18 May, 2017

'දෙවෙනි ඉනිම' ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආසාවෙන් බලන නාට්‍යයක් වෙලා

Deveni Inama

මේ දවස්වල කතාබහට ලක්වෙන දෙවෙනි ඉනිමේ ඔබේ අධ්‍යක්ෂණ කාරිය ගැන මුලින්ම කතා කරමු..?

දෙරණත් එක්ක එකතු වෙලා කළ අත්හදා බැලීමක් විදියට තමයි දෙවෙනි ඉනිම නිර්මාණය වෙන්නේ. ඉන්දියානු නාට්‍ය ලංකාවට ඇවිත් අර්බුදකාරී පසුබිමක් තියෙන වෙලාවක මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් විදියේ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න අපිට ඕන වුණා. අපි කරපු "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත්තත් එයින් ලොකු පිපිරීමක් ඇති කරන්න බැරිවුණා. දෙරණේ සභාපති ලක්සිරි වික්‍රමගේ, ඒ වගේම චරිත් කොතලාවල, පිටපත ලියන සමන් එදිරිමුණි, මම සහ නිෂ්පාදන කටයුතු කරන මගේ බිරිය එකතු වෙලා කරන්න ඕන දේ සාකච්ඡා කරලා මිනිසුන්ගේ හදවත වැලඳගන්න කරපු නිර්මාණය තමයි දෙවෙනි ඉනිම කියන්නේ.

ඒ බලාපොරොත්තු වුණු තැනට නාට්‍ය ගෙනත් තියෙනවා කියලා හිතනවද..?

ඔව්. මේ වෙනකොට රේටින්වල දෙවෙනි ඉනිම දෙවැනි තැනට ඇවිත් තියෙනවා. ඊටත් වඩා මේ ටෙලි නාට්‍ය ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා. කිසිම ටෙලි නාට්‍යයකට මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැතිව ඇති. ගොඩක් අය ඇබ්බැහි වෙලා මේ ටෙලි නාට්‍ය බලන්න. සිංහල ටෙලි නාට්‍ය නොබලපු නවීන සමාජයේ ළමයිනුත් දැන් මේ ටෙලි නාට්‍ය බලනවා. අපි ඔවුන්ගේ ජීවිතය තමයි ටෙලි නාට්‍යයට දාලා තියෙන්නේ. ඒ වගේම සමාජයේ විද්වත් පිරිසත් මේ නාට්‍ය නරඹනවා.

සමාජ මාධ්‍යවලිනුත් දෙවෙනි ඉනිමට ලොකු ප්‍රචාරයක් ලැබෙන්න අරගෙන. ඒ ගැන සතුටු ඇති..?

ඇත්තටම ටෙලි නාට්‍ය දෙබස්, නාට්‍යයේ නළු නිළියන්ගේ තොරතුරු ගැන පවා සමාජ මාධ්‍යවලින් කතා කරන්න අරගෙන. ඔවුන් ඒ විදියට එය වෙනම රස විඳිනවා. ඒක හොඳ දෙයක්. සිංහල ටෙලි නාට්‍ය කලාව නැතිවෙලා යන යුගයක මේ වගේ නිර්මාණයක් කරන්න ඉඩ සැලසුවාට දෙරණේ සභාපතිතුමා ඇතුළු පිරිසට මම ස්තූති කරනවා. ඒ වගේම දෙවෙනි ඉනිම, ප්‍රේක්ෂකයන් මේ විදියට පිළිගත්ත එක ගැනත් සතුටුයි.

විදේශ ටෙලි නාට්‍ය පරදලා ප්‍රේක්ෂකයන් ඇද බැඳ ගන්න ටෙලි නිර්මාණයක් කරන එක ලේසි නැහැ. ඒ නිසා නිර්මාණකරණය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්නත් ඇති..?

ඇත්තටම අපේ ටාගට් එක වුණේ ප්‍රේක්ෂකයන් වැලඳ ගන්න ටෙලි නාට්‍යයක් කරන්න. තාක්ෂණික පැත්තේ ඉඳන් හැම දෙයක් ගැනම අපි සැලකිලිමත් වුණා. ඒ වෙනුවෙන්ම සෙට්ස් හදලා ෆිල්ම් ලයිට් පාවිච්චි කරලා ගොඩාක් දේවල් හිතලා මේ නාට්‍ය කරන්නේ. අපි නිවැරැදිම ක්‍රමයට තමයි ටෙලි නාට්‍ය නිර්මාණය කරන්නේ.

