14 May, 2017

ගුවන් සේවිකාවට පෙම්බැදී කපුගේ ආදර අන්දරය

Chamara Kapugedara - Wife

ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු ගැන හැමෝගෙම අවධානය යොමු වෙද්දී ඔවුන්ගේ පිටුපස හිදිමින් ජීවිතයට ආලෝකයක්, ශක්තියක් එක්කරන ඔවුන්ගේ ආදරණීය බිරින්දෑවරු ගැන කතා කරන්නේ නැති තරම්. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් ඉඩක් වෙන් කළා. ඒ ආදරණීය සබඳතාවන් ගොඩනැගුණ අයුරුත් ජීවිතේ සොඳුරු මතකයන් අවදි කරන්නටත් තරුවකට බැඳිපෙම තුළින් අද එක් වන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදරගේ ආදරණීය බිරිඳ ටමාරා කපුගෙදර යි

චාමරව දැක්ක පළවෙනි දවස මතකද?

යාළුවෙක් එක්ක ඩිනර් එකකට එළියට ගිය දවසක මගේ යාළුවගේ බෝයි ෆ්රෙන්ඩ් එක්ක ඇවිල්ලා හිටියා.

එදා මොකද වුණේ?
යාළුවගේ බෝයිෆ්රෙන්ඩ් එයාගේ යාළුවෙක් විදියට මට හඳුන්වලා දුන්නා. එදා වැඩිය කතා කළේ නැහැ. ඒත් යාළුවගෙන් මගේ නම්බර් එක ඉල්ලලා තිබුණා. මම කිව්වා දෙන්න එපා කියලා. පස්සේ එයා මාව එයාගේ වාහනේ ගෙදරට ගිහින් දාන්නම් කිව්වා. ඒත් මම බැහැ කියලා මගේ යාළුවගේ වාහනේම ගෙදර ගියා.

ඩිනර් එකෙන් පස්සේ කොහොමද ආපහු දෙන්නට කතා කරන්න අවස්ථාවක් ලැඛෙන්නේ?
සතියකට විතර පස්සේ මගේ යාළුවගේ බෝයි ෆ්රෙන්ඩ් ආයේ කතාකරලා මගෙන් ඇහුවා චාමර ඔයාගේ නම්බර් එක ඉල්ලනවා කතා කරන්න කියලා දෙන්නද කියලා. මං හා කිව්වා. පස්සේ එයා මට කෝල් කළා. ඒත් යාළුවෝ වගේ තමයි කතා කළේ. ඒත් මං ඇහුවේ නෑ එයා මොනවද කරන්නේ කියලා. දවසක් කතා කරන ගමන් කිව්වා බංග්ලාදේශ් යනවා කියලා. මං හිතුවා වැඩ කරන තැනින් ටුවර් එකක් යනවා ඇති කියලා. මං හා කිව්වා. ඒ දවස්වල මම ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ වැඩ කළේ.

ඒ කියන්නේ චාමර ක්‍රිකටර් කෙනෙක් කියලා ටමාරා දැනගෙන හිටියේ නැද්ද?
එයා සීි.සීි.සී.එකට සෙල්ලම් කරනවා කියලා දැනගෙන හිටියා. මං ක්‍රිකට් මැච් බලන්නේ නැති නිසා දන්නේ නැහැ. ටුවර් එකේදී ලාහෝර්වලදී මේගොල්ල ගිය බස් එකට වෙඩි තියපු සිද්ධිය දවසේ මම ලන්ඩන්වලට යන ගමන් හිටියේ. එදා මගේ යාළුවගේ බෝයි කතා කරලා ඇහුවා ඔයා චාමරට කෝල් කළාද මේ වගේ දෙයක් වෙලාද කියලා. ඉතින් මම කිව්වා ක්‍රිකට් ටීම් එක ගිය බස් එකටනේ වෙඩි තියලා තියෙන්නේ මම මොකටද චාමරට කෝල් කරන්නේ කියලා. ඒ වෙලාවෙදී තමයි යාළුවා කිව්වේ ඔයා මේ තරම් කතා කරලත් දන්නෙ නැද්ද චාමර නැෂනල් ටීම් එකේ ප්ලේයර් කෙනෙක් කියලා. චාමර ක්‍රිකටර් කෙනෙක් කියලා මම දැනගත්තේ එදා. පස්සේ මං කෝල් කරලා බැලූවම එයා කිව්වා එයාට අනතුරක් නෑ. අනික් අයට උදව් කරන ගමන් ඉන්නේ පස්සේ කෝල් කරන්නම් කියලා. හැබැයි ඊට පස්සේ මටත් අමතක වුණා කෝල් කරන්න එයා කතා කළෙත් නෑ.

