29 January, 2017

මාත් එක්ක ජීවත් වෙන එක ලේසි නෑ ~ මහේන්ද්‍ර – අපරාදේ ඔයාව බැන්දේ ~ තක්ෂිලා

mahendra-perera-article

මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ‍්‍රී ලංකා සිනමා කර්මාන්තයේ වගේම ටෙලි නාට්‍ය තුළ සිටින අසහාය නළුවෙක් එහෙම නැතිනම් රංගධරයෙක් කිව්වොත් නිවැරදියි. නිරන්තරයෙන්ම ඔහු ගැන කතා කෙරෙනවා. ඒත් ඔහුගේ පුංචි පවුලේ තොරතුරු කතා කෙරෙනවා අඩුයි. එ් නිසා එ් ගැන මෙවර රිවිසරසියෙන් කතා කරන්න අපි කල්පනා කළා. ඔහු වගේම ඔහුගේ ආදරණීය බිරිඳ තක්ෂිලා පෙරේරා අපිත් එක්ක කතා කළ අයුරුයි මේ.

විවේකයක් නැති තරමට ඔබ නිර්මාණ බොහෝමයකට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. රඟපෑමට දෙන මුල්‍යමය වටිනාකම වැඩි නිසාද එ්තරම් නිර්මාණ භාර ගන්නේ?
මම රඟපෑමටයි වටිනාකම දීලා තියෙන්නේ එ් නිසා මට ලැබෙන හොඳම නිර්මාණවලට මම රංගනයෙන් දායක වෙනවා. මෙගා නාට්‍යවලට හැරෙන්න. මෙගා කියන්නේ විනාශකාරි නිර්මාණ මාධ්‍යයක්. මම එක නිර්මාණයක් කරලා අවසන් වුණාට පස්සේ තමයි වෙන නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්නේ. එහෙම නැතිව එකපාරට නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ දවස්වල මම දමිත් ෆොන්සේකාගේ මුල්ම චිත‍්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. එ්වගේම බුඩි කීර්තිසේනගේ ටෙලි නාට්‍යයකටත් දේවින්ද කෝන්ගහගේ ගේ චිත‍්‍රපටයකටත් මම සම්බන්ධ වෙනවා. එ් විතරක් නෙමෙයි නිර්මාණ කිහිපයක් විකාශය වෙන්න නියමිතවත් තියෙනවා.

වසර ගණනාවක සිට එක දිගට රංගනයේ යෙදීම විඩාවක් නෙමෙයිද?
නැහැ. මම රඟපෑම රසවි`දින කෙනෙක්. ඒකෙන් විනෝද වෙන කෙනෙක්. එ් නිසා මට මහන්සිය විඩාව කියන එක රංගනයට ආ කාලේ ඉ`දලා මේ වෙනකල්ම දැනිලා නැහැ.
මම රඟපෑමෙන් තෘප්තියක් ලබනවා. එ් තෘප්තිය තමයි මට ශක්තියක් වෙලා තියෙන්නේ.

ඔබේ රංගන හැකියාවට වැඩිපුරම පේ‍්‍රක්ෂක ආකර්ෂණය ලැබෙන්නේ පුංචි තිරයෙන්ද රිදී තිරයෙන්ද..?
එහෙම විශේෂත්වයක් තවම නම් දැනිලා නැහැ. මගේ රඟපෑමක් ටෙලි නාට්‍යයක දැක්කත් චිත‍්‍රපටයක දැක්කත් එ් ගැන කතා කරන පිරිසක් ඉන්නේ.

ප‍්‍රසන්න ජයකොඩිගේ 28 චිත‍්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. 28 හි ඔබේ රංගනයට වගේම චිත‍්‍රපටය විදේශීය ඇගයීම් කිහිපයකට ලක් වුණා. එ් ගැන කිව්වොත්..?
ඔව් මේ චිත‍්‍රපටයට සම්මාන ලැබුණා වගේම සම්මාන සඳහා නිර්දේශ වුණා. එ් ගැන සතුටු වෙන්න පුළුවන්. නමුත් මෙය තිරගත වෙන්න අවුරුදු හතරක කාලයක් ගියා. මේ චිත‍්‍රපටය පෙබරවාරි මාසේ තිරගත වෙන්න නියමිතයි. මේක අමුතුම ජාතියේ කතාවක්.

ලස්සන කතාවක් කියලා තමයි කියන්න තියෙන්නේ.

කැමරාව ඉදිරියේදි මහේන්ද්‍ර පෙරේරාව වැඩිපුරම දකින්නේ ප‍්‍රහසන නළුවෙක් විදිහටයි. ඔබ රඟපෑ චරිත බොහෝමයක් එකම රාමුවකට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
නැහැ. මට නම් හිතෙන්නේ එ් හැම චරිතයක්ම හාත්පසින්ම වෙනස් කියලයි. මට නිර්මාණයක චරිතයක් ලැබුණොත් එ් චරිතයේ හැසිරීම, චරිත ලක්ෂණ , අරමුණ මොකක්ද, මානසික මට්ටම කොයිවගේද කියන එක ගැන මුලින්ම හිතලා එ් අනුව මගේ රඟපෑම වෙනස් කරනවා.

