29 July, 2017

පරිසරය නැසීමේ ප්‍රතිඵල මෙන්න

Environment pollution - Garbage - Waste

වහිනවිට කාලගුණය අයහපත් ලෙස දකින අයට පායනවිට කාලගුණය යහපත් වන්නේ කෙසේදැයි පැනයකි. ළැව්ගිනි, වගා හානි, විදුලිය කැපිලි සිදුවන්නේ පායනවිට නොවේද? දේශපාලනයද එයට සමානයි. විපක්ෂයේ සිටිනවිට යහපත් ලෙස දකින දේ බලය ගත්විට අයහපත් ලෙස පෙනීමද විහිළුකි. පායනවිට වැසි යදින අපිම දිනක් දෙකක් වහිනවිට වැස්සට ශාප කරයි. එසේම විපක්ෂයේ අය බලයට රැගෙනවිත් සතියෙන් දෙකෙන් ඔවුන් එපා වී දෙස් දෙවොල් තැබීම අපේ පුරුද්දකි. මෙවැනි මිත්‍යාවන්ගෙන් මිදෙන තුරු අපට අනාගතයක් නැත.

නියගයෙන් සහ ගංවතුරින් සිදුවන පීඩාවන් අවමකර ගැනීමට ලොකු කුඩා ජලාශ හෑරිය යුතුය. සමහර ජලාශවල උපන්දා පටන් රොන් මඩ ඉවත්කර නැත. සමහර ජලාශ විනාශ වීමද ගැටලුවවකි. ජලාශවල රොන්මඩ ඉවත්කර ගැඹුරු කිරීමෙන් ජල ධාරිතාව පුළුල් වී ගං වතුරටත් නියගයටත් විශාල සෙතක් අත්වනු ඇත.

පරිසරයටද හානියක් වන වැලි ඉල්ලුම වැඩිවීමට ප්‍රධානම හේතුව බ්ලොක්ගල් නිෂ්පාදනයයි. බ්ලොක්ගල් නිවාසවල රශ්මියද වැඩි වන අතර එය නිවාලීමට විදුලිපංකා, වායුසමන යන්ත්‍රද සවිකළ යුතු වේ. නමුත් මැටි ගඩොල් වලට රශ්මිය උරා ගැනීමේ ශක්තිය ඇති බැවින් විදුලි බිලටද සහනයක් ලැබේ. උළු සෙවිලි කිරීමෙන්ද නිවසට සිසිල ලැබෙන අතර අකුණුසැර වැදීමේ අවදානමද පහවේ. ටකරන්, ඇස්බැස්ටස්වලට වැය වන විනිමයද ඉතිරිවේ.

ජලාශ ගොඩවීම හේතුවෙන් දිනක් දෙකක් වහින විට පිරී ඉතිරී පිටාර ගලමින් ගම්බිම් යටවන අතර සතියක් දෙකක් පායන විට වැව් සිඳී වගා බිම්ද විනාශ වේ. මෙය විසඳිය හැකි ජාතික ගැටලුවකි. එක ප්‍රදේශයක් නියගයට ගොදුරුවනවිට තව ප්‍රදේශයක් ගංවතුරට යටවේ. එදා අප රජදරුවන් රට ජාතියට ආලය කරමින් කලා වැව, පරාක්‍රම සමූද්‍රය, සීගිරිය වැනි දායාද උරුමකර දුනි.

අද වනවිට ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත්වනු පෙනේ. එයට හේතුව ගොවිතැනින් ලැබෙන ආදායම යුගයේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට ප්‍රමාණවත් නොවීමයි. විශේෂයෙන් වී ගොවියන් මෙම අර්බුදයට මුහුණපෑමෙන් වී මිලත් ඉහළ ගොස් ඇත. වී අතිරික්ත ඇති බවට හඬනැඟූ දිනවලද පොදු ජනතාව කුස පිරෙන්න බත් කෑවේ නැත. ආගන්තුක සත්කාර සහ බලු කපුටු දාන දුන්නේද නැ. අසරණ ගොවි ජනතාවගේ අතමිට සරු වූයේද නැත. වැව් අමුණු සංරක්ෂණය කර කන්න හතරක් වී වගාව කිරීමෙන් වී මිලද පහත වැටී සහල් පරිභෝජනයද වැඩි වී ගොවියාත් පාරිභෝගිකයාත් රැකෙනු ඇත. කුඹුරුවලට නිවාඩු නොදිය යුතුය. මාස දෙක, දෙක හමාරේ වී නිපදවා කන්න හතරක් වගා කිරීමෙන් ගොවි ජනතාවගේ රැකියාවද ස්ථාවර වේ.

ජේ. කණ්ඩම්බි - නායක නව ජාතික පෙරමුණ (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පරිසරය නැසීමේ ප්‍රතිඵල මෙන්න"

    Post a Comment