04 June, 2017

දෙහි - දොඩම් අපනයනයට GSP+ සහනය යොදා ගමු

lime - orange

ඉකුත් 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පලතුරු අපනයනය මෙට්‍රික් ටොන් 33300 කි. එමඟින් උපයාගත් ආදායම රුපියල් බිලියන 5 කි. එහෙත් අපනයනයට වඩා පලතුරු ආනයනය මෙට්‍රික් ටොන් 54107 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සඳහා රටින් එතෙරට ඇදී ගිය ධනස්කන්ධය ‍රුපියල් බිලියන 7.3 කි. ආනයනය සහ අපනයනය අතර වෙළෙඳ පරතරය හෙවත් වෙළෙඳ හිඟය රුපියල් බිලියන 2.3 කි.

ශ්‍රී ලංකාව ‍පිටරටින් ආනයනය කර ඇත්තේ ඇපල්, දොඩම්, මැන්ඩරින් සහ මිදි යන පලතුරු වර්ගයෝය. මෙම පලතුරු වර්ග හතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ගත හැකි ඒවාය. ඇපල් වගාව පිළිබඳ සාර්ථක වූ අත්හදා බැලීම් පිළිබඳ වාර්තා ඕනැතරම් තිබේ. ඇපල් වෙනුවට භාවිතා කළ හැකි පෙයාර්ස් වගාවේ නිරතවන්නෝ කඳුකරයේ සිටිති. විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෘහාශ්‍රිත වගාවක් ලෙස පෙයාර්ස් වගාව දක්නට ලැබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් කෘෂිකර්ම නිලධාරියකු වූ සරත්චන්ද්‍ර බණ්ඩාර මහතා පවසන්නේ වසර 25 කට පෙර ඇතිවූ රෝගයක් නිසා දේශීය ඇපල් වගාව වැනසුණ බවයි. එසේ ම පෙයාර්ස් වගාව ද එම රෝගයට ගොදුරු වූ බව ඒ මහතා කියයි. එම වගාව සාර්ථකව ඇත්තේ රහංගල ප්‍රදේශයේය.

දොඩම්- නාරං ආනයනය

දොඩම් සහ නාරං පිටරටින් ගෙන්වා ගන්නේ දේශීය දොඩම් සහ නාරං වගාවක් රට තුළ තිබියදී යැයි ඒ මහතා කියයි. මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේගම, රණමුරේ ආදි ප්‍රදේශයන්හි පාරම්පරිකව දොඩම් වගාවේ නියුතු ගොවි ජනතාවක් සිටින බව පවසන ඔහු මාතලේ නාරන්දෙනිය ප්‍රදේශයේ ජමනාරන් වගාව ජනප්‍රියව පැවති බව ද, තවමත් ජමනාරන් වගාව සිදු කරන බවද කියයි.

දඹුල්ල පොදු වෙළඳ පොළට මේ දිනවල නාරන් සහ දෙහි ලැබෙමින් පවතී. අප්‍රේල් මාසය නාරන් දොඩම් සහ දෙහි අස්වැන්න පටන්ගන්නා අවදියයි. මහනුවර සිට මහියංගනය දක්වා විහිදෙන මග දෙපස දෙහි, නාරන් සහ දොඩම් ගොඩ ගසා ඇති ස්ථාන දක්නට ලැබේ.

මහියංගනය, පදියතලාව සහ බිබිල නගර වෙළෙඳ පොළවලට අවටින් අස්වනු ගලා එද්දී මිල ද පහත වැටී තිබේ. මහියංගනය සහ පදියතලාව අවට දොඩම්, නාරං සහ දෙහි මිල මේ දිනවල අඩුවෙමින් පවතී. මහියංගන වේවත්ත සහ කුකුලාපොළ යන ගම්වල දෙහි කිලෝව රුපියල් 20 කි. සාමාන්‍ය ප්‍රමාණයේ දොඩම් ගෙඩියක් රුපියල් 20 කි. මහියංගන නාගදීප ගොවි ජනපදයේ ගොවි මහතෙක් කීවේ මේ දිනවල සිය නිෂ්පාදන නාගදීප පුරාණ විහාරස්ථානය අවට රැඳී සිටිමින් බැතිමතුන්ට අලෙවි කරන බවයි.

