25 May, 2017

තායිවානයේ සමලිංගිකයෝ පෝරුවට සමීප වෙති

Taiwan gay marriage-02
pic - Reuters

සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බවට තායිවානයේ ඉහළම අධිකරණය තීරණය කරයි.

එම තීරණයට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වුවහොත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගන්නා ප්‍රථම ආසියානු රට වශයෙන් තායිවානය ඉතිහාසගත වනු ඇත.

තායිවානයේ ඉහළම විනිසුරු මඬුල්ල තීරණය කළේ සමලිංගික විවාහය වළක්වාලන, තායිවානයේ දැනට පවතින නීතිය මගින් සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බැවින් එය ව්‍යවස්ථා විරෝධී බවය.

එබැවින් නව නීති සම්මත කිරීමට හෝ පවතින නීති සංශෝධනය කිරීම සඳහා තායිවාන රජයට දෙවසරක කාලයක් ලබා දී තිබේ.

කෙසේ නමුත් මෙම අධිකරණ තීරණය අනුව නව නීති සම්පාදනයට හෝ පවතින නීති වෙනස් කිරීම සඳහා තායිවානයේ පාර්ලිමේන්තුව කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන්න තවමත් පැහැදිලි නැති බව එරට දේශපාලන විශ්ලේෂිකා සින්ඩි සුයි පවසන්නීය.

සමලිංගික විවාහය නීතිගත කිරීමට එරෙහිව තායිවානයේ ආගමික කණ්ඩායම් විරෝධය පළ කරති.

වසර දෙකක් ඇතුළත නව නීති සංශෝධනය නිම කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත් අධිකරණ තීරණය පාදකකර ගනිමින්, විවාහවීමට කැමති සමලිංගිකයන්ට තම විවාහය සඳහා ලියාපදිංචි වීමට අයිතියක් ඇති බව තායිවාන අධිකරණය පවසයි.

තායිවාන අධිකරණය මෙම තීරණයට එළැඹියේ, කලාපය තුළ සිටින සමලිංගික ප්‍රජාවට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක වෙමින් තිබියදී ය.
දඬුවම්

පසුගිය දා ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දෙන ලදී.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබේ.

එමෙන්ම ඩකා අගනුවර ප්‍රජා මධ්‍යස්ථානයක රැස්ව සිටි සමරිසි පුරුෂයන් (gay men) විසිහත් දෙනෙකු බංග්ලාදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද පසුගිය දා වාර්තා විය.

අසල්වාසීන් විසින් දෙන ලද ඔත්තුවක් අනුව ප්‍රජා මධ්‍යස්ථානය වටකරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එරට පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. (බීබීසී )

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තායිවානයේ සමලිංගිකයෝ පෝරුවට සමීප වෙති"

    Post a Comment