22 May, 2017

ඒ වගේ නෑනා කෙනෙක් හිටිය නම් කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා - රවීන්

Raween Kanishka-02

මේ දවස්වල රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් අතර දැඩිව කතාබහට ලක්වුණු චරිතයක් තමයි ”අනුහස්” කියන්නෙ. සතියේ දවස් පහේම දෙරණ නාළිකාවේ රාත‍්‍රී 8.25 විකාශය වන ”දෙවැනි ඉනිම” ටෙලිනාට්‍ය ඔස්සේ ඔබේ ආලින්දයට ගොඩවන ඔහු අහිංසක පෙම්වතෙක්, කීකරු දරුවෙක් සහ ආදරණීය පුද්ගලයෙක් විදියට කොයි කා අතරත් ප‍්‍රශංසාවට ලක්වී තිබෙනවා.ඒ ආදරණීය චරිතයට පණපොවන අපූරු පුද්ගලයා තමයි රවීන් කනිෂ්ක. ගායකයෙක් ලෙස කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණු ඔහු පසු කලෙකදී ඒ ඔස්සේ නිවේදනයටද රංගනයටද එකතුවෙන්නෙ ඔහුගේ දක්ෂතාවයන් තවතවත් පිළිබිඹු කරමින්. ඒ ආදරණීය චරිතයට ආදරය කරන ඔබ වෙනුවෙන්ම මෙවර රවීන් කනිෂ්ක ගැන කතා කරන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවක සටහනක්.

ඇයි මේ තරම් අහිංසක?

අනුහස්නෙ... රවින් නෙමෙයිනෙ නේද?

ඔව්. ඔව්. අනුහස් තමයි

ඒ ඉතින් කතාවෙ එන හැටියට අහිංසකකම කියන එක අනුහස්ට උරුම දෙයක්. මම ඒක කතාවෙ චරිතය පුරාවට අරන් යනවා.

අනුහස් වගේ රවීන් අහිංසක නැද්ද?

රවීන්ටත් අනුහස්ගෙ සමානකම් 75% වගේ පිහිටලා තියෙනවා.

ඒ චරිතෙ රවීන්ට කොහොමද දැනුණෙ?

ඇත්තටම මට සමහර තැන්වල රඟපාන්න දෙයක් නෑ. මොකද මගෙ චරිතයට ගොඩක් සමීපයි. මගෙ ජීවිත කතාවෙ සමහර අවස්ථාත් ඒ වගේමයි. ඒත් ඉතින් ටිකක් බරපතළ චරිතයක් අහිංසකකම ඇතුළෙ දඩබ්බරකමකුත් තියාගෙන තමයි රඟපාන්න තියෙන්නෙ. ටිකක් අමාරු වැඩක්.

අනුහස්ගෙ ආදරේ බලාපොරොත්තුවෙන් ගෑනු ළමයි ඉන්නවා වගේ රවීන්ගෙ ආදරේත් බලාපොරොත්තුවෙන් ඉන්න ඇය ඇති නේද?

ඒක මම හරියට දන්නෙ නෑ. ඉතින් මොකද මට කියලා නෑනෙ අනේ. එහෙම ඇති පුද්ගලයො විදියට මම දන්නෙ නෑ.

රවීන්ට සැබෑ ජීවිතේ නෑනලා නැද්ද?

ඉන්නව ඉන්නවා.

ඒ නෑනලාගෙන් රවීන්ට කරදරයක් නැද්ද?

නෑනෙ. තිබුණනම් නියමයි.

දෙව්මි නෑනාගෙන් නම් අනුහස්ට හරි කරදරයි නේද?

ඔව් අනේ. ඒත් ඒ වගේ නෑනා කෙනෙක් හිටිය නම් කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා.

ඒ නෑනාගෙ ආදරේ මොන වගේද?

ඒ ආදරේ මැද්දෙ තැනක තියෙන ආදරයක්. සහෝදරකමේ ආදරයකුත් නෙමෙයි. පෙම්වතියගෙ ආදරෙත් නෙමෙයි. ඒක දෙපැත්තෙ ඉඳන්ම විඳින්න පුළුවන් ආදරයක්.

