13 June, 2017

අරුන්දික, උදයංග සමග එක්වී අධිකරණයට අපහාස කරලා ! (වීඩියෝ)

Arundika - Udayanga - 01

අධිකරණය යම් අපරාධමය වරදක් සම්බන්ධයෙන් වන චෝදනා ලැබුවකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනැයි කියමින් වරෙන්තු නියෝගයක් නිකුත් කරන්නේ එම චුදිතයා අධිකරණයෙන් කට්ටි පැන සිටින නිසාම නොවේ. එම චුදිතයා විසින් රටේ පිලිගත් නීතියට අභියෝග කිරීමක් මෙන්ම අධිකරණයට අපහාස කිරීමක් ලෙස ඒ හැඳින් විය හැකිය.

චුදිතයකු යනු වරදකරුවකු නොවේ. තමන්ට එරෙහිව යම් චෝදනාවක් තිබේ නම් ඒ අධිකරණය හමුවට පැමිණ නිවැරදි කර ගැනීමේ හැකියාව මේ රටේ ඕනැම පුරවැසියකු හමුවෙ ඇති අයිතියකි. ඒ අවස්ථාව මග හැරීම යනු , චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ ඇති වරදකාරී හැඟීම නිසා බව පැහැදිලි කරුණකි.

2006 වසරේ දි සිදුවූ කූප්‍රකට දූෂිත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනාවට ලක්වී ජාත්‍යන්තර රතු වරෙන්තුවක්ද නිකුත් කොට ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගටද ඒ අයිතිය එලෙසම තිබේ. එහෙත් ඔහු අධිකරණය මග හරිමින් කට්ටි පනිමින් තිබේ. ඔහු යුක්‍රෙනයේ පදිංචිකරුවෙකි. එහෙත් ඒ පදිංචි ලිපිනයෙන් ඔහු පලා ගොස් සැඟවී ඇත. නමුත් විටින් විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාරයන් අතර තුර ඔහු මතුවෙයි. ඒ ඡායාරූප ප්‍රසිද්ධ කරයි.. ඒ, හැකිනම් තමාව අල්ල ගනු යැයි මෙරට රජයට කරන අභියොගයක් ලෙසින් බව ද පැහැදිලිය.

Arundika - Udayanga - 02
වරෙන්තුකාර උදයංග සමඟ අරුන්දික ප්‍රනාන්දුට ද ගනුදෙනුවක් තිබී ඇති බව

පසුගිය දා යළි ඔහුගේ ඡායාරුප කිහිපයක් ප්‍රසිද්ධ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජපාන සංචාරය අතර තුරේදීය. මෙහිදී මෙරට වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයකු වන අරුන්දික ප්‍රනාන්දු සමග ද ලබා ගත් ඡායාරුප ගනනාවක් ප්‍රසිද්ධ කර තිබිණි. ඒ අනුව මෙම වරෙන්තුකාර උදයංග සමඟ අරුන්දික ප්‍රනාන්දුට ද ගනුදෙනුවක් තිබී ඇති බව පැහැදිලිය.

රටක අධිකරණ පද්ධතිය නීති පද්ධතිය, නීති ක්‍රියාත්මක කරවනු ලබන ආයතන නිසි පරිදි ක්‍රියාත්මක වීම සමස්ත රටේ ක්‍රියාකාරිත්වය කෙරෙහි සෘජුවම බලපානු ලබයි. රටක ගුණාත්මක සංවර්ධනය රඳා පැවතීමට ඒ අත්‍යාවශ්‍ය සාධකයක් වන්නෙය. ඒ වෙනුවෙන් රටේ වැසියා නීති ගරුක විය යුතුය. රට වැසියා නීතිය ගරු කරනු ලබන්නකු බවට ශික්ෂණය කිරීම රජයේ වගකීම වන්නේය. රජය එම වගකීම ඉ‍ටු කිරීම පැහැර හැරීම සිදුවන්නෙ නම් තව දුරටත් නීතිය, නිගරු වීමත් ඒ නිරන්තරයෙන් කඩවීම සිදුවනු ලබයි.

රටක් ලෙස ශ්‍රීලංකාව පසුගිය රාජපක්ෂ සමයේ දී ජාත්‍යන්තර අපවාදයට ලක් වූයේ නීතිය වෙනුවට අනීතිය රජ කිරීම හේතුවෙනි. යළි ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස ශ්‍රීලාංකිකයා ගොඩ නැංවීම වත්මන් යහපාලන රජයේ ප්‍රමුඛ කටයුත්ත වන්නේ ඒ නිසාය.

