27 July, 2017

ගේමින්ග් කොන්සෝලය ප්‍රමාණවත් නොවනා ක්‍රීඩාලෝලීන්ට Nintendo Switch Keyboard

Nintendo Switch Keyboard - 01

අතීතයේ සිටම ගේමින්ග් කොන්සෝලයන්ගේ පරිණාමය සලකා බැලූවිට, විවිධ ගේමින්ග් කොන්සෝලයන් අතර තිබූ යුද්ධය පැහැදිලිවම හඳුනාගැනීමට හැකියාව ඇත. වර්තමානයේදී වීඩියෝ ක්‍රීඩාවන් සැබවින්ම පරිගණක ක්‍රීඩා ලෙසින් වඩාත් ජනප්‍රිය වී තිබුණත්, වීඩියෝ ක්‍රීඩාවන් සැබවින්ම ක්‍රීඩා කළ යුත්තේ පැරණි ක්‍රමයට ගේමින්ග් කොන්සෝලයන් හරහා බව පවසන්නා වූ උග්‍ර කොන්සෝල් වීඩියෝ ක්‍රීඩා ලෝලීන් කොතෙකුත් සිටී.

කෙසේ නමුත් වර්තමානයේදී අති නවීන ගේමින්ග් පරිගණකයන් බිහිවී ඇති ආකාරයටම ගේමින්ග් කොන්සෝලයන්ද ජයග්‍රාහී ලෙසින් නවීන තාක්ෂණික දියුණුකිරීම් අනුහුරු කරගනිමින් පරිණාමය වෙමින් තිබේ. මේ දිනවල කතාබහට ලක්වන XBox X මෙන්ම Nintendo Switch ද මෙම නවීන ගේමින්ග් කොන්සෝලයන් සඳහා උදාහරණ ලෙසින් දැක්විය හැක.

පරිගණකයකින් ක්‍රීඩා කිරීම සහ කොන්සෝලයකින් ක්‍රීඩා කිරීම අතර පැහැදිලි වෙනසක් ඇති අතර, ඕනෑම අයෙකු පවසනු ඇත්තේ වඩාත් හොඳ වීඩියෝ ක්‍රීඩා අත්දැකීමක් ලබාගැනීම සඳහා සුදුසු වන්නේ ගේම් පෑඩ් උපාංගයන් මෙන්ම වෙනත් විවිධ වීඩියෝ ක්‍රීඩා සහායක උපාංගයන් සමගින් කොන්සෝලයක් භාවිතයෙන් ක්‍රීඩා කිරීම බව වනු ඇත.

කෙසේ නමුත් වීඩියෝ ක්‍රීඩා කොන්සෝලයක් පරිශීලනය කරන්නෙකුට පරිගණකයක මෙන් කීබෝඩයක් අවශ්‍ය නොවනු ඇතිද? වර්තමානයේ ඇති නවීන කොන්සෝලයන් සමගින් ඔබට මල්ටිප්ලේයර් ක්‍රීඩා වලදී හඬ විධානයන් මගින් සන්නිවේදනය කිරීමේ හැකියාව පවා ලැබිය හැකි වුවත්, කොන්සෝලයක් සමගින් වඩාත් හුරුබුහුටි ලෙසින් භාවිතයට ගැනීමට කීබෝඩයක්ද තිබෙනවා නම් මනායැයි සිතනා ක්‍රීඩා ලෝලීන් පවා අපට මුණගැසීමට හැක. හඳුන්වා දෙන Nintendo Switch Keyboard උපාංගය වැදගත් වන්නේ එම ක්‍රීඩා ලෝලීන් හටයි.

මෙය සම්බන්ධ කරනා ප්‍රධාන උපාංගය වන Nintendo Switch හි ඇති අපූරු බව වන්නේ පැරණි කොන්සෝලයන්ගේ මෙන්ම එය දෑතට මනාව ගැළපෙන කොන්සෝල කොටස් දෙකකින් එය සමන්විත වීම නිසායි. එහි මධ්‍යයේ පැරණි තාලයටම නිර්මාණය වූ තිරයක් ඇති අතර, අවශ්‍ය ඕනෑම මොහොතක එම තිරය ගලවා Nintendo Switch කොන්සෝලය වෙනත් ඕනෑම තිරයකට සවි කළ හැක.

හඳුන්වාදෙන Nintendo Switch Keyboard යතුරු පුවරු උපාංගය සවි වන්නේද මෙම කොන්සෝල කොටස් දෙක මධ්‍යයට වේ. මෙම යතුරුපුවරුව දෙපස කොන්සෝලයේ ගේමින්ග් පෑඩ් කොටස් දෙක සවි කළ හැකි ඩොක් එකක් බැගින් තිබේ.

මෙය ඔබට ක්‍රීඩාව අතරතුරදී සන්නිවේදනය සඳහා මෙන්ම ටයිප් කළ යුතු ක්‍රීඩාවට සම්බන්ධ වෙනත් ඕනෑම කාර්යයකට භාවිතා කළ හැක. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන් පවසන්නේ මෙය Dragon Quest X වැනි MMO (Massive Multiplayer Online) ක්‍රීඩාවකට ගැළපෙනු ඇති බවයි.

මෙම යතුරු පුවරුව අඟල් 17ක් දිගින් සහ අඟල් 7ක් පළලින් යුක්ත වන අතර, එම නිසා දෑතම භාවිතා කරමින් ටයිප් කිරීම අපහසු කරුණක් නොවේ. ඒ සඳහා වඩාත් සහාය සැපයීමට Nintendo Switch Keyboard නිෂ්පාදකයින් මෙය නිර්මාණය කොට ඇත්තේ අවුන්ස 9 කට වඩා නොවැඩි, සැහැල්ලු උපාංගයක් ලෙසිනි.

කෙසේ නමුත් ගැටළුව වන්නේ Nintendo Switch කොන්සෝලයේ ගේම් පෑඩ් කොටස් දෙක දෑතින් අල්වාගෙන ක්‍රීඩා කරන අතරවාරයේදී මෙම යතුරු පුවරුවෙන් යමක් ටයිප් කිරීම සඳහා එය මතුපිටක් මත තැබීමට සිදුනොවන්නේද යන කරුණයි. අතිශයින් වේගවත් වීඩියෝ ක්‍රීඩාවක් අතරතුරදී එවැනි දේ කළ හැකි නොවන බව ක්‍රීඩා ලෝලියෙකුට අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගත්විට මෙය සැබවින්ම ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය වනු ඇතිද යන ගැටලුව පැන නගී. එය එසේ වුවත්, මෙයින්ද ගම්‍ය වන්නේ Nintendo Switch කොන්සෝලයේ ඇති විවිධාංගීකරණ හැකියාවයි.

ඔබට කීබෝඩයක් Nintendo Switch කොන්සෝලයේ ගේම්පෑඩ් කොටස් දෙක අතරට ගෙන ආ හැකිනම්, Nintendo Switch කොන්සෝලය දියුණු කිරීම සඳහා පරිකල්පනය තවත් බොහෝ මාර්ග ඔස්සේ මෙහෙයවීමට හැකි බව මෙයින් පෙනී යනු ඇත. 

Nintendo Switch Keyboard - 02

(පැතුම් පුංචිහේවා - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගේමින්ග් කොන්සෝලය ප්‍රමාණවත් නොවනා ක්‍රීඩාලෝලීන්ට Nintendo Switch Keyboard"

    Post a Comment