19 May, 2017

රුවන්වැලි සෑ බිමෙන් මතුවන හද කකියවන කතාවක්

Ruwanwali saya

අනුරාධපුර සුනඛ මිතුරු සංසදය යනු අසරණ සතුන්ගේ හිමිකම් සම්බන්ධ ක්‍රියාකාරී සංවිධානයකි. නීතිඥවරුන්, වෛද්‍යවරුන් වැනි සිවිල් සමාජයේ වගකිව යුතු පුරවැසියන්ගෙන් සැදුම් ලත් මෙම සංවිධානයෙහි සාමාජිකයකු විසින් අපට උපේක්ෂා පිළිබඳ ලබා දුන් මෙම තොරතුරු අනුව අපි ඇය දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමු.

සේරටම කලින් කියන්නකො උපේක්ෂාගෙ පවුලෙ තොරතුරු
මගෙ තාත්තා හොඳට වතුපිටි තියන ඉඩම් හිමි වැවිලි කරුවෙක්. ගොඩඉඩම් වගේම කුඹුරු එහෙමත් තියනවා. ඒ වතුපිටි අතරින් ‍පොල් අක්කර ගාණක ලොකුවත්තක් අපිට තියනවා.

කවුද වත්ත බලා කියා ගත්තෙ ?
වත්තේ මුර ගෙයක් තියනවා. ඒකෙ මුර පවුලක් පදිංචි වෙලා හිටියා. එයාලා තමයි වත්ත බලා ගත්තෙ. වත්තෙ බල්ලෙකුත් හිටියා.

මුර පවුල ඇති කරපු බල්ලෙක්ද ?
නෑ. එයා කොහෙ හරි ඉඳල ආපු සතෙක්. හැබැයි මුර පවුල එයාට කන්න බොන්න එහෙම දුන්නා. එයා තමයි වත්ත පුරාම ඇවිද ඇවිද කිසිම මිනිහෙකුට වත්තට ඇතුල් වෙන්නනොදී බලා ගත්තෙ. මං හිතන්නෙ මුර පවුලට ‍ලේසි වුණා ‘ටොමී’ නිසා.

ටොමී ඔයාලටත් හිතවත්ද ?
අපේ තාත්තා සතියකට දවස් දෙක තුනක් ගියාට අපි නම් වත්තට යන්නෙ මාසෙකට හමාරකට සැරයක් තමයි. මොකද අපේ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මායි විතරයි.
හැබැයි එහෙම ගියා වුණත් ටොමී අපිව හොඳට අඳුනනවා. අපිව දැක්කම ටොමිගේ සතුට ඉහිලුම් නැහැ. ඔළුව ටිකක් අත ගෑවම එයාට උන්හිටි තැන් පවා අමතක වෙනවා.

ඊට පස්සෙ මොකද වුණේ ?
අපේ වත්තෙ මුරකාරයා හරියට බොනවා. එයා පහුගිය කාලෙ දවසක පවුලත් එක්ක රණ්ඩු කරලා ගෙදරින් යන්න ගිහින්. ඊට පස්සෙ මුරගෙයි තනියම ඉන්න බෑ කියල මුරකාරයගෙ පවුල ඒගොල්ලන්ගෙ එකම දුවවත් අරගෙන වත්තෙන් යන්න ගිහින් තිබුණා.

ටොමී ?
ටොමීව එයාලා එක්ක ගියේනෑ. ඒ වගේම ටොමී වත්ත දාල ගියෙත් නෑ. එයා ඔය තැන් තැන්වල ගිහින් මොන මොනව හරි හොයාගන කාලා වත්තෙම නතර වෙලා හිටියා. වත්තෙ වැඩ කරන්න එන අය හැරුණම වෙන කිසිම කෙනෙකුට වත්තට ඇතුල් වෙන්න ටොමී ඉඩ දුන්නෙම නෑ. එයාව දන්න කියන අයට කොච්චර හීලෑ වුණත් නාඳුනන අයට එයා හරි නපුරුයි. ඒ නිසා වත්තට කිසි කෙනෙක් ආවෙ නෑ. ටොමී ඒ වත්ත රැක ගත්තේ හරියට තමන්ගේ බූදලයක් වගේ. ඒ කා‍ලේ අපි හිනාවුණත් එක්ක මේකා නම් ඉස්සර කා‍ලේ මේ වත්තේ අයිතිකාරයෙක්ම වෙන්න ඕනේ කියලා.

