25 February, 2017

බිරියට ආදරේ පෙන්නපු විරාජ් නිළියෝ දෙන්නෙක්ට කැමැත්තෙන්

viraj-perera-article-25

මේ දවස්වල විරාජ් පරමාදර්ශී සැමියෙක් විදියට ජනප්‍රියයිනේ..?

ඔය කියන්නේ මම ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එක ගැන වෙන්න ඇති. මම මගේ බිරිය ගැන ෆේස්බුක් එකේ තබපු සටහනක් ගොසිප් සයිට්වලත් පළ වුණා.

හිටිහැටියේ බිරිය ගැන එවැනි පළකිරීමක් කරන්න හිතුවේ..?

රැකියාව සහ ෂූටිං නිම කරලා ගෙදර ආපු එක දවසක තමයි මම ඒ පළ කිරීම කළේ. මගේ බිරිය මට ලැබෙන්නේ පාසල් කාලේ ඉඳන් තිබ්බ ආදර කතාවේ ප්‍රතිඵලයක් විදියට. දැන් අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව ඉරුෂි. එයාට අවුරුදු දෙකයි. පුතා රයන්ට වයස මාස දෙකයි. තාත්තා කෙනෙක් වුණාම අම්මා කෙනෙක්ගේ හැඟීමත් තේරුම් ගන්න පුළුවන්. මට හිතුණා මගේ බිරිය මගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න දරුවෝ දෙන්නෙකුත් දීලා කොච්චර කැප කිරීමක්ද කරන්නේ කියලා. මම ඇගේ ඒ කැපකිරීම අගය කරලා ඒ සටහන කළේ.

ඇත්තටම බිරියට තියෙන ආදරේ පෙන්නන්නද නැත්නම් තමන් ආදරණීය සැමියෙක් කියලා රටට ලෝකෙට පෙන්නන්නද ඕන වුණේ..?

ඒක එක එක විදියට පේන්න පුළුවන්. මගේ පවුල හොඳ මට්ටමේ තියෙන පවුලක්. ඉතිං මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ අයගේ ජීවිතත් මගේ පවුල් ජීවිතේ වගේ තත්ත්වයකට ගේන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. මම මගේ පවුල ගැන මගේ ප්‍රොෆයිල් එකේ පෝස්ට් එකක් දැම්මේ. එහෙම දැම්මත් නොදැම්මත් මම පවුල් ජීවිතය හොඳට ගත කරන වගකීම් දරන පියෙක්. මේ වගේ හැඟීමක් සැමියන්ගේ හිතේ තියෙන්න පුළුවන්. ඒත් මම ඒ හැඟීම සටහනක් විදියට තිබ්බා. ඒකයි වෙනස.

මේ වගේ දේකින් විරාජ් ජනප්‍රියත්වයද හෙව්වේ..?

මම මගේ බිරිය කළ සේවය ඇගයුවේ. මම මේ වගේ දේකින් ජනප්‍රියත්වය හෙව්වේ නැහැ. ක්ෂේත්‍රයේ මම ජනප්‍රිය නැතිව ඇති. මම උස මහත නළුවෙක් නෙවෙයි. හැබැයි මම කරපු දේවල්වලින් ප්‍රේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය දිනාගත්තා. ඒ ජනප්‍රියත්වය තියෙද්දි මේ වගේ දේකින් මට ජනප්‍රිය වෙන්න වුවමනා නෑ.

විරාජ් බිරිය ගැන කරපු පළ කිරීමට දොස් කියපු අයත් හිටියා නේද..?

බිරිය කැත වුණේ දරුවෝ දෙන්නෙක් මට දීපු නිසා කියලා මම කිව්වා. ඇයගේ රූපය වෙනස් වුණේ මම නිසා. ඒ පළ කිරීම සමහරු විවේචනය කරලත් තිබුණා. බිරිය ගැන කාටවත් තියන්න බැරිවුණු සටහනක් මම තිබ්බේ. මම කියපු දේ ආදරෙන් පිළිගත්ත අයත් හිටියා.

