01 March, 2017

‘සමයං‘ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු – අංගොඩ ලොක්කාත් සහභාගි වෙලා – බන්ධනාගාරයෙන් ඔත්තුව දීලා

පාතාල නායකයකු බව කියන “රනාලේ සමයං” ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කරන සුදු පැහැති වෑන් රථයේ තිබී ඝාතකයන්ගේ බවට සැක කරන ඇඟිලි සටහන් 27 ක්‌ පොලිසිය මගින් ඊයේ (28 වැනිදා) සොයාගෙන ඇත.

වෙඩි තැබීම සඳහා පැමිණි පාතාල කල්ලිය පලාගිය වෑන් රථය මොරගහහේන ප්‍රදේශයේ දමාගොස්‌ තිබියදී පොලිසිය මගින් ඊයේ පෙරවරුවේදී සොයාගෙන තිබේ.

ඝාතකයන්ගේ බවට සැක කරන ඇඟිලි සටහන් සහ ලේ පැල්ලම් කීපයක්‌ හමුවී ඇත්තේ එම වෑන් රථයේ තිබියදීය.

පොලිසිය මගින් සොයාගන්නා ලද වෑන් රථය ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක්‌ බව පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී තිබේ.

එම වෑන් රථය කුලී ගමනක්‌ යන මුවාවෙන් ලබාගෙන මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත. මෙම වෑන් රථය පැහැරගත් බවට සීදුව පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ද ලැබී තිබිණි.

ප්‍රහාරය එල්ල කර පලාගිය සන්නද්ධ පිරිස මොරගහහේන ප්‍රදේශයේ අතහැර දමා තිබෙන ගබඩාවකදී ඔවුන් ඇඳ සිටි පොලිස්‌ ඇඳුමට සමාන ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් ඇඳගෙන යන්නට ඇතැයි සාක්‍ෂි ලැබී තිබේ.

එම අතහැර දැමූ ගබඩා සංකීර්ණ ගොඩනැඟිල්ලේ තිබී හිස්‌ මත්පැන් බෝතල් කීපයක්‌ ද පොලිසියෙන් සොයාගෙන ඇති අතර ප්‍රහාරයෙන් පසු හෝ ඊට පෙර ඔවුන් එම මත්පැන් පානය කර පලායන්නට ඇති බව පොලිසිය සැක කරයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 9 ක්‌ යොදවා ඇත.

එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනමම පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යයි.

‘සමයා’ ඇතුළු පාතාල පිරිස ඝාතනය සඳහා පැමිණි සන්නද්ධ පුද්ගලයන්ට බන්ධනාගාරය තුළින් තොරතුරු ලැබුණාදැයි සොයා බලාගෙන යයි.

පොලිසිය මෙතෙක්‌ සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ මෙම ඝාතන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයා සහ ඔහුගේ කල්ලිය විසින් සිදුකර ඇති බවයි.

අංගොඩ ලොක්‌කාගේ සහ සමයාගේ පාතාල කල්ලි අතර වසර ගණනක්‌ තිස්‌සේ පවත්නා ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ඝාතන සිදුවී ඇති බව පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයා පෞද්ගලිකවම සහභාගි වී ඇති බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

ප්‍රහාරය සඳහා ටී 56 ගිනි අවි 6 ක්‌ පමණ යොදාගන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

මෙම ප්‍රහාරය එල්ල කර සන්නද්ධ පිරිස පලාගිය මාර්ගය දෙපස නිවාසවල සහ වෙළෙඳසල්වල ඇති සී. සී. ටී. වී. කැමරා පොලිසිය විසින් ඊයේ පරීක්‍ෂා කළ ද වැදගත් යමක්‌ සොයාගැනීමට නොහැකි වී ඇත.

ප්‍රහාරය එල්ල කළ ඝාතකයන් මේ වන විට හඳුනාගෙන සිටින අතර ඉදිරි දින කීපයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

aruna-udayantha-samayan-04

-nethgossip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘සමයං‘ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු – අංගොඩ ලොක්කාත් සහභාගි වෙලා – බන්ධනාගාරයෙන් ඔත්තුව දීලා"

    Post a Comment