31 May, 2017

රූ රැජනක් වෙන්න ඕෂධි ගිය ගමන

Oshadhi - 2017-05-30_22-30-21

මේ දවස්වල ඕෂධී ගොඩක් කාර්යබහුලයි වගේ?

ඔව්. මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි. ඒත් සතුටින් ඉන්නවා.

Mrs Top of the world තරගය නියෝජනය කරන්න යන්න නේද සූදානම?

ඔව්. මේ ඉන්ටව් එක යද්දි මම ලංකාවෙන් ගිහින්. ජීවිතේ පළමුවතාවට මේ වගේ තරගයකට සහභාගි වෙන්නෙ. මම අවුරුදු කුමාරි තරගයකටවත් සහභාගි වෙලා නැහැ. ඉතින් අත්දැකීම් නම් අඩුයි. ඒත් හරිම කැමැත්තෙන් මේ තරගයට සහභාගි වෙනවා.

අවුරුදු කුමාරි තරගයකටවත් සහභාගි නොවුණ ඔබට හිටි හැටියේ ජාත්‍යන්තර රූ රැජන තරගයකට යන්න හිතුණේ ඇයි?

ඇත්තටම මට මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදියට නම් අත්දැකීමක් නැහැ. අත්දැකීම් නැති වුණාට මෝස්තර නිරූපණ ශිල්පය හා රංගන ශිල්පය කියන්නෙ එක ළඟ යන ක්ෂේත්‍ර දෙකක්. ඉතින් මටත් ඕන වුණා මේ වගේ දේකට සම්බන්ධ වෙලා බලන්න.

අත්දැකීම් නැතිව මේ වගේ තරගයකට සහභාගි වෙන එක අභියෝගයක් නේද?

ඔව්. ඇත්තටම අභියෝගයක් තමයි. ඒත් මම සාමාන්‍යයෙන් අභියෝගවලට කැමැතියි. මම අභියෝගවලට පසුබට වෙන කෙනෙක් නෙමෙයි. උපරිමයෙන් මම ඒ අවස්ථාවට මුහුණ දෙනවා. රටවල් විසිතුනක පිරිසක් එක්ක තමයි මට තරග කරන්න තියෙන්නේ.

චකිතයක් දැනෙන්නෙම නැද්ද?

ගොඩක් අමාරු වෙයි මේ අවස්ථාවට මුහුණ දෙන්න. මොකද ලෝකයේම ඉන්න රූමතියන් එක්ක තමයි මට තරග කරන්න තියෙන්නෙ. ඉතින් ලොකු තරගයක් තියෙනවා.

මේ වගේ තරග අත්දැකීමක් ලබා ගන්න කල් ගත්තේ ඇයි?

මට ආරාධනා නම් ලැබිලා තියෙනවා. නමුත් මගේ මවුපියෝ මාව ඒවට යැව්වෙත් නැහැ. ඉතින් යන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. දැන් මම විවාහකයි. ඉතින් දැන් මට ඒ වගේ දේකට සම්බන්ධ වෙන්න පුළුවන්.

මේ වගේ තරගයක් නියෝජනය කරන්න යනවට ඕෂධිගේ සැමියා කැමැති වුණාද?

එයා නිතරම මගෙත් එක්ක හැමදේකදීම ඉන්නවා. අනික මම දෙයක් කරන්න කලින් එයාගෙන් අහනවා. මම මේ ගැන එයාගෙන් ඇහුවම ගැටලුවක් වුණේ නැහැ. එයා ගොඩක් අනවශ්‍ය නීති රීති දාන කෙනෙක් නෙමෙයි.

ලංකාවට ජයග්‍රහණයක් අත්කර ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවද?

හැමකෙනාම බලන්නේ තරගයෙන් ජයග්‍රහණය කරන්න. හැබැයි කොහොම වෙයිද දන්නෑ. මම උපරිමයෙන්ම උත්සාහ කරනවා.

ජාත්‍යන්තර රූ රැජින තරගයකින් කිරුළ දිනා ගත්ත අය ලංකාවේ ඉන්නෙ බොහොම අතළොස්සයි. ඇයි එහෙම වෙන්නෙ?

