17 May, 2017

මට ගැළපෙන්නෙ ගමේ චරිත

Sandani Pathirana-01

රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් අතර කතාබහට ලක්වුණු චරිත අතර සඳනි පතිරණ කියන්නෙත් ඉදිරියෙන්ම සිටින චරිතයක්. ඇයගේ හුරුබුහුටි බවත්, දඟකාර බවත් නිසාම ඇය කොයි කා අතරත් ආකර්ෂණයට සහ ආදරයට පාත‍්‍ර වුණේ ඉතා කෙටි කලකදීමයි. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ”දෙව්ලිය” ටෙලිනාට්‍ය තුළින් ඇයව දැක ගත හැකියි. සඳනි පතිරණ නම් ඒ ආදරණීය රංගන ශිල්පිනියට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන්වේ.

Sandani Pathirana-02

සඳනි කොහොමද ජීවිතේ?

ඇත්තටම මට 2017 අවුරුද්ද ගොඩක් හොඳයි. මගෙ හිතේ තිබුණු බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ඉතින් ජීවිතේ හොඳින් ගෙවිලා යනවා.

රංගන කටයුතු සිද්ධවෙන්නෙ කොහොමද?

මේ දවස්වල ස්වර්ණවාහිනියෙ ‘දෙව්ලිය’ කියලා ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. ඒ වගේම රූගත කිරීම් නවත්තලා තිබුණු ටෙලිනාට්‍යයක නැවත රූගත කිරීම් පටන් ගත්තා. තව ටෙලිනාට්‍යයකට කතා කරලත් තියෙනවා. ඒත් ඒ ගැන තවම කතා කරගෙන නෑ.

”දෙව්ලිය” ටෙලිනාට්‍යයේ චරිතය ගැනත් කතා කරමු?

‘සපුමලී’ කියන චරිතය කරන්නෙ. එහිදී මම පුබුදු චතුරංගගේ නංගි විදිහට තමයි රඟපාන්නෙ.

සපුමලීට තියෙන ප‍්‍රතිචාර කොහොමද?

හොඳයි. වෙනදා වගේම ප‍්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය කියන්නෙත් මට ගැළපෙන්නෙම ගමේ චරිත කියලා.

සඳනිට වැඩිපුරම ලැබෙන්නෙත් ගැමි චරිත නේද?

ඔව් ඒක නම් ඇත්ත. ගැමි චරිත ගොඩක්ම ලැබුණෙ. ඒත් අහිංසක පෙම්වතියගෙ චරිතය එක වතාවක් කළා. ඒ සුරංග ලක්මාල් සෙනවිරත්න මහත්මයගෙ ”කොළඹ අපි ආවා” නාට්‍යයේ. එහිදී මම හිටියෙ එරංග ජීවන්තගෙ පෙම්වතියට. ඒක අහිංසක චරිතයක්.

වෙනස් විදියෙ චරිතයක් රඟපාන්න ආසාවක් තියෙනවද?

එහෙම විශේෂයක් නෑ. මට ගැළපෙන මොකක් හරි චරිතයක් ලැබුණොත් ඒකාකාරී චරිතද නැද්ද කියන දේ නෙමෙයි, මට ගැළපෙනව නම් ඒක උපරිමයෙන් කරනවා.

මේ වෙද්දි ටෙලිනාට්‍ය කීයකට විතර සම්බන්ධ වෙලා තියෙනවද?

මේ වෙද්දි ටෙලිනාට්‍ය 12ක් වගේ කරලා තියෙනවා.

ඒ අතරින් වැඩි කතාබහට ලක්වුණේ?

”තූර්යා” හි ‘ටිකිරි’ චරිතය තමයි වැඩි දෙනා අතර කතාබහට ලක්වුණේ.

එතකොට රිදී තිරයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවද?

මම චූටි කාලෙදි නම් උදයකාන්ත වර්ණසූරිය මහත්මයගෙ ”රන් කෙවිට” චිත‍්‍රපටියෙ පොඩි චරිතයක් කළා. ඒ වගේම ”ආකාස කුසුම්” චිත‍්‍රපටයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් ලොකු චරිතයක් කරන්න නම් තවම අවස්ථාවක් ලැබිලා නෑ.

මේ දවස්වල ජනප‍්‍රියව පවතින රියලිටි වැඩසටහන්වලට සඳනිට ආරාධනා ලැබිලා නැද්ද?

