29 May, 2017

ලිංගිකත්වය හා කුණු රසය

Sex couple

සුපිරි ක්‍රීඩකයකුගේ රහසිගත වීඩියෝවක් සයිබර් අවකාශයට පැමිණීමත් සමඟ 'සෙලිබ්‍රිටි' චරිත හා ඒ චරිතප්‍රේමීන් තුළ දෙදරුම්කෑමක් පටන් ගෙන තිබෙන බව සයිබර් අවකාශයේ සමාජ ජාලයන්හි දක්නට ලැබෙන පොදු ලක්ෂණයක්. විශේෂයෙන් මේ දෙදරුම්කෑමට බලපාන හේතුව වන්නේ අපේ සමාජය 'ලිංගිකත්වය' නැත්නම් 'Sex' පිළිබඳ දක්වන පසුගාමී ආකල්පයයි.

ලිංගික ජීවිතයට මෙන්ම ලිංගිකත්වය කෙරෙහිත් අප දක්වන්නේ ආචීර්ණ කල්පික මතයකි. විශේෂයෙන් එය ජීවිතයේ තවත් එක් රාජකාරියක් ලෙස සිතනවා විනා, ඒ හරහා ජීවිතයට ලැබෙන ප්‍රහර්ෂය ගැන කිසිදු අවබෝධයක් අපට නැහැ. ලිංගික ජීවිතය යනු ලාලසාවක් (Passion) බවට පෙරළා ගත යුතු දෙයක් බව අප සිතන්නේ නැහැ. විශේෂයෙන් එය ඝනාන්ධකාරයේ සිදු විය යුතු දෙයක් ලෙසයි අප පිළිගන්නේ. එය විඳින්න අප දන්නේ නැහැ.

එහෙත් මානව ඉතිහාසයේම ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය (Sex and Violence) සම්බන්ධ කාරණා. එයට හේතුව මානවයා ස්වභාවයෙන්ම මේ කාරණා දෙකට ලොල් වීමයි. බොහෝ දෙනකු තුළ දක්නට ලැබෙන ලිංගික කුහකත්වය හෝ ලිංගික මාත්සර්යයට හේතු වන්නේ ඔවුන්ට එය විඳීම මඟහැරවීම පිළිබඳ ප්‍රකාශනයක්. මේ මඟහැරීම එන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළමයි. 

ප්‍රාචීන අධ්‍යාපන ක්‍රමයක් තුළ සගවාතැබූ මෙවැනි කාරණා වර්තමාන ලිබරල් අධ්‍යාපන ක්‍රමයක් තුළද ඒ ආකාරයෙන්ම සඟවා තිබීම ඛේදජනක කාරණයක්. පුද්ගලයා තුළ එකතු වන විඳීම පිළිබඳ අඩුව මෙවැනි සමාජ කාරණා ඔස්සේ ඉතාම අපූරුවට ප්‍රකාශයට පත් වෙනවා. මෑත කාලීන උදාහරණ වන වික්ටර් රත්නායකගේ නව විවාහය හා ප්‍රංස නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ විවාහය හා බැඳුණු ප්‍රකාශ ගන්න පුළුවන්.

අසන්නතම සිදුවීම වූ සුපිරි ක්‍රීඩකයා සම්බන්ධ කාරණය මේ මොහොතේ සමාජයේ මහා පොදු සාධකයක් බවට පත්ව ඇති විට මේ කාරණය මුල් කරගෙන පොදු සමාජය තුළ අවධානයට ලක් කළ යුතු කාරණා දෙකක් මතු වෙනවා.

එකක් තමයි ජංගම දුරකතනයක තැන්පත් කරගෙන ඇති අතිශය පෞද්ගලික තොරතුරු සමාජගත වීමට ඇති ඉඩකඩ වැඩි බව. ඒ නිසා මේ මොහොතේ මෙය වළක්වාගත හැක්කේ කෙසේද යන කරුණ අවබෝධ කරගැනීම වැදගත්. ඔබ කිසිවිටක තමන්ගේ පෞද්ගලික දුරකතනයේ පෞද්ගලික දත්ත, වීඩියෝ හා ඡායාරූප ගබඩා කර තබා නොගත යුතුයි. මන්ද: ජංගම දුරකතනයක් වැනි මෙවලමක් නැති වීමට හෝ අන් සතු වීමට ඇති සම්භාවිතාව වැඩි හෙයිනි. 