ඒ වුණත් ඒ නෑනගෙ ආදරේ ප‍්‍රතික්ෂේප කිරීමක් වගේ නේද තියෙන්නෙ?

නෑනාගෙ ආදරේ ප‍්‍රතික්ෂේප වෙන්නෙ මේ කාරණා මත පොඩි කාලෙම තමන්ගෙ තාත්තා ඒ පුතාව දාලා ගියාට පස්සෙ අනුහස් හැදෙන්නෙත් ඔහුගෙ පවුල වෙන්නෙත් අම්මගෙ අයියගෙ පවුලෙ කට්ටිය, මාමාට තමයි තාත්තා කියන්නෙත්. එතැනදී මගෙ සහෝදර සහෝදරියො වෙන්නෙ මාමාගෙ දරුවො දෙන්නා. ඒ කියන්නෙ මගෙ නෑනයි. මස්සිනායි. එහෙම වුණාම නංගි ගැන ඒ වගේ හැඟීමක් ඇතිවෙන්න විදියක් නෑනෙ. එහෙම හැඟීමක් ගැන හිතනකොටත් පව් වගේ නෙ එහෙම වුණාම.

රවීන්ට සැබෑ ජීවිතේ එවැනි දේකට මුහුණදෙන්න වුණා නම්?

එහෙනම් ගොඩක් හොඳයි. ඒත් ඉතින් එහෙම අද්දැකීමක් නෑ. නමුත් මම ඒ අද්දැකීම මේ කතාව තුළින් විඳිනවා. ඇත්තටම මේ වගේ සිදුවීමක් වුණා නම් මේ හැඟීමම තමයි දැනෙන්නෙ.

රවීන්ට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ ගෑනු ළමයින් ගෙන්ද?

එහෙම විශේෂයක් නෑ. බාල, මහළු, තරුණ හැමෝගෙන්ම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

ඒවගේ ප‍්‍රතිචාර ලැබෙද්දි මොකද හිතෙන්නෙ?

මම කලින් ගායකයෙක් නෙ. ගායකයෙක් වෙලා ඉද්දි වගේ නෙමෙයි දැන්. ඊට වඩා වෙනස් ප‍්‍රතිචාර ලැබෙන්නෙ. ගායකයෙකුට වඩා රංගන ශිල්පියෙකුට තියෙන ආකර්ෂණය වෙනස්. ඒ වෙනස මම ගොඩක් අත්විඳිනවා මේ ටෙලිනාට්‍ය හරහා. අනුහස් චරිතයට ගොඩක් දෙනෙක් ආදරෙයි. ඒ ආදරේ අනුහස් හරහා මාත් විඳිනවා.

ඒ සතුට කොහොමද?

මම කවදාවත් කැමරාවක් ඉදිරියේ ජොලියටවත් රඟපාපු කෙනෙක් නෙමෙයි. රංගනය කියන දේ මම පොඩි කාලෙවත් කරලා නෑ. ඉතින් මම මේ ටෙලිනාට්‍ය හරහා අද්දැකීම් ගොඩක් ලබාගත්තා. ඒක ජීවිතේට ගොඩක් වටිනවා. ඒ වගේම පේ‍්‍රක්ෂකයින්ගෙ ආදරේත් මම මේ දවස්වල උපරිමයෙන් විඳිනවා.

ඒ ලැබෙන ප‍්‍රතිචාර එක්ක ජනතාවගේ නළුවා වෙන්න අදහසක් නැද්ද?

මෙහෙමයි. අපි කරන දේකට ඇගයීමක් ලැබෙනව නම් කවුද අකමැති. මමත් පෘතග්ජන මනුස්සයෙක් විදියට මම කරපු දේ හොඳයි නම්, චරිතය හරියට කළා නම් දැනෙන්න කළා නම් ඒ දේට මම සුදුසුනම් විතරක් ඇගයීමට පත්වෙනව නම් මම කැමතියි.

මේ ඔබේ පළමු රංගනය නෙ. මේ තරම් කතාබහකට ලක්වෙයි කියලා හිතුවද?