මට ආරාධනා නම් ලැබුණා. ඒත් මම රඟපෑමෙන් පසුව ගුරු වෘත්තියට තමයි යොමු වෙන්නෙ. ඒකත් එක්ක මට මේ වැඩසටහන් ගැළපෙනව ද කියලා දෙපාරක් හිතුවා. මොකද මම ඉදිරිය ගැන හිතලා හැමදේම කරන්නෙ. රඟපෑමේදි වුණත් චරිත භාරගද්දි හැම දේ ගැනම හිතනවා. නැත්නම් මේ වගේ දේවල්වලට අකමැත්තක් නෑ.

ඒ කියන්නෙ ශික්ෂණයක් තියෙන චරිත විතරයි භාරගන්නෙ?

එහෙමමත් නෙමෙයි. මට කරන්න පුළුවන් ද? බැරි ද? කියන දේ තමයි මම මුලින්ම බලන්නෙ සහ ගුරු වෘත්තියට ගැළපෙනව ද කියන දේ. මොකද අපි හිතන විදියට නෙමෙයිනෙ මිනිස්සු අපි දිහා බලන්නෙ. ඒගොල්ලො අපි රඟපාන දේවල්වලින් තමයි අපිව මවාගන්නෙ. මම උගන්වන ළමයින්ගෙ දෙමව්පියො වුණත් එතකොට මගෙ ගැන එක්තරා අදහසක් මවාගන්න පුළුවන්නෙ. ඒ නිසා මම හරි බයයි මගේ චරිතෙ ගැන මිනිස්සු වැරදි විදියට කතා වෙනවට. ඒ නිසා මම ඒ ගැන ගොඩක් හිතනවා.

ඇයි සඳනිට කලා ක්ෂේත‍්‍රයට එන්න හිතුණෙ?

මූලිකම හේතුව වුණේ මගෙ අම්මා. අම්මා ගොඩක් කැමතියි කලාවට. ඉතින් අම්මගෙ මඟපෙන්වීම යටතේ තමයි මම අද මෙතන ඉන්නෙ සහ මේ තැනට ආවෙ. මම හිතන්නෙ මට යම්තාක් දුරට රඟපාන්නත් පුළුවන්. පොඩි දක්ෂතාවයක් තියෙනවා. ඉතින් මම හිතනවා එය ප‍්‍රමාණවත් කියලා.

පාසල් යන කාලෙත් රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා හිටිය ද?

පාසල් වේදිකාවෙ රඟපාලා නෑ. මම කළේ නර්ථනය, නර්ථන අංශයෙන් නම් සමස්ත ලංකා මට්ටමින් පවා ජයග‍්‍රහණ ලබාගෙන තියෙනවා.

නර්ථන අංශයෙන් එතරම් දක්ෂතා තිබුණා නම් ඇයි ඒ අංශයෙන් ඉදිරියට නොඑන්නෙ?

මගෙ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව නර්ථන ගුරුවරියක් වෙන එක. නමුත් මම ්රැුඛ වලින් පස්සෙ එක වසරෙ සිට පහ වසර දක්වා ළමයින්ට උගන්වන්න පටන් ගත්තා. ඉතින් මට ඒ කෙටි කාලයෙදි හිතට දැනුණා නර්ථන ගුරුවරියක් වෙනවට වඩා ප‍්‍රාථමික අංශයට උගන්වන එක ගොඩක් හොඳයි කියලා. මම පොඩි ළමයිට හරි ආදරෙයි. ඉතින් මම තීරණය කළා දිගටම පොඩි ළමයින්ට උගන්වන්න.

කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූවාට පසුව සඳනිගෙ ජීවිතේට එකතු වුණු වටිනා අත්දැකීම් ඇති?

මගේ ජීවිතේට වටිනා ගොඩක් දේවල් ලැබුණා. ප‍්‍රධාන වශයෙන් ඉවසීම කියන දේ. ඒ වගේම පිරිසක් සමඟ එකමුතුව සහයෝගයෙන් වැඩ කරන්නෙ කොහොමද කියන දේ. ඒ හැමදේම ඉගෙනගත්තා. හොඳ ආත්ම ශක්තියක් ලැබුණා. ඒ වගේම හොඳ ප‍්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන් සමඟ වැඩ කරන්න ලැබුණා. ඒ වගේම ආදරණීය පේ‍්‍රක්ෂකයො පිරිසක් මගෙ වටා එකතු වුණා. ඒ හැමදේම හරි වටිනවා.

සඳනි රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් අතර කතාබහට ලක්වුණු චරිතයක් වුණාම මොනවගේ හැඟීමක් ද ඇතිවුණේ?

