරමින් පන්දු යැවූ මෙම දකුණත් වේග පන්දු යවන්නා විරාට් කෝලි දවාගැනීමට යවන්නේ පිතිකරුවා අන්ද මන්ද කරවන බවුන්සර් පන්දුවකි.

“පන්දු යැවීම සම්බන්ධයෙන් අපට සැලැස්මක් තිබ්බා. ඒක පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවක්. ඒ නිසා අප ිහිතුවේ බවුන්සර් පන්දු වලින් පිතිකරුවන්ට තරමක තිගැස්මක් ඇතිකරන්න” යයිද නුවන් ප්‍රදීප් පැවසීය.
නුවන් කියන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පැමිණියේ සැලැස්මක් ඇතිවය. එහෙත් තරගයේ තත්ත්වය අනුව සැලසුම් වෙනස් කිරීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. ඇතැම් සැලසුම් සහමුලින්ම ඉවත දැමීමටත් සිදුවිය.

මීට පෙර අවස්ථා හයකදීම ටෙස්ට් තරග වලදී ඉනිමකදී කඩුලු 4 ක් බැගින් දවාගෙන ඇතත් කඩුලු 5 ක් දවාගැනීමේ අවස්ථාව ඔහුට නොලැබිණ. එම අවස්ථා සටහන් වූයේ ඩනෙඩින්, ලෝඞ්ස්, චෙස්ටර් ලී ස්ටී්‍රට්, ජොහැන්නස්බර්ග් සහ වෙලින්ටන් යන නගර වලදීය. ශ්‍රී ලංකාවේදී කඩුලු 4 ක් දවාගත් එකම අවස්ථාව කොළඹ එස්. එස්. සී. පිටියේදීය.

“මීට ඉස්සරවෙලා මා කඩුලු 4 ක් දවාගත් අවස්ථාවලදී මම හුඟාක් වෙහෙසට පත්වෙලයි හිටියේ. ඒ වගේ අවස්ථාවලදී දිගටම උනන්දුව රඳවා ගන්න අපහසුයි. ඒත් මේ වතාවේදී මම උත්සාහයෙන් ඒක කළා” යයිද නුවන් පැවසීය. (දමින්ද විජේසූරිය - කෙළිමඬල)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හත් වසරක පිපාසයට දිය බිඳක්"

    Post a Comment