මහේන්ද්‍රගේ කාර්යබහුල ජීවිතේ නිසා පවුලේ වගකීම බොහෝ දුරට බිරිඳට පැටවෙනවා. එවැනි වේලාවට ඇගෙන් ඔබට ලැබෙන්නේ කොයි වගේ සහයෝගයක්ද?
මං වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලේසි නැහැ. පුංචි කාලේ ඉ`දලම මට යාළුවෝ වැඩියි. අදටත් මගේ පවුලේ අය වගේම මට වැඩිපුරම ඉන්නේ යාළුවෝ.

පොඩි හරි විවේකයක් ලැබුණොත් ඉතිං මම ඉන්නේ යාළුවෝ එක්ක තමයි. පවුලේ වගකීම් හරි හැටි ඉටුකරගෙන එ් හැම දේම දරාගෙන මේ තරම් කාලයක් මගේ බිරිඳ මං ළඟින් හිටියා. එ්ක ලොකු කැපකිරීමක්. එ් දේට දරා ගැනීමේ ශක්තිය තියෙන්න ඕන.

ඇය එ් සියල්ල දරා ගත් නිසයි අපේ පුංචි පවුල මේ තරම් ලස්සනට තියෙන්නේ. අපි දෙන්නා අතර තිබුණ අවබෝධය අපේ බැඳීම ශක්තිමත් කළා කිව්වොත් මම හරි.

පුතණුවන් තිදෙනෙක්ගේ පියෙක් ඔබ. දරුවෝ තුන් දෙනාව නළුවෝ කරන්න අදහසක් නැද්ද?
මට ආසාවකුත් නැහැ. දරුවන්ට ආසාවකුත් නැහැ. එ් අයගේ ජීවිතේ එ් අයට හොයා ගන්න නිදහස දුන්නා. මම උදව් කළා. එ් අයගේ මාර්ගයේ එ් අය යනවා. මම නළුවෙක් මගේ පුතාලත් මං වගේ රඟපාන්න ඕන කියන මතයේ මම නැහැ. මම කවදාවත් බලකරලත් නැහැ. දරුවෝ මට බලකරලත් නැහැ රඟපාන්න දෙන්න කියලා. මේ වෙනකල් මගේ දරුවෝ තුන් දෙනා මම රඟපාන නිර්මාණවල ෂුටිං බලන්න ගිහිං නැහැ.

එ් අය පුංචි කාලේ මම කියලා තියෙනවා අහවලාගේ හොඳ නිර්මාණයක් ෂුටිං කරනවා කියලා. එ් අය ආ එහෙමද කියලා කියනවා විතරයි. එන්න ඕන එ්වා බලන්නවත් කියලා කියන්නේ නැහැ.

මහේන්ද්‍ර පෙරේරා කියන නළුවාගේ උස වැඩි වුණා නම් මේ රටේ චිත‍්‍රපට කර්මාන්තය තුළ පෙරළියක් කළ නළුවෙක් වෙන බවට බොහෝ අය කියනවා. ටිකක් උස ගියා නම් කියලා ඇත්තටම හිතිලා නැද්ද?
ඔය උස කතාව මට ගොඩාක් අය කියලා තියෙනවා. එ්ත් මම උස වෙලා ලස්සන වෙලා හිටියට වැඩක් නැහැනේ රඟපෑමේ කුසලතාවක් නැතුව. දක්ෂකමක් නැතුව. එ් නිසා මම උස ගැන හිතන්නේ නැහැ. මේ කාලය පුරාවට මට ලැබුණු නිර්මාණ ගැන මම සතුටු වෙනවා.

එ් කියන්නේ රංගන ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්?
ලංකාවේ කලාව ගැන නම් මගේ තෘප්තියක් නැහැ. සැලකිල්ල අඩුයි. පිටරට තියෙන සැලකිල්ල අපිට නැහැ. එ් සැලකිල්ල ලබන්න නම් මේ රටේ දේශපාලනය කරන්න ඕන. කෙහොම වුණත් මම මැරෙනකල් රඟපානවා. මොන දේ ලැබුණත් නැතත් මම සතුටින් ජීවත් වෙනවා. මොකද මම සරල මිනිහෙක් නිසා.

මහේන්ද්‍රගේ කතාබහෙන් පසුව ඔහුගේ බිරිඳ තක්ෂිලාව අපේ කතාබහට එකතු කරගත්තා.

