12 May, 2017

මියගොස් ඇතැයි සිතූ හෝකන්දර යුවළගේ නිවස පරීක්ෂා කරද්දී බිරිඳ පණපිටින් - අභිරහස් ලෙස මියගිය සැමියා හිටපු පොලිස් අධිකාරිවරයෙක් (Photos)

Hokandara couple

හෝකන්දර ප්‍රදේශයේ නිවසක්‌ තුළ යුවළක්‌ මියගොස්‌ ඇති බවට ලද පණිවුඩයකට අනුව අතුරුගිරිය පොලිසිය තලංගම දකුණ හදිසි මරණ පරීක්‌ෂකවරිය සමඟ එහි ගොස්‌ එම නිවසේ දොර කඩා පරීක්‌ෂා කිරීමේදී දින කිහිපයකට ඉහතදී මියගොස්‌ ඇතැයි සැක සිතූ කාන්තාවගේ හුස්‌ම වැටෙනු දැක වහාම රෝහල්ගත කිරීමෙන් ඇයගේ ජීවිතය බේරාගැනීමට හැකිවී තිබේ.

හෝකන්දර දකුණ හෝකන්දර රත්නාරාම පාරේ 05 වැනි පටුමඟේ අංක 378 - 8/එච් නිවසේ පදිංචිව සිටි මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා සහ බිරිඳ නිවස තුළ මියගොස්‌ ඇතැයි අතුරුගිරිය පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක්‌ ඔස්‌සේ විමර්ශනය කිරීමේදී මෙම සිද්ධිය හෙළි වී ඇත.

අදාළ නිවසින් දින දෙක තුනක්‌ම කිසිම හෝඩුවාවක්‌ නොමැති තැන අසල්වාසීන් විසින් ඔවුන්ගේ දුරකථනයට ඇමතුම් ලබාදී තිබේ. එහෙත් ප්‍රතිචාරයක්‌ නොමැති නිසා නිවසේ තාප්පයෙන් පැන සොයා බැලීමේදී නිවස තුළින් අධික දුර්ගන්ධයක්‌ වහනය වී ඇත. එහි කාමරයකට එබී බැලීමේදී නිවසේ ගෘහණිය බිම වැටී සිටිනු දුටු අසල්වැසියෝ එම යුවළම මියගොස්‌ ඇතැයි සිතා පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයට දන්වා ඇත.

මියගිය යුවළගේ මරණ පරීක්‌ෂණ පැවැත්වීමට සිද්ධිය වූ නිවසට පැමිණි පොලිසිය තලංගම දකුණ හදිසි මරණ පරීක්‌ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය සහ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනී සමන්තිකා මහත්මියත් සමඟ නුගේගොඩ අපරාධ කොට්‌ඨාස ස්‌ථාන පරීක්‌ෂණ පොලිස්‌ නිලධාරීන් නිවසේ දොර කඩා ඇතුළු වී පරීක්‌ෂා කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ මියගිය බවට සැක සිතූ කාන්තාවගේ හුස්‌ම වැටෙනු දැක වහාම සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති හෙයින් ඇයගේ ජීවිතය බේරාගැනීමට හැකි විය.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සුසන්ත ද සිල්වා (68) මහතා මෙහිදී මියගොස්‌ සිටි අතර ඔහුගේ සිරුර බිම වැටී හිස පෙදෙස ඇඳ යට ද සිරුරේ සෙසු ප්‍රදේශය එළියට ද නිරාවරණය වී තිබිණි. මියගිය පොලිස්‌ අධිකාරිවරයා සහ විශ්‍රාමික පාසල් ගුරුවරියක වූ ඔහුගේ බිරිඳ විඡේසිරි ශිරාණි නෙරංජලා (70) මහත්මිය වසර 13 කට පෙර එම නිවස මිලදී ගෙන පැමිණ ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා පොලිස්‌ සේවයෙන් විශ්‍රාම ගොස්‌ වසර 8 ක්‌ පමණ වේ. අසල්වැසියන් සමඟ අත්‍යවශ්‍යම හේතුවකට පමණක්‌ ආශ්‍රය කළ මෙම යුවළ සුඛෝපභෝගී නිදහස්‌ ජීවිතයක්‌ ගතකර ඇත. මියගිය හිටපු පොලිස්‌ නිලධාරියා අංශභාග රෝගයෙන් පෙළුනු අතර ඔහුගේ ආවතේව කටයුතු සඳහා අසල්වැසියන් නොපසුබටව උපකාර කළ බව ද පැවසේ.

මරණය සිදුවූ දිනයක්‌ නිශ්චිතවම විමර්ශනය නොවූ අතර කාන්තාව විසින් කිසියම් පිරිසිදු කිරීමේ කටයුත්තක්‌ කරද්දී මෙවැනි අනතුරක්‌ සිදුවී ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පැවැත්වේ. මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා ජාතික රෝහලට යොමු කිරීමට නියෝග කළ හදිසි මරණ පරීක්‌ෂිකා ප්‍රේමලතා අබේවර්න මහත්මිය එහි වාර්තාවක්‌ තමන් වෙත වහාම ලබාදෙන ලෙස පොලිසියට නියෝග කළාය.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාන්තාව ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මියගොස් ඇතැයි සිතූ හෝකන්දර යුවළගේ නිවස පරීක්ෂා කරද්දී බිරිඳ පණපිටින් - අභිරහස් ලෙස මියගිය සැමියා හිටපු පොලිස් අධිකාරිවරයෙක් (Photos)"

    Post a Comment