06 June, 2017

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සුසන්තිකාගේ රෙදි ගලවයි!

Susanthika Jayasinghe - 02

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පිළිබඳව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු පවසන්නේ, සුසන්තිකා ජයසිංහට ක්‍රීඩා අමාත්‍යාංශයේ තනතුරක් ලබාදී මසකට රුපියල් 60,000ක දීමනාවක් හා තවත් රුපියල් 15,000ක ඉන්ධන දීමනාවක්ද ලබාදුන්නද එම තනතුරට අදාළ වගකීම් ඇය අඛණ්ඩවම ඉටුකර නොමැති බවයි.

එසේම ඇය සේවයෙන් ඉවත් කර නොමැති බවත් පසුගිය වසරේදීද ඇයට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 11ක මුදලක් පරිත්‍යාග කළ බවයි. එසේම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය කිසිදු අවස්ථාවක සිය දැනුම ලබාදීමක් සිදුකර නොමැති නමුත් 2016 වසරේ ජූලි සිට 2017 මාර්තු දක්වා ඇයට අඛණ්ඩව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැටුප් දුන් බවයි.

ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය - 

සුසන්තිකා ජයසිංහ මහත්මියගේ වැටුප් නොගෙවීම පිළිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධවයි
මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව මෙසේ කරුණු පැහැදිලි කරමි. 2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනාගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්තිය පළමුව ගෞරවාන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවැති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප‍්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ඇයගේ චරිතා ප‍්‍රදානය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ගරු ක‍්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ එකොළහක මුදල් ප‍්‍රදානයක්ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳවද කනගාටු වෙමි.

ප‍්‍රථමව සඳහන් කළ යුත්තේ, සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අප්‍රේල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවකාලික පමාවක් සිදුව ඇති අතර ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.

මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන්වී තිබිණි. නව රජයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාරගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවාන්විතව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනුණි.

ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරූවද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු.60,000ක මාසික දීමනාවක් සහ රු.15,000ක ඉන්ධන දීමනාවක් ලබාදීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක‍්‍රීඩා අමාත්‍යතුමන් විසින් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. එම සංදේශය ප‍්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත්කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි

මීට අදාළ පත්වීම් ලිපිය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර එහි 08 වන ඡේදය යටතේ “ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටුකළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාවද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”

09 වන ඡේදය යටතේ “තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටුකරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳ වාර්තාවක්ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය” බවට සඳහන්ව ඇත.

මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක‍්‍රීඩා පිටියේ පිහිටි ක‍්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැඟිල්ලේ 03 වැනි මහලෙහි 08 වන කාමරයද ඇයට වෙන්කර ලබාදුණි.

සුසන්තිකා ජයසිංහ මෙන්ම දක්ෂ තවත් මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකර ගැනීමේ අරමුණු පෙරදැරිව ගරු අමාත්‍යතුමන් විසින් මලල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒ වනවිට පැවැති මලල ක‍්‍රීඩා සංචිත 3හි පුහුණුකිරීම් හා උපදේශන සහාය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත ලබාදී නොමැත.

2016 ජූලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ඡේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අපොහොසත් වී ඇත. 2017 ජනවාරි මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර සානුකම්පිතව සලකා එම කාලසීමාවට අදාළ වැටුප් ගෙවීමටද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08වන ඡේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.

රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර, එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත නිසිපරිදි ලබාදීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව තැකීමක් නොකර, අමාත්‍ය මණ්ඩල තීරණ ප‍්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසිඳු නෛතික හෝ සදාචාර හිමිකමක් නොමැත.

තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවාන්විත වැටුපක්ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අතිදක්ෂ ක‍්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැන්මට, ක‍්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි.

සෝමරත්න විදානපතිරණ
වැඩබලන ලේකම්
ක‍්‍රීඩා අමාත්‍යාංශය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සුසන්තිකාගේ රෙදි ගලවයි!"

    Post a Comment