27 July, 2017

ඩෙංගු මර්දනයට අලුත් පාරකින්

wast - garbage

ක්ෂේත්‍ර නිලධාරින්ගේ එකඟත්වයෙන් ග්‍රාම නිලධාරි වසමක ඇති නිවාස පරිශ්‍ර සංඛ්‍යාව ඔවුන් විසින් ම බෙදා ගත යුතුවේ. ප්‍රජා පොලිස් නිලධාරින්, මරණාධාර සමිති වැනි සිවිල් සංවිධානවල නිලධාරින් සහ ප්‍රදේශයේ ප්‍රභූන්ගේ සහයෝගය ද මේ සදහා ලබා ගත හැකිය. අදාළ වසමට අයත් ගෘහ ඒකක සහ ඔවුන් භාරයේ ඇති සියලුම පරිශ්‍ර පරීක්ෂාකර බලා ලබාදෙන වාර්තාව සම්පිණ්ඩනය කිරීම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සහ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඩෙංගු සම්බන්ධ නිලධාරින් විසින් සිදු කෙරේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඩෙංගු ප්‍රශ්නය සහ කසල කළමනාකරණය ඉතාමත් අවදානම් මට්ටමක පවතින්නකි.දිනෙන් දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගින් වාර්තාවෙමින් තිබේ.දැනට වාර්තාගත ඩෙංගු රෝගින් සංඛ්‍යාව අසූ දහස ඉක්මවා ඇත.වාර්තා නොවූ ප්‍රමාණයත් සමගින් මෙම සංඛ්‍යාව බොහෝ විට ඊට වඩා වැඩි විය හැකිය.මේ වන විට ඩෙංගු මරණ සංඛ්‍යාවද තුන් සියය ඉක්මවා තිබේ.මෙතෙක් ඉතිහාසයේ වැඩිම රෝගින් සංඛ්‍යාව වාර්තාවී ඇත්තේ මෙම වර්ෂයේ ගතවූ මාස හයේදීය.මෙම වසර නිමාවීමට තවත් මාස හයක් ඉතිරිව තිබේ.ඒ අනුව ඉදිරියේදී මෙම සංඛ්‍යාව අනිවාර්යයෙන්ම තවත් ඉහළ යනු ඇත.

මදුරුවන් මගින් බෝවන රෝග දැනට ශ්‍රී ලංකාවේ පවතින ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයකි.මෙම රෝග පාලනය කළ හැකි නම් ඒ සදහා වැය වන ඉතා විශාල මුදලක් රටේ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු උදෙසා යොදාගත හැකිය.එසේම මිනිස් චිත්ත සන්තානයේ ඇතිවන කම්පනයන් සහ විදවීම්ද මෙමගින් බොහෝ දුරට අඩුකර ගත හැකිවනු ඇත.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශවල දැඩි කැපවීම මත ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව අවම කරගත හැකි වුවද ඩෙංගු රෝගය වැලඳීම සහ පැතිරීම එම අංශවල පාලනයෙන් තොරව පවතින්නකි.ජාතික ඩෙංගු සාධක බලකාය,සෞඛ්‍ය අමාත්‍යාංශය,සිවිල් ආයතන,අධ්‍යාපන අමාත්‍යාංශය,පොලිසිය වැනි විවිධ ආයතන රෝගය පාලනය කිරීමට මෙ වනවිටත් මහත් කැපවීමකින් ක්‍රියාකරති.එහෙත් තවමත් ඩෙංගු රෝගීන් දිනෙන් දින වැඩිවෙමින් පවතී.

සේවක හිඟය

සබරගමුව පළාතේ ඇති ග්‍රාම නිලධාරි වසම් 1148 ක් ආවරණය කිරීම සදහා සබරගමුව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සිටින්නේද මහජන සෞඛ්‍ය නිලධාරින් 155 කි.මෙපමණ සුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සංඛ්‍යාවකින් ඩෙංගු සටන දියත් කිරීම ඉතාම දුෂ්කර කාර්යයකි.ඒ නිසා සබරගමුව පළාතේ පලාත්පාලන ආයතන,ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල සේවය කරන ක්ෂේත්‍ර නිලධාරින් එම කාර්යයට සහය දීමට එකගවී ඇත.

සබරගමුව පළාතේ සියලුම පළාත්පාලන ආයතන මගින් කසළ කළමනාකරණය නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට කටයුතු යොදා තිබේ.ඒ වර්තමානයේ පවතින ඩෙංගු අවදානම් තත්ත්වය හා එය අවම කිරීමත් අරමුණු කරගෙනය.දැනටමත් සිදුකෙරන වැඩසටහන්වලට සමගාමීව හදුන්වාදෙන මෙම ක්‍රමවේදයට එක්වීමට හැකිවීම විශේෂත්වයකි.

