03 June, 2017

තනි වෘෂණය වෛද්‍ය විද්‍යාත්මකව ගැටලුවක් නොවෙයි

testicular men nuts

සාමාන්‍ය පුරුෂයෙක්ට වෘෂණ කෝෂ 2ක්ම තියෙන්න ඕනෑනේ. නමුත් කලාතුරකින් කෙනෙකුට එක් වෘෂණයක් පමණක් පිහිටා තිබෙන්න පුළුවනි. මේ තත්ත්වය අස්වාභාවික තත්ත්වයක් හැටියට අරගෙන තැවීමට පත්වන අය දක්නට පුළුවනි. මේ අය දැවෙන ප්‍රධාන ගැටලුව තමන් වඳ පුද්ගලයෙක්ය යන හැඟීමයි. ඒ වගේම සමාජය තුළින් මේ අයට එන අපහාස උපහාස කොන් කිරීම නිසා ලොකු මානසික පීඩාවකට ලක්වෙන්නත් පුළුවනි. නමුත්, තනි වෘෂණය වෛද්‍ය විද්‍යාත්මකව නම් ගැටලුවක් නොවෙයි.

ලිංගික ගැටලු ගැන කතා කරනවිට අපට අහන්නට ලැබෙන තවත් පොදු ප්‍රශ්නයක් වූ මේ ගැනයි අද කතාබහ කරන්නේ. යම් කෙනෙකුට තනි වෘෂණ කෝෂයක් ඇත්නම් දරුවන් හදන්න බැරිද? මේ වැඩේට කෝෂ දෙකම ඕනෑද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේට අනුව නම් එහෙම අවශ්‍යතාවක් ඒ කියන්නේ කෝෂ දෙකම අවශ්‍යතාවක් දරුවන් ලැබීම සමග සම්බන්ධ නෑ. තනි වෘෂණයක් ඇතත් එය හොඳින් ක්‍රියාත්මක නම් එය හොඳටම ඇති. වෘෂණයකින් දරුඵල සරු කරන ශුක්‍රානු පමණක් නොව ටෙස්ටොස්ටෙරොන් වැනි හෝර්මෝන වර්ගත් නිපදවනවා. ඒ සඳහාත් එක් වෘෂණයක් හොඳටම ඇති. ඒ කියන්නේ වෛද්‍ය මතය අනුව නම් තනි අතින් අත්පුඩි ගහන්නත් පුළුවනි.

තනි වෘෂණයක් හිමිවීමට හේතුව ගැනත් පොඩ්ඩක් සොයාබැලිය යුතුයි.

මවගේ කුස තුළ සිටින විට දරුවාගේ වෘෂණ පිහිටා ඇත්තේ යටිබඩ තුළය. ඉපදී පළමු වසර කිහිපය තුළ ඒවා වෘෂණකෝෂ තුළට ඇතුළු වෙයි. සමහර දරුවන්ගේ මේ වෘෂණ දෙකෙන් එකක් වෘෂණ කෝෂ තුළට නොපැමිණ යටිබඩ තුළම රැඳී තිබෙන්නට හැකියි. Undeicendent testis හෙවත් පහත් නොවූ වෘෂණය ලෙස හඳුන්වන්නේ මෙයයි. මේ විදියට කලක් වෘෂණ උදරය තුළ තිබීමෙන් එහි ක්‍රියාකාරීත්වය නැතිවී යාමට හැකියි. 

Single testicular

සාමාන්‍යයෙන් වෘෂණ හොඳින් වර්ධනය වීමටත් හොඳින් ක්‍රියාත්මක වීමටත් අපේ සිරුරේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍යයි. අපේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරුන්හයිට් අංශක 98.4 නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශක 37යි. ඒ කියන්නේ සාමාන්‍ය වාතයේ පවතින උෂ්ණත්වයට වඩා ටිකක් ඉහළයි. නමුත් වෘෂණ වර්ධනයට මීට වඩා අඩු උෂ්ණත්වයක් තමා ගැලපෙන්නේ. ඉතින් ඒ සඳහා සුදුසුම තැන වෘෂණ කෝෂයයි. ඒවා සාමාන්‍ය වාතයේ ගැටෙමින් එල්ලෙමින් ඇති නිසා ඒ තුළ උෂ්ණත්වය සිරැරේ අනෙක් තැන්වලට වඩා අඩුයි. මෙය හොඳින් ක්‍රියාකරන හොඳින් වැඩුණු වෘෂණයක් වර්ධනය වීම සඳහා වැදගත්.

ඉතින් වෘෂණයක් සිරුර තුළම වැඩි කලක් තිබුණොත් එය නිසි ලෙස නොවැඩී විනාශ විය හැකියි. එවිට ශුක්‍රාණු සහ හෝර්මෝන හදන්නට හැකියාවක් නෑ. සමහරවිට මෙය පසුකාලීනව පිළිකා බවට වර්ධනය වන්නටත් හැකියි. අන්න ඒ නිසා තනි වෘෂණ කෝෂයක් ඇතිවිට ඒ ගැන වෛද්‍යවරයකු හමුව පරීක්ෂාවක් කර ගැනීම හොඳයි. නමුත් දරුවන් ලැබීමේ කටයුත්ත සඳහා නම් කිසිම ගැටලුවක් නෑ. ඒ සඳහා නිරෝගී එක වෘෂණයක් හොඳටම ඇති.

උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තනි වෘෂණය වෛද්‍ය විද්‍යාත්මකව ගැටලුවක් නොවෙයි"

    Post a Comment