2016 වසරේ දී දොඩම්, දෙහි, අඹ, අලිගැටපේර සහ වැල් දොඩම් නිෂ්පාදනය ඉහළ ගිය බව මහබැංකු වාර්තාව කියයි. 2017 අද තිබෙන තත්ත්වය බලන කළ පෙනෙන්නේ ද මෙවර අස්වැන්න ඉහළ යන බවයි. ශ්‍රී ලංකාවේ දොඩම් සහ දොඩම් යුෂ අපනයන කළ හැකි නම් එමඟින් විදේශ ඉපයීම් වැඩිකර ගැනීමට පිළිවන.

අන්තර් ජාතික වෙළෙඳපොළ

ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ අලෙවි විධායක චන්දන විජේකෝන් මහතාගෙන් මේ පිළිබඳව විමසූවිට ඔහු කීවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඇතැම් පලතුරුවල වර්ණයට එතරම් කැමැත්තක් විදේශීය වෙළෙඳපොළ තුළ දක්නට නොලැබෙන බවයි. ඉන්දියාව උසස් තත්ත්වයේ ප්‍රමිතිය සහිත පලතුරු නිපදවමින් අන්තර් ජාතික වෙළෙඳ පොළ දිනා ගැනීමේ උත්සාහයක යෙදෙන බව ද ඒ මහතා කියයි. එසේ ම ඉන්දියානු නිෂ්පාදනයන්හි පිරිවැය වියදම් අඩු නිසා ඔවුන් තරගකාරි මිල ගණන්වලට පලතුරු සපයන බව ද ඒ මහතා කියයි.

අපනයන කර්මාන්තය වටා තවත් කරුණු රාශියක් ගොඩනැඟී තිබේ. ඇසුරුම්කරණය, මුද්‍රණ කර්මාන්තය රටක පැළෑටි නිරෝධායන ප්‍රතිපත්ති යනාදිය ඉන් සමහරකි. අපනයනකරුවාට රුචි භාණ්ඩය මිස වෙ නත් භාණ්ඩයක් බලහත්කාරයෙන් අලෙවි කිරීමට අද හැකියාවක් නැත. පලතුරු කර්මාන්තයේ විශාල ලෙස කැපී පෙනෙන රටවල් නව මං ඔස්සේ යමින් වෙළෙඳ පොළට පලතුරු සපයකි.

පලතුරු අපනයනයේ දී කෙසෙල් සඳහා දැවැන්ත වෙළෙඳ පොළක් පවතී, ඉක්ව‍දොර, පිලිපීනය, කොස්ටාරිකාව, ගෝතමාලාව, කොලොම්බියාව ජාත්‍යන්තරව කෙසෙල් අපනයනයේ යෙදෙන ප්‍රමුඛ රටවල් වෙති. ඩෝලේ වැනි බහුජාතික සමාගම් ද චීනයේ දැවැන්ත ආයෝජකයෝ ද කෙසෙල් අපනයනයේ නිරත වෙයි.

කෙසෙල් වර්ග රාශියක් ඇතත්, ශ්‍රී ලංකවේ කෙසෙල් අපනයනයේ ප්‍රධානත්වය හිමිවන්නේ CAVEDISH නම් වර්ගයට යැයි ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ සංගමයේ අලෙවි විධායක චන්දන විජේකෝන් මහතා කියයි.

ඔහු පවසන අන්දමට සෙසු දේශීය කෙසෙල් වර්ග සඳහා අපනයන වෙළෙඳ පොළක් සපයා ගැනීම දුෂ්කර නිසා අපනයනකරුවන් එම කෙසෙල් වගාවට නැඹුරු වෙති.

