23 March, 2017

මර්වින් සිල්වා චව්චව් වෙන හැටි

Mervin Silva - Interview 22-03-17

දේශපාලන චරිතයක් වුණ මර්වින් සිල්වාට "දොස්තර හොඳ හිත" නාට්‍යයෙන් වේදිකාවට එන්න හිතුණේ ඇයි?

මට වේදිකාව අලුත් තැනක් නෙවෙයි. කලාවත් මට අලුත් දෙයක් නෙවෙයි. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම වේදිකා නාට්‍ය කළා. වීර කොල්ලා, යුක්තිගරුක හා රූපය සාපය කියන නාට්‍ය තුනම මගේ නිර්මාණ. ඉස්කෝලෙදි මම නැති වේදිකා නාට්‍යයක් නැති තරම්. ඒ නිසා මේ නාට්‍ය මට අලුත් අත්දැකීමක් නෙවෙයි.

ඒ කියන්නේ පාසල් කාලෙත් වේදිකාවෙ ඔබ කැපී පෙනෙන චරිතයක්?

ඔව්. වීර කොල්ලා කියන වේදිකා නාට්‍ය මගේ නිර්මාණයක් වගේම ප්‍රධාන චරිතය වුණෙත් මම. ඒ වේදිකා නාට්‍ය ගොඩක් ජනප්‍රිය වුණා. කිහිප වරක්ම ගමේ කිහිප තැනකම ඒ නාට්‍ය පෙන්නුවා. පාසලේදී මේ කලා කටයුතුවලට ගුරුවරුන් සහයෝගය දුන්නා. කොහොමත් දේශපාලනය වගේම කලාවත් පොඩි කාලෙ ඉඳන්ම මගේ ඇඟේ තිබුණා.

දේශපාලනයෙන් ඉවත් වෙලාද කලාවට කාලය වෙන් කරන්න හිතුවේ?

අයින් වුණේ නැහැ. දේශපාලනයටත් මුලපුරන්නේ පාසල් කාලෙදිමයි. බෙලිඅත්තේ මම පාසල් යද්දි පහේ පන්තියෙදි විතර රැස්වීම්වලට කොඩි වනල තියෙනවා. මේ විදියට දේශපාලනය වගේම කලාවත් මට හුරුපුරුදුයි. චිත්‍රපටි 3කත් මම රඟපෑවා. විජය කුමාරතුංග එක්ක වගේම ලව් ඉන් බැංකොක් චිත්‍රපටයෙත් රඟපෑවා. ඒ නිසා මට කලාව නම් අලුත් දෙයක් නෙවෙයි.

මේ වගේ චරිතයකට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

මේ නාට්‍ය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරන්නේ වෛද්‍ය අසංග විජයරත්න. ඔහු තමයි මට මේ නාට්‍යයට ආරාධනා කළේ. මම ඒ චරිත කරන්න කැමැති වුණා. මේ නාට්‍යයෙන් ලැබෙන මුදල්වලින් දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න තමයි මම තීරණය කළේ. වෛද්‍ය අසංග විජයරත්නත් මමත් අපිට ලැබෙන මුදල් දරුවන්ට ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබා දෙන්න වෙන් කරනවා.

‍දොස්තර හොඳ හිත වේදිකා නාට්‍යයේ ඔබ චව් චව්ගේ චරිතයනේ නිරූපණය
කරන්නේ. ඔබට ගැළපෙනම චරිතය ලැබිලා තියෙනවා කියලා සමහරු කියන්න පුළුවන් නේද?

මෙහෙමයි. කලාවට කෙනෙක් ආවම තමන්ට ලැබෙන චරිතයට අනුගත වෙලා තමයි රඟපාන්නේ. ගාමිණී ෆොන්සේකා 'චණ්ඩියා', විජය කුමාරණතුංග 'මරුවා සමඟ වාසය' චිත්‍රපටවල ප්‍රචණ්ඩ චරිත රඟපෑවා. මේ අය සිනමාවේ ප්‍රවීණයෝ. ඒ අයගේ පෞද්ගලික චරිතයයි චිත්‍රපට චරිතයි දෙකක්. මේ දෙක පටලවාගන්න එපා. මගෙන් ඒ චරිතයෙදි බලාපොරොත්තු වෙන දෙයට මම කැපවෙලා රඟපාන්න ඕන.

කලාව පෞද්ගලික ජීවිතයත් එක්ක පටලවාගන්න එපා. අම්බපාලිගේ චරිතයත් විවිධ අය කළා. කැලණි පාලම වේදිකා නාට්‍යයේ ගීතා කුමාරසිංහත් රඟපෑවා. මේ විදියට අපිට චරිත අල්ලගෙන අපහාස කරන්නේ අපිට විරුද්ධ අය. මං ඒවා ගණන් ගන්නේ නැහැ.

ඔබ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් නිසා මේ වගේ චරිතයක් කරද්දි විවේචන, අපහාස එල්ල වෙන්න පුළුවන්. ඔබ ඒකට සූදානම්ද?

මම කරන දේවල් ගැන තීරණ ගන්නේ මම. අනෙක් එක මම කවුරුත් කියන නිසා දෙයක් අතඅරින කෙනෙක් නෙවෙයි. මම කරන දේවල් ගැන අනෙක් අයට තියෙන අමාරුව මොකක්ද? ඒවා මම ගණන් ගන්නේ නැහැ. එයාලා මගේ ජීවිතේ කොටසක් නෙවේනේ. අනෙක් එක විවේචන කරන අයට මං ස්තුති කරනවා. මම ඒවාට කැමැතියි.

ඔබ නිතර විදෙස්ගත වෙනවා. වැඩසටහන්වලට සහභාගි වෙනවා. මේ කාර්යබහුලත්වය නිසා මේ නාම්‍යයට ඔබට සාධාරණයක් කරන්න පුළුවන්ද?

ඔව්. පාලකයෙක් වුණාම මිනිස්සුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන වැඩ කරන්න හැකියාව තියෙන්න ඕන. තමන්ගේ එදිනෙදා වැඩ කරන්න කාලසටහනක් තියාගන්න ඕන. එතකොට ජීවිතේ ඕනම වැඩක් පිළිවෙළට කරන්න පුළුවන්. ඉතින් මං කලාවටත් කැමැති කෙනෙක්. ඒ දේවල්වලට මං කැපවීමෙන් වැඩ කරනවා. ඒ නිසා මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්.

දැන් අපිට ඔබේ මේ රංගනයන් දැක ගන්න ලැබෙන්නේ කවදාද?

දොස්තර හොඳහිත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය ජුනි මාසෙ ලුම්බිණි රඟහලේ පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ නාට්‍යයට දර්ශන වාර රැසකටම ආරාධනා ලැබිලා තියෙන්නේ. මේ නාට්‍යය ප්‍රේක්ෂකයන්ටත් වෙනස් අත්දැකීමක් වෙයි.

-ශාලිකා රංගනි_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මර්වින් සිල්වා චව්චව් වෙන හැටි "

    Post a Comment