04 June, 2017

සනත්ගේ වසර 19 කට පෙර දක්ෂ කමක් නැවතත් කරළියට

Sanath Jayasooriya-02

සනත් ජයසුරිය යනු ක්‍රිකට් ලෝකයේ සදා කාලිකව තම නම සටහන් කර ගත් සුපිරි තරුවකි.සනත් ගැන නැවතත් වැඩි වැඩියෙන් කතා කරන කාලයකදී සනත් ටෙස්ට් පිතිකරුවකු ලෙස ශ්‍රී ලංකාවට ඉතිහාස ගත ජයක් ලබාදුන් තරඟයක් පිළිබඳව අද වැඩි පුර කතා බහට ලක්වේ.

සනත් ගේ දක්ෂතා මුරලිගේ සුපිරි පන්දු යැවීමෙන් යටපත්වූ එම තරඟය වාර්තා වන්නේ ශ්‍රී ලංකාව එංගලන්තයේදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසිනි.මෙම ජයග්‍රහණය ලබා දුන් ඕවල් පිටිය අද දිනයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරඟය පැවත්වෙන ක්‍රීඩාංගනය වන නිසා එදා ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව ලැබූ ගෞරවය අද ඕවල් පිටියේ රැක ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීමක් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ලබා ගැනීමෙන් පසුවද එංගලන්තය අපට ලබා දුන්නේ එක ටෙස්ට් තරඟයක් පමණි.එංගලන්තයේ මෙම මහන්තත්වයට දක්ෂතා වලින් පිළිතුරුදීමට සිතාගත් අර්ජුන ප්‍රමුඛ කණ්ඩායම 1998 ඕවල් ටෙස්ට් තරඟයට මුහුණ දුන්නේ කෙසේ හෝ තරඟය ජයගැනීමේ අරමුණ සහිතවය.

තරඟයට පෙර අර්ජුන අර්ජුන දැඩි තරහකින් සිටි බව අර්ජුන cricbuzz.com සමඟ පැවති සාකච්චාවකදී පවසා ඇත.

“මම හිතුව ලෝක කුසලානය දිනුවට පස්සේ වත් එංගලන්තය අපිට එක ටෙස්ට් තරඟයක් දෙන එක වෙනස් කරයි කියල,හැබැයි 98 දීත් අපිට එයාල දුන්නේ එක ටෙස්ට් තරඟයක් විතරයි.මම ඒ ගැන ගොඩක් තරහෙන් හිටියේ ,අපි තරඟයට කලින් තිබුන කණ්ඩායම් හමුවේදී කතා කරගත්ත කොහොම හරි ටෙස්ට් තරඟය දිනන්න.මම දැනගෙන හිටිය කොහොම හරි පලවෙනි ඉනිමේ හොදට කලොත් ඒ තණතිල්ලේ මුරලිගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් කියල.”

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල එංගලන්තය ග්‍රැහැම් හික්ගේ ශතකය සහ ජෝන් ක්‍රව්ලි ගේ ශතක සමඟ ලකුනු445 ලබාගත් අතර මුරලි කඩුලු පහක්ම දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව සනත් ජයසුරිය ලබාගත් ද්විත්ව ශතකය සහ අරවින්ද ලබාගත් ලකුණු 150 සමඟ ලකුණු 591 රැස් කිරීමට සමත් විය.

ලකුණු 141 පිටුපසින් සිට තම දෙවන ඉනිම ඇරඹු එංගලන්තය දෙවන ඉනිමට ලබාගත්තේ ලකුණු 181 පමණි.එංගලන්තයේ දැවී ගිය කඩුලු 10 න් 9ක් ම මුරලි සතු වූ අතර ඉතිරි කඩුල්ල උපුල් චන්දන පන්දුව කෙලින්ම කඩුල්ලට එල්ල කර ලබාගත් දුවද්දී දැවී යමක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 36 සනත් කළු යුගලය ලබා ගත්තේ පන්දු වාර හතරක් පමණක් වැයකරමිනි.ඒ ඉනිමේ සනත් ජයසුරිය විසින් අන්ගුස් ෆ්රේසර් ට පොයින්ට් කලාපයට ඉහලින් ගුවනේ සිට එල්ල කල හයේ පහර තවමත් ක්‍රිකට් ලෝලීනට අමතක නැතුවාට සැකයක් නැත.

තරඟයේ අවසානයේ පැවති මාද්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක රණතුංග ගෙන් මාද්‍යවේදියෙකු විමසා සිටියේ ශ්‍රී ලංකාව මෙතරම් දක්ශතා දක්වද්දීත් එංගලන්තය එක ටෙස්ට් තරඟයක් පමණක් ලබාදීමේ හේතුව කුමක් විය හැකිද යන්නයි.ඒ ප්‍රශ්නයට අර්ජුනගේ පිළිතුර වුයේ,

“අපිට තරඟ තුනක් දුන්නොත් තරඟ තුනම ජයගෙන එංගලන්තයට අවමානයක් ඇති කරනු ඇතැයි බියෙන් එක තරඟයක් පමණක් ලබා දී එම තරඟය පැරදීඅවමානය අඩු කර ගන්නා බවයි.”

එදා ඒ අයුරින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ ගෞරවය වෙනුවෙන් කැපවී ඇති කරගත් ක්‍රිකට් ලෝකයේ ශ්‍රී ලංකාව යන නම රැක ගැනීමට අද දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කෙසේ කටයුතු කරනු ඇද්ද යන්න අද අපට බලාගත හැකි වනු ඇත. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සනත්ගේ වසර 19 කට පෙර දක්ෂ කමක් නැවතත් කරළියට"

    Post a Comment