ඇත්තටම මගෙ හිතකවත් තිබුණෙ නෑ. මට හිතුණෙ මේ නිර්මාණයෙන් පස්සෙ මට කොච්චර බැණුම් අහන්න වෙයිද කියලා. මොකද හුරු නැති කෙනෙක් විදියට මේ දේවල් කරන්න යද්දි මිනිසුන්ගෙ දෝෂදර්ෂණයට ලක්වෙන්න වුණොත්. ඒ බය තමයි හිතේ තිබුණෙ.

රවීන් ක්ෂේත‍්‍රයට එන්නෙ ගායකයෙක් විදියට, එතැනින් පසුව නිවේදකයෙක් වුණා. දැන් රංගන ශිල්පියෙක් වෙලා ඒ විදියට කලා ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ ?

පුංචි නිහතමානි ආඩම්බරයක් වගේම සතුටක් තියෙනවා. මොකද එහෙම අවස්ථාවක් ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නෙ නෑ. මම පූරුවෙ කරපු පිනකට සහ අම්මා, තාත්තා උපතින් දුන්නු හැකියාවන් ටිකක් තියෙනවා. ඒවගෙන් ප‍්‍රයෝජන ගන්න මට අත හිත දෙන්න හොඳ හිත තියෙන මිනිස්සු ටිකක් හමුවුණා. ඒ මගේ වාසනාවට. ඒ හැමදේකම ප‍්‍රතිඵලය තමයි මම අද මේ භුක්ති විඳින්නෙ.

පොඩි කාලෙත් ඒ දක්ෂතා තිබුණාද?

ටික ටික තිබුණා. මම ඒ දක්ෂතා ඒ කාලෙ වැඩිය එළියට දැම්මෙ නෑ. ඒ වගේම මම ඒ කාලෙ හරි ලැජ්ජයි. එත් දැන්නම් ලැජ්ජාවක් නෑ.

ඒ කියන්නෙ ලැජ්ජා බය ගිහින්ද ?

නෑ නෑ. එහෙම නෙමෙයි, ඉස්සර මම මුළු ගැන්විලා හිටපු චරිතයක්. අද ඉන්න විදියෙ විරුද්ධ පදේ තමයි ඉස්සර.

එතකොට දැන් රවීන්ව රූපවාහිනියෙ දකිද්දි පුදුම හිතෙනවද මේ මමමද කියලා?

ඇත්තටම දැන් ඉන්නෙ ඉස්සර හිටපු රවීන් නෙමෙයි වෙන කෙනෙක්. හිතන පතන දෙයින්, කතාබහෙන්, හැසිරෙන විදියෙන් ඒ හැමදේකින්ම සියදහස් ගුණයකින් වෙනස් වෙලා. දැන් ඉන්න කෙනා ඉස්සර ඉඳන් හිටිය නම් කොච්චර හොඳද කියලා හිතෙනවා.

පෙම් ජවනිකා රඟපාද්දි එහෙම ලැජ්ජාවක් දැනෙන්නෙ නැද්ද ?

අපෝ ලැජ්ජයි. පට්ටම ලැජ්ජයි. ඉස්සර වගේ නෙමෙයි දැන් ත්‍දරඅ්රා කිව්වට ඒ වගේ ජවනිකා රඟපාද්දි ලැජ්ජාව තියෙනවා. ඒවගේ දේවල්වලට ලැජ්ජාව තිබුණත් ප‍්‍රශ්ණයක් නෑ. මොකද ලැජ්ජාව නැතිව ඒවා කරද්දිත් අවුල්නෙ.

ඒ වගේ ජවනිකා යද්දි ගෙදරදි අම්මලා එක්ක ටීවි බලද්දි ඒවා දකිනවනෙ එතකොට මොකද හිතෙන්නෙ?

අම්මෝ.... එතකොට ඊට වඩා ලැජ්ජයි. විලි ලැජ්ජයි අනේ. ඒත් ඉතින් ඒවා ඇක්ෂන්, කට් කියන සීමාව ඇතුළත කරන වැඩක් විතරනෙ.

අපිට දැනෙන විදියට නම් රවීන් පෙම් ජවනිකා රඟපාන්නෙ පේ‍්‍රමයේ අද්දැකීම් පරිපුර්ණ කෙනෙක් වගේ. සැබෑ ජීවිතේ ඒ අත්දැකීම් ලබලා තියෙනවාද ?