ඒකට හේතුව කියලා මම හිතන්නෙ ලංකාවේ අය රූපය ගැන හිතනවා අඩුයි. බියුටි පැජන්ට්වලින්ම දිනන රටක් නෙමෙයි ලංකාව. ඉන්දියාව වගේ රටවල මේ වගේ තරගවලට ගෑනු ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම සූදානම් කරනවා. ලංකාවේ ඉතින් එහෙම දෙයක් නැහැ. අනික ඉතින් ඉන්න ලස්සන ගැහැනු ළමයි වුණත් මේ වගේ තරගවලට ඉදිරිපත් වෙනවා අඩුයි.

පසුගිය කාලේ ඔබ හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවේ දකින්න ලැබුණා. කොහොමද ඒ අත්දැකීම?

ඔව් ඇත්තට මෙගා ස්ටාර්ස් එක්ක තමයි මම කාර්යබහුල වෙලා හිටියෙ. ඒක අවසන් වෙනවත් එක්කමයි මේ තරගයට ආරාධනා ලැබුණේ. ඒ තරගයෙනුත් හොඳ අත්දැකීම් ලැබුණා. මම කලින් රියැලිටිවල හිටියට කණ්ඩායම් වැඩ ගැන හොඳම අත්දැකීමක් ලැබුණේ මෙගා ස්ටාර් වේදිකාවෙන්.

ඒ අත්දැකීම් op of the world තරගයට රුකුලක් වෙයිද?

ඔව් ඇත්තටම. දෙකේම තියෙන්නේ ive perform කරන්න. ඒ කියන්නේ live audience එකක් බලන් ඉද්දි perform කරන්න. Mrs talent කියලා වෙනම category එකක් තියෙනවා. මෙගා ස්ටාර්වලින් මතුවුණ ඒ හැකියාවන් ඇත්තටම මේ තරගයෙදිත් මට රුකුලක් වෙයි කියලා හිතනවා.

කාලෙකට පස්සේ රංග භූමිකාවෙන් ඔබව දකින්නත් ලැබෙන්න අරගෙන?

සෙනසුරාදා 7.30ට ධ්ඊව් එකේ විකාශය වෙනවා ශ්වේත ගංතිර කියලා නාට්‍යයක්. ඒක අධ්‍යක්ෂණය කළේ තුෂාරි අබේසේකර. එකේ මම කරන්නෙ වලව්වක ඉන්න ආබාධිත චරිතයක්. ඊට අමතරව මම කරපු ටෙලි නාට්‍ය හතක් විතර විකාශය වෙන්න තියෙනවා.

කොහොමද ඔබේ රංගන වෙනසට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ඒ චරිතයට හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ප්‍රේක්ෂකයන් කියනවා මගේ නොදැකපු විදියේ චරිත නිරූපණයක් මේ නාට්‍යයෙන් දකින්න ලැබුණා කියලා.

දැන් රංගන අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්ද නැත්නම් අඩුවෙන් රංගන අවස්ථා භාර ගන්නවද?

ආරාධනා නම් ලැබෙනවා. ඒත් නිසි ප්‍රමිතියකින් තොරයි නම් මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරනවා.

ප්‍රමිතිය ගැන විතරමද හිතන්නේ?

නැහැ. පිටපත, චරිතයට ලැබෙන ගෞරවය සහ චරිතයට ලැබෙන වටිනාකම ගැනත් හිතනවා. හැබැයි මුල් තැන දෙන්නෙ ප්‍රමිතියට. මුදල් පැත්තෙන් අඩු ගණනක් ලැබුණත් ඉහළ ප්‍රමිතියක් තියෙනවා නම් භාර ගන්නවා.

ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක මවකගේ, බිරියකගේ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන්ද?

කොහොම හරි හැම දෙයක්ම සමබර කරගෙන යනවා. පහුගිය දවස්වල මගේ අම්මා ගොඩක් අසනීප වුණා. පළමු වැනි දවස් දෙක මම හොස්පිට්ල් එකේ අම්මා ගාවම හිටියා. කොච්චර කාර්යබහුල වුණත් මගෙන් වෙන්න ඕන යුතුකම් මම කරනවා. දරුවට සැමියට වුනත් එහෙමම තමයි. බබා පෙර පාසල් යනවා. මම රෑට ගෙදර ගියාම එයාගෙ පොත් ඔක්කොම බලනවා. කිසි දෙයක් මිස් නොකර කරන්න තමයි මම උත්සාහ කරන්නේ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන් (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රූ රැජනක් වෙන්න ඕෂධි ගිය ගමන "

    Post a Comment