මෙහිදී නීති හදන ආයතනය වූ පාර්ලිමේන්තුවටත් එහි මහජන
නියෝජිතයන්ටත් පැවැරෙන කාර්ය භාරය අති මහත්ය ..එමෙන්ම නීතියට සියලු රට වැසියන් යටත්ය. නීතිය හමුවේ සියලු දෙනා සමානය. ඒ අනුව නීති ගරුක පුරවැසියන් ලෙස එම මහජන නියොජිතයන් රටේ සමස්ථ මහ ජනතාවට ලබා දෙන ආදර්ශයද රටේ යහපැවැත්ම වෙනුවෙන් ඉතා වැදගත්ය.

මෙරට දේශපාලන ඉතිහාසය පුරා අප ලබා තිබෙන ඉතා නරක අත්දැකීම් අනුව මේ යහපාලනයේ ආදර්ශමත් භාවය පවත්වාගෙන යෑම වත්මන් මහජන නියොජිතයන්ට අභියොගයක් විය හැකිය. මන්ද නීතිය බල්ලට දමා තමන්ගේ හීන පෞර්ෂයන් ගොඩනංවා ගැනිම වෙනුවෙන්.. බඩ ගෝස්තරය ‍රැකගැනීම වෙනුවෙන්.. ලැජ්ජා විරහිතව පෙනී සිටින නිවට දේශපාලකයෝද මෙරට ඕනැ තරම් සිටින බැවිනි.

මේ නිසා අරුන්දික ප්‍රනාන්දු ඇමැතිවරයා රටේ මහජනතාවගේ මුදල් අපහරණය කළ බවට චෝදනා ලැබු අධිකරණ වරෙන්තුකරුවකු සමඟ සතු‍ටු සාමිචියේ යෙදී සිටිම මඟින් අපරාධ සහයකුගෙ තත්වයට ඇද වැටී තිබෙන්නෙ යැයි කිසිවකු චෝදනා කරන්නෙ නම් ඒ වැරදි නොවේ. ඔහු මෙරට නීතියට අධිකරණයට පක්ෂපාතී වැදගත් ශිෂ්ඨ සම්පන්න මහත්මයකු නම් කළ යුතුව තිබුනේ මේ චුදිතයා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට රජයට සහය වීමය.

Mahinda - Udayanga
මෙරට ඉතිහාසයේ ජරාජීර්ණම පාලන යුගයක් පවත්වාගෙන ගියේ එම යුගයේ

හිටපු ජනාධිපතිවරයා එසේ නොකිරීම ගැන පුදුම වන්නට දෙයක් නැත. මන්ද ශ්‍රිලංකාව අනීතික පාලනයකට යට කරමින් වංචාවට දූෂණයට සියළු ඉඩ කඩ විවෘත කරමින් මෙරට ඉතිහාසයේ ජරාජීර්ණම පාලන යුගයක් පවත්වාගෙන ගියේ එම යුගයේදී වන නිසාය.

එමෙන්ම උදයංග වීරතුංග ඔහුගේ බෑනාය. මේ ගනු දෙනුවට වගකිව යුතු අනෙක් තැනැත්තා ලෙස චෝදනාවට ලක්වන හිටපු ආරක්ෂක ලෙකම් වන ගොටාභය රාජපක්ෂ ඔහුගේ සොහොයුරා වීම ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මෙරට ජනතාවට යුක්තිය බලාපොරොත්තු වීමේ ඉඩකඩ ඉතා සීමිතය.

විදේශීය රටක තානාපති නිළධාරියා යනු රටේ ප්‍රතිමුර්තිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින්නාය. රටක ශිෂ්ඨ සම්පන්න බව ඔහු වෙතින් පල විය යුතු ප්‍රථම ගුනාංගයය. පසුගිය රාජපක්ෂ සමයේදී සිදු කළේ විදේශ තානාපති සේවය තම පවුලේ ඥාතීන්ගෙන්.. හිතවතුන්ගෙන් හා ජාවාරම්කාර ව්‍යාපාරික සහකරුවන්ගෙන් පිරවීමය.

නමුත් රටක් නියොජනය කිරීම සඳහා තානාපතිධුරයක් ලැබූ පසුව ඒ තනාපතිවරයා අපරාධකරුවකු ලෙස චෝදනාවට ලක් වන්නෙ නම් බරපතලම හානිය සිදුවන්නෙ මේ රටටය.., ශ්‍රීලංකාව නම් රාජ්‍යය ඉදිරියේ කළු පැල්ලමක් සටහන් වීමය...., ශ්‍රීලංකිකයා ලෝකය හමුවෙ පහත් ජාතියක් බවට පත් වීමය.... නමුත් ඒ රාජපක්ෂ පාලන සමයේදී වැදගත් වූයේ නැත.

යහපාලන යනු තවදුරටත් වංචාවට දූෂනයට ඉඩ දිය යුතු යුගයක් නොවේ... අශිෂ්ඨ දේශපාලනය දැන් අවසන් විය යුතුය. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "අරුන්දික, උදයංග සමග එක්වී අධිකරණයට අපහාස කරලා ! (වීඩියෝ)"

    Post a Comment