මුරකාරයෙක් ඕනෑ නෑ එහෙනම් ?
ඒ වුණත් වත්තේ වැඩ කරන්න කවුරු හරි එපායැ. ඒ හින්දා තාත්තා මුරකාරයෙක් හොය හොයා ඉන්නකොට එක මනුස්සයෙක් හම්බුවෙලා.

ඊට පස්සෙ මුර ගෙදර පදිංචි වුණේ ඒ පවුල ?
ඒ පවුලක් නෙමේ. තනි මනුස්සයෙක්. කොහොම හරි ඒ මනුස්සයා වත්තට ආවදා ඉඳලා ටොමීත් එක්ක තරහයි. ටොමීටත් ඒ මිනිහව පෙන්නන්න බෑ. ටොමී එතනදී හැසිරිලා තියෙන්නේ තමන්ගේ වත්තට පිටින් කෙනෙක් ඇවිත් පදිංචි වුණා වගේ. ඒත් ටොමීව දැක්කම මුරකාරයා ටොමීට ගහල එලවනවා. දවසක් ටොමී මුරකාරයව හපලා.

ඉතින්
එදා ඉඳලා මුරකාරයට ඕන වුණේ ටොමීව මරන්න. මේක ආරංචි වුණාම මටයි අම්මටයි නංගීටයි හරිම දුකයි. ඇත්තටම තාත්තත් කැමති වුණේ නෑ අපට මෙච්චර ආදරේ කරන අහිංසක අසරණ ටොමීට මේ වගේ ඉරණමක් අත්කර දෙන්න.

මොකක්ද කළේ ? ටොමීව ඔයාලගෙ ගෙදරට ගත්තෙ නැද්ද ?
ඒකට මායි නංගියි අම්මයි තුන් දෙනාම කැමැත්තෙන් හිටියා. දවසක් අපි තාත්තට කිව්වා ටොමීව ගේමු කියලා.

ඉතින් ?
තාත්තා මට එක පාරයි රැව්වෙ. ඊට පස්සෙ අපි හ්ම් කියන්නෙ නෑ. මොකද අපේ තාත්තට හරියට තරහ යනවා. තරහ ගියාම ‍ලේසි නෑ.

ඉතින් ටොමීට මොකද කළේ ?
ඒ කාලේ අනුරාධපුරේ රුවන්වැලි සෑය ළඟ තිබුණා දොළොස් මහේ දන්සල කියල එකක්. ඒ අවට හරියට බල්ලො ඉන්නවා. දවස ගාණෙම කෑම තියනවනේ කියල අන්තිමට ටොමීව එතනට ගිහින් දාන්න තීරණය කළා. අපට හරිම දුකයි. ඒත් ටොමී දුක් විඳින්නෙ නැතුව එහෙම කාල බීල හරි ඉඳීනේ කියල හිත හදා ගත්තා. දවසක් වාහනේකින් ටොමීව අරන් ගිහින් තාත්තා රුවන්වැලි සෑය ළඟ කාර් පාක් එකේ එයාව තනි කරලා ආවා.

අනේ පව්
කියල වැඩක් නෑ. ඊට ටික කලකට පස්සෙ තමයිආරංචි වුණේ වත්තෙ මුරකාරයාපල් හොරෙක් කියලා. ඒ මිනිහා වත්තෙ තියන ‍පොල්විතරක් නෙමේ හැමදේම හොරෙන් විකුනණවලු. ඒ මදිවට ඒව ගෙනියන්න එක එක මිනිස්සුත් වත්තට එනවලු. ඒත් ටොමී ඒ මිනිස්සුන්ට එන්න දෙන්නෙ නැතිලු. ඒනිසා තමයි ටොමීව මරල දාන්න වුවමනා වෙලා තිබුණෙ. ටොමී ඒ මනුස්සයාව හපපු කතාව අමූලික බොරුවක්. ටොමීට වරද පටවන්න ඒ මනුස්සයාම තමයි කකුල ටිකක් තුවාල කරගෙන තිබුණේ. කිසිම මුරකාරයෙක් නැතුව ටොමී විතරක් තනියම ඉන්න කාලෙදී වත්ත හොඳට ආරක්ෂා වුණා කියල තාත්තා හරියට දුක් වුණා. ටොමී ගැන කිය කියා තාත්තාකිව්වේ වත්තට එන හොරුන්ව හඳුනාගන්න ටොමීට පුදුම ඉවක් තිබුණ කියලා. අන්තිමට තාත්තා තීරණය කළා අනුරාධපුරේට ගිහින් ටොමීව හොයාගෙන එන්න.