යාළුකම ප්‍රේමයකට පෙරළුණේ කොහොමද?
හ්ම්……. ඒ සිද්ධිය වෙලා සති දෙකකට පස්සේ ලංකාවට ඇවිත් එයා මට කෝල් කරලා ඇහුවා මීට් වෙන්න පුළුවන්ද කියලා. මම හා කියලා වෙනදා වගේම මගේ යාළුවා එක්ක ගිහින් කොෆි ෂොෆ් එකකදී තමයි හම්බ වුණේ. එදා නම් ගොඩක් කතා කළා. පස්සේ අපි හතර දෙනා ෆිල්ම් එකක් බලන්නත් ගියා. හැබැයි එයා එදත් ඇහුවේ නෑ මං එයාට කැමතිද කියලා. පස්සේ දවසක ආයේ හම්බවුණාම එයා මාව ගෙදර ඇරලවන්න ආවා. එදා තමයි ඇහුවේ එයාට කැමැතිද කියලා. මං එකපාරටම කැමතියි කිව්වේ නෑ. ආශ්‍රය කරලා බලමු කියලා විතරයි කිව්වේ. අපි දෙන්නම බිසී නිසා හම්බවෙන්න අවස්ථාවක් නෑ වැඩිය. ෆෝන් කරා විතරයි. එහෙම තමයි ආදරේට පෙරළුණේ. පස්සේ අපේ ගෙවල් දෙකටම මේක කියන්න ඕනි කියලා අපි තීරණය කළා.

ටමාරගේ මේ තේරීම ගැන ගෙදර අයගේ ප්රතිචාර මොන වගේ වුණාද?
මං අම්මටයි තාත්තටයි කිව්වා. මෙහෙම කෙනෙක් මට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඔයාලව හම්බවෙන්න දිනයක් අහනවා ගෙදර එන්න කියලා. මගේ තාත්තා ක්‍රිකට් ගැන දන්නවා. ඉතින් එයා මැචස් බලන නිසා මං කිව්වාම චාමරව දන්නවා. තාත්තා කිව්වා අපි කැමති නෑ. ඒ නිසා එයාට එන්න එපා කියන්න කියලා.

ඊට පස්සේ ගෙදරින් කැමැත්ත ගන්න ටමාරා මොකද කළේ?
මුකුත් කරන්න වුණේ නෑ. තාත්තා තදින්ම විරුද්ධ වුණා ක්‍රිකටර් කෙනෙක් බඳිනවට. මං ඒ ගැන චාමරට කිව්වා. පස්සේ මං ගෙදර අය එක්ක ඒ ගැන කතා කරන්න ගියේ නෑ.ඒත් චාමර මට ෆෝන් කළා. දවසක් අම්මටයි, තාත්තටයි මටයි වෙඩින් එකකට යන්න වුණා සිනමන් ග්රෑන්ඩ් එකේ. ඇතුළට යන්න පොඩි වෙලාවක් තිබුණ නිසා ඒකේ කොෆි ෂොෆ් එකේ ඉද්දී මට චාමරගෙන් කෝල් එකක් ආවා. එයා ඇහුවා මං ඉන්නේ කොහෙද කියලා. ඒ වෙලාවෙදී එයා ටෙස් මැච් එකක් ඉවර වෙලා ඉඳලා තියෙන්නේ ටාජ් සමුද්ර හොටෙල් එකේ. එයා කිව්වා අම්මා, තාත්තාත් ඉන්නවා නේද? ඔයා ඔහොම ඉන්න. මට එන්න එපා කිව්වේ ගෙදරනේ මං ඔතනට එන්නම් කියලා. ඉතින් ඒ වෙලාවේ එයා ආවා. තාත්තාට කතා කළාම වාඩිවෙන්න කියලා, තාත්තා කතා කළා. මාව මැරි කරන්න කැමැතියි කියලා කිව්වා. පස්සේ කොහොම හරි තාත්තා කැමැති වුණා. එදා එයා ඇවිල්ලා එහෙම කතා කරපු එකට තාත්තා ගොඩක් කැමති වෙලා තිබුණා.