සබරගමුව පළාත් ඩෙංගු මර්දන හා කසළ කළමනාකරණ ක්‍රමවේදය සැබවින්ම තිරසර වැඩසටහනකි.මේ වෙනුවෙන් රජයට අමතර වියදමක් දැරීමට සිදුනොවීමද විශේෂත්වයකි.දැනට තිබෙන සම්පත් හා පුද්ගලයන් සමග භාවිතා කළ හැකිය.මෙම ක්‍රමවේදය පාදක කරගනිමින් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කලහැකි පියවරයන් ඔස්සේ ඩෙංගු හා කසළ ගැටලුවට තිරසර විසදුම් ලබාගත හැකිය.මෙය ඉතාමත් පලදායි ව්‍යාපෘතියක් බව නියමු ව්‍යාපෘතිවලින්ද පැහැදිලිවී තිබෙන්නකි.

අලුත් සැලසුම

පළාත්පාලන ආයතනයේ ඩෙංගු විෂය භාරව නිලධාරියකු පත්කර දිනපතා කසළ රැස්කිරීම,වර්ගීකරණය කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම ආදී කටයුතු කළමනාකරණය කිරීම එමගින් සිදුකෙරේ.ඩෙංගු මර්දන කටයුතු සදහා වෙනමම ට්‍රැක්ටරයක්,අතිරේක සේවකයන් දෙදෙනෙක් යොදා ඇත.මෙම ට්‍රැක්ටරය යොදා ගනිමින් සෑම සතියකට වරක් ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සෑම වසමකම ස්ථාපනය කෙරෙන නොදිරන කසළ එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙතින් ඒවා ප්‍රධාන නොදිරන කසළ එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කෙරේ.එහිදී නොදිරන කසළ වර්ගීකරණය කර ප්‍රතිචක්‍රිකරණය සදහා අලෙවි කිරීමට සැලසුම් කෙරේ.මේ සදහා සහයෝගය ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය දැනටමත් එකගත්වය පළකර ඇත.

මෙම සැලසුම අනුව එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මේ සම්බන්ධව වගකීම දැරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ද පත්කර ඇත.ඔහු විසින් පළාත්පාලන ආයතනයේ ඩෙංගු සම්බන්ධව කටයුතු කරන නිලධාරියාත්,ගොවිජන සේවා මධ්‍යස්ථානවල සහ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ඩෙංගු සම්බන්ධ නිලධාරියාත් අතර අන්තර් සම්බන්ධතාවය පවත්වා ගනී.එමෙන්ම ප්‍රජා පොලිස් සේවා සහ අනෙකුත් ආයතනවල සම්බන්ධතාවයද මොහු විසින් පවත්වා ගත යුතු වේ.

ඩෙංගු මර්දනය සදහා පළාතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම ඇති සියලුම ගෘහ ඒකක සහ පරිශ්‍ර පරීක්ෂා කීරීම අන්තර් ආයතන සම්බන්ධතාවය පවත්වා‍ ගනිමින් ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරි,ආර්ථික සංවර්ධන නිලධාරි හා සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ද, ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරින්ගේද සහයෝගය ලබා ගැනේ.ඔවුන් විසින් සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන ආකාරයට සෑම නිවසකම දෙසතියකට වරක් මදුරුවන් ‍බෝවන ස්ථාන තිබේදැයි අඛණ්ඩව පරීක්ෂාවට ලක් කෙරේ.

පොදු ජනතා සහයෝගය

ඒ සදහා ඉහත ක්ෂේත්‍ර නිලධාරින්ගේ එකඟත්වයෙන් ග්‍රාම නිලධාරි වසමක ඇති නිවාස පරිශ්‍ර සංඛ්‍යාව ඔවුන් විසින් ම බෙදා ගත යුතුවේ. ප්‍රජා පොලිස් නිලධාරින්, මරණාධාර සමිති වැනි සිවිල් සංවිධානවල නිලධාරින් සහ ප්‍රදේශයේ ප්‍රභූන්ගේ සහයෝගය ද මේ සදහා ලබා ගත හැකිය.අදාළ වසමට අයත් ගෘහ ඒකක සහ ඔවුන් භාරයේ ඇති සියලුම පරිශ්‍ර පරීක්ෂාකර බලා ලබාදෙන වාර්තාව සම්පිණ්ඩනය කිරීම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සහ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඩෙංගු සම්බන්ධ නිලධාරින් විසින් සිදු කෙරේ. අනතුරුව එම වාර්තාව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඩෙංගු භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියාට දෙසතියකට වරක් ලබාදේ.

වාර්තා රැස් කිරීම

අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින්ගේ මාසික සමුළුවේදී හා සේවාස්ථ සැසියේදී ඩෙංගු භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් එම වාර්තා අනෙකුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දිය හැකිය. සම්පිණ්ඩන වාර්තාවෙන් ලැබෙන තොරතුරු අනුව එක් එක් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් තම කොට්ඨාසයේ තිබෙන මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින්ගේ නියමයන් පිළිනොගන්නා පරිශ්‍ර හිමියන්ගේ නාම ලේඛනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නෛතික ක්‍රියා මාර්ග සදහා යොමු කළ හැකිය.