ශ්‍රී ලංකා අපනයනයන් සඳහා ඇමෙරිකා සහ යුරෝපා වෙළෙඳ පොළ වඩාත් විවෘත කර ගැනිමට අවස්ථාව ඇතත්, රට රටවල නිරෝධායන ප්‍රතිපත්ති වඩාත් ලිහිල් කර ගත යුතු යැයි පවසන චන්දන විජේකෝන් මහතා අපනයන වෙළෙඳ පොළ පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කළ යුතු බව ද කියයි.

කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙන් තෝරා ගත් තරුණ ගොවි කණඩායම් දෙකකට පලතුරු අපනයනය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීමේ වැඩපිළිවෙළක් තම වාණිජ මණ්ඩලය විසින් අරඹා ඇතැයි ද ඒ සඳහා පලතුරු අපනයනකරුවන්ගේ සහයෝගය ද ලැබෙන්නේ යැයි ද විජේකෝන් මහතා කියයි.

කෙසෙල්, ගස් ලබු, අන්නාසි, රඹුටන්, පේර සහ කොමඩු නිෂ්පාදනය පහළ යෑමත් 2016 දී දක්නට ලැබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කර තිබේ.

අපනයනයට සම්බන්ධ පලතුරු සැපයුම්කරුවකු වන රවින්ද්‍රන් පලතුරු සපයාගන්නේ මහනුවරින් සහ හුන්නස්ගිරියෙනි. ඔහු පවසන අන්දමට අපනයනයට සුදුසු අලිගැට පේර සපයා ගැනීම අපහසුවන්නේ පලතුරු ගෙඩිවල තැලීම් හා සීරිම්තුවාල දක්නට ලැබීම නිසාය. අපනයන කරුවන් ඉල්ලා සිටින ප්‍රමාණයට සරිලන එමෙන්ම විශාලත්වයෙන් යුතු ගෙඩි සපයා ගැන්මට මහන්සි විය යුතු යැයි ඔහු කියයි. ගස්ලබු ග්‍රෑම් 500 ප්‍රමාණයේ ගෙඩි සඳහා දැඩි ඉල්ලුමක් තිබේ. මෙයට හේතුව ඇසුරුම්කරණය යැයි රවින්ද්‍රන් පවසයි. ඔහු පවසන අන්දමට පශ්චාත් අස්වනු හානිය ද ඉහළ මට්ටමක පවතී.

පසු අස්වනු හානිය

අපනයනයට සරිලන අන්නාසි සපයා ගැනීමේ දී පිටිමකුණු උවදුර දැඩි පීඩාවකැයි ඔහු කියයි. එසේම ගසෙන් කැපූ පසු තැනින් තැනට විසිකිරීම නිසා පලතුරු හානිය බහුල වන්නේ යැයි ද ඔහු කියයි. අස්වනු හානිය අවම කර ගැනීම ගොවි‍‍පොළෙන් ඇරැඹිය යුතු යැයි ඔහු කියයි.

පලතුරු අපනයන රටවල් සිය නිෂ්පාදනයන් හි පශ්චාත් අස්වනු හානිය අවම කර ගන්නා අතර ශ්‍රී ලංකාව ද එම දියුණු ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු යැයි පලතුරු අපනයන අංශ අවධාරණය කරති.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ මරණ ඉවත් කොට, ජී.එස්.පී. සහන ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ පලතුරු හා පලතුරු යුෂ කර්මාන්තය දියුණු කිරීමට හේතුවක් කර ගත හැකි දැයි සොයා බැලිය යුතු යැයි ද අපනයන අංශ යෝජනා කරයි.