ඊට පස්සෙ ?
තාත්තා තවත් එක්කෙනෙක් එක්ක අනුරාධපුරේ ගියා. ඒත් එහෙදී තාත්තට එක පාරමමොළේ නහරයක් පුපුරලා අමාරු වෙලා ඒ ගමන්ම තාත්තව අනුරාධපුර හොස්පිට්ල් එකට ඇතුළත් කරලා. අපි තාත්තාව බලන්න අනුරාධපුරේ හොස්පිට්ල් එකට ගියත් අපට ටොමීව හොයා ගන්න යන්න තරම් කල්පනාවක් තිබුණෙ නෑ. කොහොම හරි ඊට පස්සෙ යන්තම් සනීපවෙලා ගෙදර එක්ක ආවත් තාත්තට අංශබාගෙ. එක පැත්තක් පණ නෑ කතා කරන්නෙත් කටපැත්තකින්. හරියට වචන තේරුණෙත් නෑ මුලදි අපිට.කොහොම හරි තාත්තට අසනීපවෙලා මාසෙකට විතර පස්සෙ තාත්තා අමාරුවෙන් වචන පිට කර කර කියපු කතාව මට නම්තාමත් උහුලන්න බෑ.

ඒ මොකක්ද කිව්වෙ ?
තාත්තා රුවන්වැලි සෑය ළඟට ගිහින් හෝදිසි කර කර ඉන්නකොට අනේ ටොමී කොහේදෝ ඉඳලා වලිගෙ වන වනා තාත්තා ළඟට ඇවිත් තාත්තාගේ කකුල් ලෙව කෑවලු. හැබැයි ඒ වෙනකොට ටොමී දිරලා ගිහින් අඳුනන්න බැරි තරම් විරූපී වෙලාලු. නමුත් තමන්ට කරපු අපරාදෙ ගැන කිසිමතැකීමක් නැතුව ටොමී ඇවිත් තාත්තාගෙ කකුල් ලෙවකනකොට තාත්තට දරා ගන්න බැරිදුකක් ඇවිත්. ඒ නිසා තමයි නහරයක් පුපුරල තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින් තාත්තට ටොමී ගැන කල්පනාවක් නෑනේ. තාත්තා එක්ක ගිය මනුස්සයා තාත්තාව හොස්පිට්ල් එකට අරන් ගිහින් අපට පණිවුඩේ කිව්වා.

දැන් ටොමී කෝ ?
එයාව අපි හොයනවා. දැන් අනුරාධපුරේ දොළොස්මහේ දන්සලක් නෑනේ. ටොමී කොහෙද දන්නෙ නෑ. කවදා හරි හම්බ වුණොත් එයාව අපි ආපහු අරන් එනවා.

එයා මොන පාට සතෙක්ද ?
දුඹුරුයි සුදුයි. ඇත්තටම මේ සංසාරේ පුරාවට ඕනෑම මනුස්සයෙකුට හමු වෙන්න ඕනෙඔය වගේ කල්‍යාණ මිත්‍රයො. ඇත්තටම ගොඩක් මනුස්සයින්ගෙ නැති හොඳ ගතිගුණ මේ සතුන්ගේ තියනව කියලා මට හිතෙනවා. බල්ලන්වයි සමහර මිනිස්සුන්වයි හඳුන්වන ඒනම් දෙක මහා බ්‍රහ්මයාට වැරදීමකින් මාරු වෙලා කියලා මට හිතනවා මේ සමාජය දිහා බලන කොට.

ඉන්දු පෙරේරා (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රුවන්වැලි සෑ බිමෙන් මතුවන හද කකියවන කතාවක්"

    Post a Comment