රංගනයේ පරිණත පුද්ගලයන් වගේම නවකයන්ගෙනුත් නිර්මාණයට සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් කියන විශ්වාසය තිබ්බද..?

ධර්මප්‍රිය, පාලිත, බිමල්, හිමාලි වගේම කේෂාන්, රවීන්, නයනතාරා, ශනුද්‍රි වගේ පරම්පරා දෙකක් නියෝජනය වන ශිල්පීන් මේ නාට්‍යයට සම්බන්ධ කරගෙන තියෙනවා. අපිට ඕන වුණේ නැහැ නිතරම ටෙලි නාට්‍යවල දකින නළු නිළියන්වම පාවිච්චි කරන්න. මම අලුත් ශිල්පීන්ගෙ හැකියාවත් දැනගෙන හිටියා. ඔවුන්ගේ හැකියාව මම සියුම් විදියට පාවිච්චි කළා. ඒ අයගේම තාරුණයයේ ජීවිතය තමයි කතාව ඇතුළේ තියෙන්නේ. රංගන ශිල්පීන්ව, ශිල්පිනියන්ව ඒ ඒ චරිතවලට බස්සලා රඟපාන්න මම නිදහස දුන්නා. මෙතැනදි සමන්ගේ රචනයත් ඉතා වැදගත්. ඔහු හොඳ රචකයෙක්. ඔහු ඇත්තටම අපේ ජීවිතය ලියන්නේ. ටෙලි නාට්‍ය සාර්ථකත්වය පිටුපස්සේ මේ කාරණා සියල්ල තියෙනවා.

ටෙලි නාට්‍ය මේ තරම් ජනප්‍රිය වෙද්දී අන්තිම අපේක්ෂාව සම්මානයක්ද...?

එහෙම සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙන නැහැ. ඉන්දියාව වගේ රටක අපි ඉපදුණා නම් අපිට ඒ ගැන හිතන්න තිබ්බා. නමුත් ලංකාවේ සම්මාන ලැබෙන්නේ දුවන්නේ නැති, මිනිස්සු බලන්නේ නැති නිර්මාණවලට. සම්මාන නැතත් මේ වගේ හොඳ නිර්මාණ කරලා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන තවත් හොඳ නිර්මාණ කරලා ක්ෂේත්‍රයේ දියුණුවක් ඇතිවීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

විදේශ ටෙලි නාට්‍යවලින් ප්‍රේක්ෂකයෝ මුදවලා සිංහල ටෙලි නාට්‍ය නරඹන තැනට පෙලඹවීමක් ඇති කරපු දෙවෙනි ඉනිමේ උත්සාහය තවදුරටත් සාර්ථක වෙයි කියලා හිතනවාද..?

මම මගේ ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයෙනුත් වෙනසක් කළා. දෙවෙනි ඉනිමෙන් අපි විද්වත් සහ අලුත් ප්‍රේක්ෂක පිරිසක් නාට්‍ය බලන්න එකතු කරගත්තා. සමහරු සිංහල නාට්‍යවලට හිනාවුණු කාලයක් තිබුණා. අපි හොඳ හැරවුම් ලක්ෂ්‍යයක් තියෙන නිර්මාණයක් කළා. තරුණ අධ්‍යක්ෂවරු මේ වගේ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න තව හැරවුම් ලක්ෂ්‍යයන් නිර්මාණය කරන්න ඕන. අපි හැමෝම පොදු අරමුණකට ගියොත් අපිට සිංහල නාට්‍ය කලාව රැකගන්න බැරි නැහැ.

සාරංග ටෙලි නාට්‍ය ඇතුළේ හොයන්නේ කලාවද සල්ලිද..?

ටෙලි නාට්‍ය ඇතුළේ කලාව පෙන්නලා තමයි සල්ලි හොයන්න ඕන. ටෙලි නාට්‍ය කලාව ඇතුළේ මුලින්ම ලෝකයේ හොඳම දේ කරන්න ගිහින් වැඩක් නෑ. මුලින්ම මිනිසුන්ව ආකර්ෂණය කරගන්න ඕන. ඒ නිර්මාණවලින් සල්ලි හොයලා කඩුල්ල වගේ හොඳ නිර්මාණ ඊට පස්සේ කරන්න පුළුවන්. සමහරු හිතන්නේ ගැඹුරු දෙයින් තමයි මිනිස්සු ප්‍රඥාවට ගෙනියන්න පුළුවන් කියලා. නමුත් සරල දෙයින් වුණත් එය කරන්න පුළුවන්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ  (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'දෙවෙනි ඉනිම' ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආසාවෙන් බලන නාට්‍යයක් වෙලා"

    Post a Comment