මෙහෙමයි. ආදරේ කියන්නෙ කොයි වගේද? මොනවගේ හැඟීමක්ද කියන දේ මම විඳලා තියෙනවා. ඒ අද්දැකීම් ප‍්‍රයෝජනයට අරගෙන රඟපාලාත් තියෙනවා.

ආදරේ පළමු අද්දැකීම වින්දෙ අවුරුදු කීයෙදි වගේද?

ඒක හරියට කියන්න අමාරුයි. මගේ ජීවිතේ වැඩි හරියක් මම කළේ අත්හදා බැලීම්. මම ආදරේ ගැන තනියම කරපු පර්යේෂණ තිබුණා. ඒවගෙන් දැනගත්තු දේවල් තමයි. ඒ ඇරෙන්න මට තවමත් ඒ ගැන දැනුමක්, පළපුරුද්දක් නෑ.

රවීන් දිගින් දිගටම රියලිටි වේදිකාවෙ හිටියනේ. ඒ ගැනත් කතා කරමු ?

මම පෙනී සිටින අවසාන රියැලිටි වැඩසටහන තමයි මේ. මෙතැනින් එහාට මම රියැලිටි වේදිකාවෙ දකින්න ලැබෙන්නෙ නෑ.

රියැලිටි අත්දැකීම කොහොමද ?

මාව චරිතයක් කළෙත් රියැලිටියක්, ඒ චරිතය ඉදිරියට ගන්න උදව් වුනොත් රියැලිටියක්. නමුත් එතැනින් එහාට මගෙ ජීවිතේ රියැලිටියකට භාරදෙන්න අවශ්‍ය නෑ. මම මගෙ ජීවිතේ එතැනින් එහාට මගෙ විදියකට සැලසුම් කරගෙන යනවා.

රවීන් ගායනය, නර්ථනය, රංගනය, ක‍්‍රිකට් ඒ හැම අංශයකින්ම දක්ෂතා පෙන්වපු කෙනෙක්නෙ? ඊට අමතරව කුස්සියෙ වැඩත් පුළුවන් කියන්නෙ ඇත්තද ?

කව්ද අප්පේ.... ඕවා කියන්නෙ....

ඇයි තේ හදන්න එහෙම ගෑනු ළමයින්ට කියලා දෙන්නෙ?

තේ එකක් හදන එකනම් මහදෙයක්ද අනේ. ඇත්තටම මට උයන්න පොඩි හැකියාවක් තියෙනවා. පොඩි කාලෙදි තනියම උයාගෙන කාපු අවස්ථාත් බොහොමයි. අදටත් මට කෑම එකක සුවඳින් කියන්න පුළුවන් ඒ කෑමට වැඩි මොනවාද? අඩු මොනවාද? කියලා හොඳ ආහාර ලෝලියක් විදියට.

මොනවද හොඳටම හදන්න පුළුවන්?

පරිප්පු, සම්බෝල, සැමන් තෙල්දාලා, පපඩම් බදින්න ඒවගේ පොඩි පොඩි දේවල් පුළුවන්.

ඇත්ත ජීවිතේ තේ හදන්න කියලා දෙන්න කෙනෙක් ඉන්නවාද?

ඇත්ත ජීවිතේ ඉතින් තේ හදන්න කියලා දිදී ඉන්න කෙනෙක් වැඩක් නෑනෙ. මොකද තේ එකක් වත් හදන්න පුළුවන් වෙන්න ඕනෑ නෙ ළඟින් ඉන්න. තවම නම් ඉතින් කව්රුත් නෑ. නිශ්චිත කෙනෙක් හමුවුණාම කියන්නම්කො.

මේ හැමදේටම අමතරව රවීන්ගෙ අපි නොදකින සැඟවුණු කුසලතා තියෙනවද?

අනේ නෑ. තිබුණු සැඟවුණු කුසලතා ඔක්කොම මේ වෙද්දි එළියට දාලා තියෙන්නෙ.

Raween Kanishka-01

ධනු විජේරත්න (saravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඒ වගේ නෑනා කෙනෙක් හිටිය නම් කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා - රවීන්"

    Post a Comment