මෙම ක්‍රමවේදය තුළ කසළ එකතුකිරීමේ ක්‍රියාවලිය පිළිබද මාසික සැලැස්ම ඩෙංගු භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක හා ඩෙංගු පිළිබදව කටයුතු කරන ප්‍රාදේශීය සභාවේ නිලධාරි සමග සකස්කොට ක්‍රියාත්මක කළ හැක.එහිදී කසළ එකතුකිරීමේ ඉදිරි සැලසුම් වාර්තාවද සැකසිය හැකිය.ඒ අනුව සෑම ගමකටම සතියකට එක් දිනක් නොදිරන කසළ එකතු කිරීම සදහා නිශ්චිත ස්ථානයක් හදුනාගෙන එම ස්ථානයේ තාවකාලිකව කසළ එකතුකර ප්‍රාදේශීය සභාව මගින් ප්‍රධාන කසළ එකතුකිරීමේ මධ්‍යස්ථානයට ගෙන ගොස් එහිදී කසළ වර්ගීකරණය කෙරේ.දිරන කසළ දැනට පවතින ආකාරයට දිනපතා රැස්කිරීම හෝ ගෙවතු තුළ කාබනික පොහොර බවට පත්කිරීමට ප්‍රජාව දැනුවත් කිරීමටද හැකිය.

නිලධාරීන්ගේ වගකීම

මේ අතර කසළ විධිමත්ව කළමනාකරණය කිරීම එනම් ගෘහාශ්‍රිත,කාර්මික,වෙළෙද පොළ සහ සේවා ස්ථානයන්හි අවම වශයෙන් දිරන,නොදිරන ලෙස අපද්‍රව්‍ය වෙන්කිරීම,ජනනය අවම කිරීම ප්‍රතිචක්‍රියකරණය,මාර්ග හා පොදු ස්ථානවලට කසළ දැමීම තහනම් කිරීම යනාදිය සදහා ප්‍රජාව තවදුරටත් දැනුවත් කිරීමටද හැකිය.ජනනය වූ අපද්‍රව්‍ය නැවත භාවිතය හා ප්‍රතිචක්‍රියකරණය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේත්,පළාත් සභාවේත් මගපෙන්වීම යටතේ පළාත්පාලන ආයතන දිරිගැන්වීම,කාබනික අපද්‍රව්‍ය කොම්පෝස්ට්කරණය හා සම්බන්ධ ආයතනයන් දිරිගැන්වීමටද මෙමගින් අවස්ථාව උදාවේ.

මෙම සමස්ත ක්‍රියාවලිය දිනපතා අධීක්ෂණය කිරීම සදහා වෙනම ඒකකයක් දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය තුළ ස්ථාපිත කෙරේ.පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ මෙහෙයවීම යටතේ සංවර්ධන නිලධාරි,වාහක රෝග මර්දන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු අනෙකුත් නිලධාරින් එහි කටයුතු කරති.කසල එකතුකිරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවේද යන්නත් වසම් මට්ටමින් සිදුකරන පරිශ්‍ර පරීක්ෂාවත් නිසි ක්‍රමවේදයන් යටතේ සිදුවේද යන්නත් මෙමගින් සමාලෝචනය කෙරේ.

මෙහි සමස්ත වාර්තාව සෑම මසකම අවසානයේ දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්, පළාත්පාලන සහකාර කොමසාරිස්, පලාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, පොලිස් නිලධාරින් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගෙන් සැදුම්ලත් දිස්ත්‍රික් ඩෙංගු තාක්ෂණ කමිටුවේදී සාකච්ඡාවට බදුන් කෙරෙන අතර, එම වාර්තාවට අනුකූලව සුදුසු කටයුතු සම්පාදනය කෙරේ.

මේ යටතේ ඩෙංගු මර්දනයට අමතරව කසළ කළමනාකරණය යථාවත්වීම තුළින් පරිසර අලංකරණයක්ද සිදුවනු ඇත. දිරන කසළ කොම්පෝස්ට් පොහොර බවට පත්කිරීම මඟින් ගෙවතු වගා සංකල්පයද වඩාත් ප්‍රායෝගිකව සමාජගත කළ හැකිවේ. එමගින් වසවිසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාගත හැකිවනවා පමණක් නොව සෑම පවුලකටම ආර්ථික වාසි සලසා ගැනීමේ හැකියාවද, නිසි කසළ රෝග පැතිරීම අවම කරගැනීමේ හැකියාවද පවතී.

මේ අයුරින්කොට්ඨාස මට්ටමින් අධීක්ෂණ කටයුතු සිදුකරගෙන යන අතරතුර කුමන හෝ ප්‍රදේශයක ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම් සහිත පරිශ්‍ර වේනම් එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරින්ට ඩෙංගු තාක්ෂණික කමිටුවට කැදවා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් ගත හැකිය.එමෙන්ම මෙම ක්‍රියාවලිය සදහා ඉතාමත් හොදින් දායක වන නිලධාරින්ගේ සේවා ඇගයීමටද අවස්ථාව සැලසේ. (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩෙංගු මර්දනයට අලුත් පාරකින්"

    Post a Comment