එළවළු හා පලතුරු අපනයන අංශයට සම්බන්ධ ව්‍යාපාරික අංශ සඳහන් කරන අන්දමට යුරෝපීය සංගමය කෙසෙල්, අන්නාසි, කොමඩු සහ අන්නාසි යුෂ දැනට සපයන එක් රටක් නම් කොස්ටාරිකාවයි. එසේ ම චීනය යුරෝපා සංගමයට ඇපල් යුෂ, ශීතකළ ස්ට්‍රොබෙරි, ශීතකල පලතුරු සහ ඇට, විජලනය කරන ලද පලතුරු, නාරන්, සුදු ලූනු, හාතාවාරිය අල හා ඉස්ම සහ විවිධ හතු මිශ්‍රිත සකස් කළ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා මඟ පාදා ගෙන තිබේ. චීනය, ඉන්දියාව, රුසියාව සහ තුර්කිය පලතුරක් ලෙස අමු තත්කාලි නිෂ්පාදනයේ ප්‍රධාන රටවල් හතරයි. මේ රටවල් හතරම තක්කාලි අපනයනයේ යෙදෙන අතර තක්කාලි ඉස්ම හා පල්ප වශයෙන් අලෙවි කිරී‍ෙම් ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ තුර්කියයි. තුර්කියේ අමුතක්කාලි යුෂ කර්මාන්තය වසරින් වසර ලෝක වෙළෙඳ පොළ ආක්‍රමණය කරයි. මේ ව්‍යාපාරික සංවර්ධනය සඳහා විවිධ වෙළෙඳ ගිවිසුම් උපයෝගී කර ගනිති. ශ්‍රී ලංකා තුර්කි වෙළෙඳ සබඳතා මෑතක සිට වර්ධනයව තිබේ.

පලතුරු හා එළවළු සම්බන්ධ ජාත්‍යන්තර සඟරාවක් වූ FOOD BUSINESS NEWS සඟරාව පලතුරු යුෂ කර්මාන්තය පිළිබඳ ලිපියක් 2015 නොවැම්බර් කලාපයේ පළකර ඇත.

GSP+ සහනය

එම ලිපිය පවසන අන්දමට රසකාරක විරහිත ස්වභාවික පානවර්ග සහ පලතුරු යුෂ කෙරෙහි දිනෙන් දින වැඩිවෙන ඉල්ලුමක් පවතී. එම ඉල්ලුම සපුරා ලීමට කර්මාන්තකරුවන් විමසිලිමත් විය යුතුය. එසේම මිශ්‍ර යුෂ පාන ඉදිරිපත් කිරීම් ද දක්නට ලැබේ. ඝර්ම කලාපීය පලතුරු ඉස්ම සමඟ පොල්වතුර මිශ්‍රිත පානවර්ග රාශියක් දැන් යුරෝපීය වෙළෙඳ පොළේ ජනප්‍රියව තිබේ. ශ්‍රී ලංකාවේ පොල්වතුර සඳහා මෑතක සිට දැඩි ඉල්ලුමක් පවතින අතර තේ මිශ්‍රිත පාන වර්ග ද දැන් ලෝක වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ මොනරාගල, රත්නපුර, කුරුණෑගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල දෙහි, නාරං සහ දොඩම් අස්වැන්නෙන් නිසි පල ලැබිය යුතුය. මේ අස්වැන්න වැඩිවීමට විවිධ බද්ධ පැළ ව්‍යාපාර ද හේතුවී ඇත. විශේෂයෙන් මධු වැනි නාරන් ප්‍රභේද හඳුන්වා දීම ද පැණි දොඩම් බද්ධ පැළ හඳුන්වා දීම ද පැසසිය යුතුවේ. එම නිෂ්පාදන ජාතික ආර්ථිකයට හවුල් කර ගැනීම රට ඉදිරි‍යේ ඇති මිළඟ ප්‍රයත්නයයි.

කරු­ණා­රත්න අම­ර­තුංග (silumina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දෙහි - දොඩම් අපනයනයට GSP+ සහනය යොදා ගමු"

    Post a Comment