30 March, 2017

ප්‍රථම ප්‍රේමයට සමු දී පෙම්වතියට දුන් තෑගි භෝග ඉල්ලන්න ගිය පෙම්වතාට ගුටි පූජාවක්

beaten-gang

බොළඳ පාසල් ප්‍රේමයක් බිඳවැටුණු පසු ඒ ප්‍රේමය වෙනුවෙන් හුවමාරු වූ තෑගිභෝග ඉල්ලන්නට ගිය පෙම්වතකු ගුටි පූජාවකින් පසු රෝහල් ගතකර ඇති බව හලාවත පොලිසිය කියයි.

නගරයේ ප්‍රධානතම පාසලක 12 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන මෙම පාසල් පෙම්වතා මේ වන විට පසුවනුයේ 17 වැනි වියේය. ඔහු තම පන්තියේම අධ්‍යාපනය හදාරන සිසුවියක සිය ප්‍රථම ප්‍රේම කතාවේ පෙම්වතිය බවට පත් කරගෙන තිබිණි.

තරුණයා අතමිට සරු පවුලක අයකු වූ අතර ඔහු තම පෙම්වතිය වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව අත දිගහැර වියදම් කර ඇත. ඒ අතරතුරේ ඔහු ඇයට මිල මුදලින්ද ලොකු පරිත්‍යාග කර තිබිණි.

ඒ අතර ඔහුට එම පාසලේම වෙනත් සිසුවියකගේ රුව කෙරෙහි සිත ඇදී ගොස් තිබිණි. මේ නිසා තම පළමු පෙම්වතිය දෙස බැලීමටද ඔහුට කාලයක් නොවීය. එහෙත් අලුත් පෙම්වතිය සමඟ ගත කරන්න බොහෝ කාලයක් ඔහු සතුව තිබූ බව ඇයට දැනගත හැකි විය. තම පෙම්වතා තමන් මඟ හරිනුයේ ඔහුට අලුත් පෙම්වතියක ලැබුණ නිසා බව හෙළිකරගත් ඇය විදුහල් පරිශ්‍රය පුරා තම පෙම්වතාගේ නුගුණ ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබිණි.

ඇය තම චරිත ඝාතනය කර ඇති බව දැනගත් ඔහුට යක්ෂයා ආරූඪ විය. මේ නිසා ඔහු පාසල් බිමේදීම ඇය හමුවී ඇයට පරුෂ වචනයෙන් දෙස් දෙවොල් නඟමින් තමාගෙන් ගත් මිල මුදල් ඇතුළු තෑගි භාණ්ඩ ආපසු වහාම තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඇත. දුන් දේ ආපසු ගන්න අවශ්‍ය නම් තම නිවෙසට සවස එන ලෙස ඇය ඔහුට පවසා ඇත.

ඒ අනුව සවස ඇගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය තම වැඩිහිටියන්ට අර ළමයාගෙන් කරදර යැයි කියා ඇති අතර එයින් කෝපයට පත් මවුපියන් ගෙදර ආ අමුත්තාට බඩ පිරෙන්න අතින් පයින් අපූරු සංග්‍රහයක් පිරිනමා ඇත.

පසුව ඔහු බොහෝම අමාරුවෙන් හලාවත රෝහලට ඇතුළත් වී සිද්ධිය පිළිබඳ හලාවත පොලිසියට පැමිණිල්ලක් කර රෝහලේ නැවතී ඇත. මේ සම්බන්ධයෙන් හලාවත පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස් (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රථම ප්‍රේමයට සමු දී පෙම්වතියට දුන් තෑගි භෝග ඉල්ලන්න ගිය පෙම්වතාට ගුටි පූජාවක් "

    Post a Comment