මහේන්ද්‍රට ආදරය කරන්න පටන් ගත්තේ ජනප‍්‍රියත්වයත් එක්කද කියන ප‍්‍රශ්නයට ඇගේ පිළිතුර වුණේ?
මට මහේන්ද්‍රගේ අම්මා නෑකමට නැන්දා කෙනෙක්. අපි හැම සිංහල අවුරුද්දටම එහේ යනවා. එ්ත් කවදාවත්ම මම නම් මහේන්ද්‍රව දැකලා තිබුණේ නැහැ. රඟපානවා කියලත් දන්නවා. නමුත් ජනප‍්‍රිය චරිතයක් නෙමෙයි. දවසක් එයාලගේ ගෙදර ගියා අපේ ගෙදර අය ඩිනර් පාටි එකකට. එදා තමයි මම මහේන්ද්‍රව දැක්කේ. එදා තමයි අපි මුලින්ම කතාබහ කළේ. එ් කතා බහ දුරදිග ගිහිං ආදරේ කරන්න පටන් ගත්තා. කොහොමත් එයා මගේ අයියලාගේ යාළුවෝ. එ්ත් එයාට ස්ථිර රස්සාවක් නැහැ කියලා මගේ ගෙදරින් විරුද්ධ වුණා. එ්ත් අපි දෙන්නා අපේ සම්බන්ධය නතර කළේ නැහැ.

මහේන්ද්‍රත් එක එක රැුකියා කළා. එ්ත් සාර්ථක වුණේ නැහැ. කොහොම හරි අපි මේ සම්බන්ධය නතර කරන්නේ නැති නිසා ගෙදරිනුත් කැමැති වුණා. ඊට පස්සේ විවාහ වුණා.

ඔහුව විවාහ කරගත් පසුව කලාවේ කර්යබහුල චරිතයක් වෙද්දි ඔහු සමග විවාහ වුණේ අපරාදේ කියන සිතුවිල්ල ආවේ නැද්ද?
මුල් කාලේ නම් මට එහෙම හිතුණ වාර අනන්තයි. මම මහේන්ද්‍රට කියලා තියෙනවා අපරාදේ ඔයාව බැන්දේ කියලත්. එයා එ් වෙලාවට හිනා වෙනවා. දැන් නම් මට එ්ක සාමාන්‍ය දෙයක් වෙලා.

පවුලේ වගකීම් මග හරින සැමියෙක්ද ඔහු?
මට එ් විදිහට කවදාවත් හිතිලා නම් නැහැ. මහේන්ද්‍ර කියන්නේ පර්ස් එකක්වත් පාවිච්චි කරන්නේ නැති කෙනෙක්. එයාට ලැබෙන හැම සතේම ගෙනත් දෙන්නේ මට. ගෙදර සියලූදේ බලන්නේ මම. එ්ත් මොන දේ කරන්න ගියත් මම එයාව දැනුවත් කරනවා.

එයාට පුළුවන් හැම වේලාවකම ගෙදර ගැන බලනවා. විශේෂ දෙයකදි අන්තිම තීරණය ගන්න එයාට භාර දෙනවා.

ඔහු අද ලංකාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ ජනප‍්‍රියත්වය ගැන බිරිඳ විදිහට ඔබ උදම්අනනවා ඇති?
මම ඔහුගේ බිරිඳ වීම ගැන සතුටු වෙනවා. එ් වගේම පුංචි ආඩම්බරයක් තියෙනවා. එ්ත් කවදාවත් මමවත් දරුවෝවත් ඔහුගේ ජනප‍්‍රියත්වයෙන් බැබළෙන්න යන්නේ නැහැ.

තිරයේ දකින කවටයාව මහේන්ද්‍රගෙන් ගෙදර පරිසරයෙනුත් දකින්න පුළුවන්ද?
එයා කොහොමත් සැහැල්ලූවෙන් විනෝදයෙන් ඉන්න කෙනෙක්. සැර පරුෂ නැහැ. මටත් විහිළු කරන අවස්ථා තියෙනවා.

රංගන ජීවිතේ ගැන ඔහු කතා කරනවාද. . නැත්නම් රංගනය කියන්නේ ගෙදර තහනම් වචනයද?
කලා තොරතුරු ගැන සාමාන්‍ය දේවල් ගැන කතා කරනවා. ලැබෙන චරිත ගැන එහෙම. නමුත් විවේචනය කරන්නේ නැහැ.

මහේන්ද්‍ර පෙරේරා කියන නළුවාට කටකතා හැදුණොත් ඔබ ඔහු ගැන ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලත් කියමු?
ඇත්තටම කිව්වොත් මට නම් එයා ගැන මේ කාලේ පුරාටව කතාවක් හැදිලා තියෙනවා කියලා නම් ඇහිලා නැහැ. අපි අතර තියෙන විශ්වාසය කවදාවත් නැතිවෙන්නෙත් නැහැ. මොනදේ වුණත්. මට එයාව විශ්වාසයි.

ඔහුගේ රඟපෑම් ඔබ නරඹනවාද?
අනිවාර්යයෙන්ම බලනවා. චිත‍්‍රපට බලන්න වුණත් මහේන්ද්‍ර මාවයි දරුවන්වයි එක්කගෙන යනවා. එයා රඟ පෑ බඹරවළල්ල චිත‍්‍රපටයේ එයාගේ චරිතයට මම අදටත් ආදරේ කරනවා.

හර්ෂණී වීරරත්න_රිවිර
ඡුායාරූප – එ්ෂාන් දසනායක

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාත් එක්ක ජීවත් වෙන එක ලේසි නෑ ~ මහේන්ද්‍ර – අපරාදේ ඔයාව බැන්දේ ~ තක්ෂිලා"

    Post a Comment