කොයිතරම් කාලයක් පෙම්වතුන් වෙලා හිටියද?
වැඩි කාලයක් හිටියේ නෑ. මාස පහක් හයක් යද්දී ගෙවල් දෙකෙන්ම ආශිර්වාදය ලැබිලා තිබුණා.අවුරුදු එකහමාරක් වගේ කාලයක් ඇතුළත අපි වෙඩින් එක ගන්න ලෑස්ති කළා. 2010 දෙසැම්බර් 16 තමයි මැරි කළේ.දෙන්නම කාර්ය බහුල නිසා මීට් වෙන්නවත් අපිට කාලයක් වුණේ නෑ. හම්බවෙන හැම තප්පරයක්ම ලොකු වටිනාකමක් තිබුණා. ගෙවල්වලින් කැමැත්ත තිබුණ නිසා. දෙන්නා තැන් දෙකක ඉන්න ඕනි නෑ කියලා චාමර වෙඩින් එක ඉක්මන් කළා.

පෙම්වතුන් වෙලාහිටිය කාලේ චාමරගෙන් ලැබුණු පළවෙනි ගිෆ්ට් එක ගැන මතකයක් තියෙනවද?
දවසක් මං චාමර එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉද්දී අපේ අක්කාගේ බබා නිසා පොන්ඩ් එකට ෆෝන් එක වැටුණා. එයා ලංකාවේ හිටියේ නැති නිසා කතා කරගන්න බැරිවුණා. ඉතින් එයා ලංකාවට එද්දී මට ෆෝන් එකක් ගෙනල්ලා දුන්නා.

බඳින්න කලින් හිටිය චාමර අදත් ඉන්නවා කියලා හිතනවද?
ඇත්තටම මං එදා ගත්ත තීරණය හරි කියලා මං හිතනවා. එයා නිසා හරි සතුටින් ඉන්නේ. එදාට වඩා අද ආදරෙයි කියලා දැනෙනවා. අපි දෙන්නා හොඳම යාළුවෝ වගේ. එයා ගොඩක් බිසී ඒත් ඉඩ ලැඛෙන හැම වෙලාවෙම අපි වෙනුවෙන් තමයි වැය කරන්නේ. හොඳ තාත්තා කෙනෙක්, හස්බන්ඩ් කෙනෙක්. මට කේන්ති ගියත් එයාට නම් කේන්ති යන්නේ නෑ. දැන් මැරි කරලා අවුරුදු හතක් වෙනවා තුන්සැරයක් විතර තමයි එයා මාත් එක්ක පොඩි පොඩි රංඩු ඇති කරන් තියෙන්නේ. ඒවත් පොඩි වෙලාවයි. එයා හරි නිවුණු චරිතයක්. මං හරි සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා එයා ගැන.

ඉදිරි බලාපොරොත්තු මොනවද?
රැකියාවෙනුත් අයින් වෙලා මගේ පවුල වෙනුවෙන් තමයි මගේ කාලය කැප කරන්නේ. අපි දෙන්නගෙම ලෝකේ තමයි පුතාලා තුන්දෙනා. අක්ෂාන්, ජෙනිත්, යවින්ත්. අපි හරි ආදරය විදියට ජීවිතේ ගෙවනවා. පවුල දැන් සම්පූර්ණයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගුවන් සේවිකාවට පෙම්බැදී කපුගේ ආදර අන්දරය"

    Post a Comment