හැම විටම ජංගම දුරකතනයේ ඇති දත්ත තමන්ගේ පෞද්ගලික පරිගණකයට හෝ අමතර දෘඪ තැටියකට හෝ DVD තැටියකට මාරු කරන්න. නැත් නම් ස්මාර්ට් ජංගම දුරකතනයකින් පුළුවන් තමන්ගේ Yahoo හෝ Google අන්තර්ජාල ගිණුමේ මේවා තැන්පත් කරන්නත්, අවශ්‍ය විටෙක ඒවා යාවත්කාලීන කරන්නත්. මේක ආරක්ෂිත පියවරක්. මොකද: මේ ආකාරයට ආරක්ෂා කරන්නේ මොනවාද යන කරුණ තීරණය කරන්න ඕනෑ තමන්මයි. මතක තබාගත යුතු දෙයක් වන්නේ සයිබර් අවකාශය තුළ රහස්‍යභාවය කියන කරුණේ වලංගුභාවය අවම බවයි.

දෙවන කාරණය නම්: 'ගොසිප්' වෙබ් අඩවි වසංගතයයි. 'ගොසිප් සයිට්' හැමවෙලේම කතා කරන්නේ මිනිස්සු තුළ තියෙන කුතූහලයට, සැකයට, යතුරු කවුළුවෙන් නැරඹීමට ඇති ජාගර වුවමනාවට. ලෝකයේ අලෙවිකරණය ගොඩනැ‍ඟෙන්නේ මේ හැඟීම මත. අපි හැමෝගෙම සිත්වල තිබෙනවා ජාගර 'ලේයර්' එකක්. අන්න ඒ 'ලේයර්' එකේ සැරිසරන්නේ අපි බලෙන් යටපත් කරගෙන ඉන්න යක්ෂයා. මිනිස්සු සංස්කෘතික වෙනවා කියන්නේ මේ යක්ෂයා 'කොන්ට්‍රෝල්' කිරීමනේ. 

අන්න ඒ බලෙන් යටපත් කළ යක්ෂයාට තමයි මේ 'සයිට්ස්' ආමන්ත්‍රණය කරන්නේ. මෙවැනි ඕපාදූප 'සයිට්ස්' ප්‍රබල වෙන්න හේතුවක් තිබෙනවා. ඒ තමයි විධිමත් ප්‍රවෘත්ති නාලිකා පිළිබඳ පොදු සමාජයේ විශ්වසනීයත්වය බිඳවැටීම. ඒක දැන් ලංකාවේ සිද්ධ වෙලා තිබෙන්නේ; තවදුරටත් සිද්ධ වෙමින් යනවා. මිනිස්සු 'ගොසිප්' විශ්වාස කරනවා නිල ප්‍රවෘත්ති ප්‍රකාශනයන්ට වඩා. ඒත් ඒක සමාජයේ නිරෝගී සෞඛ්‍යයට ඒ තරම් හොඳ දෙයක් නොවේ.

මේ නිසා තමයි කාලයක සිට සමාජයේ විවිධ කණ්ඩායම් අතරේ මාධ්‍ය නියාමනය කළ හැකි ආයතනයක අවශ්‍යතාව නිතර කියවෙන්න ගන්නේ. මෙවැනි නියාමන ආයතන ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා. ඒවායින් කෙරෙන්නේ විශේෂයෙන් මාධ්‍යවල ක්‍රියාකාරකම් සමාජ අහිතකර නොවෙන ආකාරයට විධිමත් කිරීම. එවැන්නක් දැන් ලංකාවට අත්‍යවශ්‍යයි. 

ඒ පිළිබඳව යම් වැඩකොටසක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම සිදු වෙමින් පවතිනවා. ඒත් ඒ සදහා සිවිල් සමාජයේ මැදිහත් වීම සිදු වන්නේ මන්දගාමි විදියට. අඩුම තරමින් මාධ්‍යකරුවන්වත් තමන්ගේ වෘත්තියට වෘත්තීය භාවයක් ඇති කරගත හැකි එවැනි කාරණාවක් ගැන සාධනීය මට්ටමේ උනන්දුවක් නෑ.

තමන් 'පයිතගරස්ලා' කියලා හිතා ඉන්න මාධ්‍යකරුවන් මේ නියාමන ආයතනය ගොඩනැඟීමේ ක්‍රියාවලිය තුළත් 'කිඹුල්ලු' දැකදැක ඉන්නවා. අවසානයේ සිදු වන්නේ තමන්ගේ වෘත්තීයභාවය බල්ලාට ගොස්, සමාජය දරුණු ඛාදනයකට ලක් වීමයි.

කපිල එම්. ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිංගිකත්වය හා කුණු රසය"

    Post a Comment