හරිම සතුටුයි. ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. අපි රූගත කිරීම් කරද්දි හරි මහන්සියි. නිදිමතයි. අමාරුවෙන් වැඩ කටයුතු කරගෙන යන්නෙ. නමුත් ඒ අවසානයේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙද්දි හරි සතුටුයි. අපි අමාරුවෙන් හරි කරන දේ රූපවාහිනියෙන් දකිද්දි ඒවට ඇගයීම් ලැබෙද්දි සුන්දර හැඟීමක් හිතට දැනෙනවා.

සඳනි මෑතකදි ආයෙත් පාසල් ගියා නේද?

ඔව් අනේ. අපිට අවුරුදු පහකට පස්සෙ ආයෙත් පාසල් යන්න පුළුවන් වුණා. අපේ බැච් පාටියක් තිබුණා. එදා අනුලාවෙන් බිහිවුණු කලාකාරිනියො ගොඩක් ඇවිල්ලා හිටියා. කුසුම් රේණු, විනූ සිරිවර්ධන, ශශිකා නිසංසලා. රසාදරී පීරිස්, ලෝචනා ඉමාෂි වගේ බොහෝ දෙනෙක් ආවා. ඉතින් ඒ දවසෙ අපි ගොඩක් සතුටු වුණා.

මොකද්ද එදා තිබුණෙ?

අපේ ඉස්කෝලෙ පළවෙනි වතාවට බැච් ස්කූල් එකක් තිබුණෙ. එදා 2000ට වැඩි ආදි ශිෂ්‍යාවන් පිරිසක් සහභාගි වෙලා හිටියා. අපේ ඉස්කොලෙ පටන් ගත්තුම කාලෙ හිටපු සිසුවියක් පවා ඇවිල්ලා හිටියා අපිට වඩා අවුරුදු 80ක් විතර වැඩිමහල්. ඉතින් එදා ඒ හැමෝමත් එක්ක අපි ගොඩක් සතුටු වුණා. හරි සුන්දර අවස්ථාවක්.

සඳනි පාසලෙන් ඉවත්වෙලා දැන් කොච්චර කල්ද?

දැන් අවුරුදු 5ක් වෙනවා.

අවුරුදු පහකට පසුව නැවත පාසල් නිල ඇදුම අඳින්න වුණාම ඒ දැනුණු හැඟීම කොහොමද?

මම දැනටත් ටෙලිනාට්‍යවලට පාසල් නිල ඇඳුම අඳිනවා. මගෙ වයස වැඩිය පේන්නෙ නැති නිසා එදත් හැමෝම කිව්වෙ මගෙ වෙනසක් පේන්නෙ නෑ එදා වගේමයි කියලා. නමුත් මම අනුලා විද්‍යාලයේ නිල ඇඳුම් ඇන්දෙ අවුරුදු 5කින්. ඒ ටයි පටිය දැම්මේ අවුරුදු 5කින්. ඒක ඇත්තටම හරි ආඩම්බරයක්.

මොකද මට මගෙ පාසලෙන් ලැබුණු දේවල් මත තමයි මම අද මෙතැන ඉන්නෙ. මට මගෙ පාසලේ නම නිසා ලැබෙන දේවල් ගොඩයි. ඉතින් හරි ආඩම්බර වෙනවා අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවක් කියලා කියන්නත්.

ආයෙත් පාසල් යන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණෙ නැද්ද?

අම්මෝ හිතුණා. එදා යාළුවොත් ඔක්කොම වගේ ආවා. ඉතින් එදා ඒ තිබුණු යාළුකම් අදටත් තියෙනවා. ඒ දඟකාරකම්, රණ්ඩුවෙන ඒවා, හිනාවෙන ඒවා ඒ විදියම තමයි. වෙනසක් නෑ.

සඳනි ‘අනුලා කුමරිය’ වෙලා නැද්ද?

13 වසරෙදි තමයි අනුලා කුමරිය තෝරන්නෙ. අපේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2012 වර්ෂයේදි අනුලා කුමරිය දෙවන ස්ථානය තමයි මම ලබාගත්තෙ.

සඳනි දැන් පෙම්වතියක් කියන්නෙ ඇත්තද?

ඔව්. එහෙම තමයි.

පෙම්වතා කව්ද කියලත් කියමුද?

ඔහු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක්.

හිතුවා වගේ කෙනෙක් ලැබුණා ද?

අනිවාර්යෙන්ම. මටත් වඩා හොඳ හිතුවටත් වඩා හොඳ කෙනෙක් ලැබුණා. තව අවුරුදු 4කින් 5කින් වගේ විවාහය සිදුවෙයි.

ධනු විජේරත්න (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මට ගැළපෙන්නෙ ගමේ චරිත"

    Post a Comment