27 July, 2017

දළදාව වඩම්මන්න ඇතෙක් නෑ

no elephant to kandy perahera

මෙවර පැවැත්වෙන ඇසළ පෙරහර කරඬුව වැඩම වීමට සුදුසුකම් ඇති ඇතුන් තිදෙනකු සිටින අතර ඉන් දෙදෙනකු සහභාගි නොවුණත් මෙවර ඇසළ පෙරහරේ කරඬුව වැඩමවීම ශ්‍රී දළදා මාලිගාවේ 'ඉන්දිරාජා' ඇතා මඟින් සිදු කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවැසීය.

ඒ සඳහා පෙර සූදානමක් තිබූ බවත් මාස තුනක් තිස්සේ ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා ඇතා කිසිදු පෙරහරක් සඳහා සහභාගි නොකර ඇතාට මනා විවේකයක් ලබාදී ඇති බවද දියවඩන නිලමේවරයා සඳහන් කෙළේය.

මහනුවර දළදා පෙරහර සඳහා කතරගම වාසනා ඇතා සහ නැදුන්ගමුවේ රාජා ඇතා මෙවර සහභාගි නොවන බව ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාරව කටයුතු කරන ප්‍රදීප් මීයනපලාවල මහතා ඊයේ (26දා) මාධ්‍යයට පැවැසීය.

'මේ බව පැවැසුවේ මෙවර මහනුවර ඇසළ පෙරහරේ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීය.

"මේ පාර කතරගම පෙරහර පැවැත්වෙන නිසා වාසනා ඇතා කොහොමවත් පෙරහරට එන්නේ නැහැ. නැදුන්ගමුවේ රාජා ඉන්නෙත් අසනීප තත්ත්වයේ. ඇතා මහනුවර පෙරහරට පා ගමනින් ගම්පහ සිට එනවා. එහෙත් ඒ අසනීප තත්ත්වය උඩ ඇතා පෙරහරට කොහොමවත් සහභාගි වන්නේ නැහැ. මේ නිසා අපි මේ පාර සෑහෙන අමාරුවක වැටිලා ඉන්නේ. කෙසේ වුවත් පෙරහර වෙනුවෙන් අලි ඇතුන් 50ක් 55ක් සංඛ්‍යාවක් සහභාගි වෙනවා.

පෙරහරේ කරඬුව වැඩමවන කටයුත්ත මාලිගාවේ ඉන්දිරාජාට පමණක් කරන්න පුළුවන් කටයුත්තක් නොවෙයි. ඉන්දිරාජා ඇතාත් ලෙඩ හැදිලා බෙහෙත් ලබාදීමේ කටයුතුවල ඉන්නේ. එහෙත් දැන් අසනීප තත්ත්වය හොඳ අතට හැරෙනවා. එහෙම වුණොත් ඇතා මේ කටයුත්ත කරයි කියලා අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. 

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්,
මහනුවර - නදීක දයා බණ්ඩාර,
මාවනැල්ල - කේ.වී.බණ්ඩාර (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දළදාව වඩම්මන්න ඇතෙක් නෑ"

    Post a Comment