ඇත්තටම බිරිය කැත වෙලාද..?

මට පැහැදිලි කරන්න ඕන වුණේ මුල් කාලේ හිටියට වඩා පෙනුමෙන් එයා වෙනස් වෙලා කියලා. කැතවෙලා කිව්වේ ඒකයි.

බිරියගේ අගය ගොඩාක් දැනිලා වගේ..?

චතූ කියන්නේ ඉවසීමක් දරාගැනීමක් තියෙන කෙනෙක්. ඇත්තටම මගේ බිරිය දෙවියෝ මට දුන්න තෑග්ගක්.

විරාජ් සුරූපී රංගන ශිල්පිනියෝ එක්ක ඕන තරම් රඟපාලා ඇති. ඒ කිසිම කෙනෙක් ගැන විශේෂ හැඟීමක් දැනිලා නැද්ද..?

මම තරුණ රංගන ශිල්පිනියෝ එක්ක වැඩ කරලා තියෙනවා. හැබැයි මගේ වැරැදි හැසිරීම් නැහැ. ලස්සන ලස්සන කොච්චර දේවල් හම්බවුණත් ඒ හැමදේම පස්සේ ඉබාගාතේ දුවන්න බෑ. හැබැයි අපිට තවත් අයගේ විශේෂකම් දැනෙනවා. ඒක ඕන කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.

එකට රංගනයට සම්බන්ධ වුණු රංගන ශිල්පිනියන්ගෙන් විරාජ් කාටද වඩාත් කැමැති..?

මම නයෝමි තක්ෂිලාට කැමැතියි. මොකද ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම විනු සිරිවර්ධනටත් කැමැතියි. ඒ ඇගේ නිහතමානීකමට.

අරුමවන්තිගෙන් පස්සේ විරාජ් පුංචි තිරයේ තව පියවරක් තියන්න යනවා කියලා ආරංචියි..?

ඔව්. මම ලිලන්ත කුමාරසිරිගේ "මුතුමාලි" ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒකේ මම නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතය නෙවෙයි. හැබැයි ඒක මාව දැකලා තියෙනවාට වඩා වෙනස් විදියට දකින්න පුළුවන් චරිතයක්. ලිලන්ත කුමාරසිරි තමයි ඉඳුවරී ටෙලි නාට්‍යයෙන් මාව ටෙලි නාට්‍යවලට ගෙනාවේ. ඉතිං මට මේ අවස්ථාවත් ඔහුගෙන් ලැබුණා.

ටෙලි නාට්‍ය නළුවා කියනවට වඩා විරාජ්ට ලේබල් වැදිලා තියෙන්නේ මියුසික් වීඩියෝවල රඟපාන නළුවා කියලා. විරාජ් ඒකට කැමැතිද..?

ඔව්. මම ඒක කැමැත්තෙන් භාරගන්නවා. මම මේ වෙනකොට මියුසික් වීඩියෝ එකසිය පනහක විතර රඟපාලා තියෙනවා. මියුසික් වීඩියෝව කියන දේ පහළම මට්ටමේ මනුස්සයාගේ ඉඳන් ඉහළම කෙනා දක්වා බලනවා. පරණ, අලුත් ශිල්පීන්ගේ මියුසික් වීඩියෝවලට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුන් ඔවුන්ගේ වැඩේ ජනප්‍රිය කරගන්න මාව පාවිච්චි කරනවා. මට ඒ ගැන සතුටුයි.

ඊළඟ පියවර සිනමාවද..?

මගේ අවසාන ඉලක්කය සිනමාව. මම වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ කියන මාධ්‍ය තුනේම රඟපානවා. සිනමාවටත් ළඟදීම එකතු වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

-තිළිණි කෞෂල්‍යා විජේසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බිරියට ආදරේ පෙන්නපු විරාජ් නිළියෝ දෙන්නෙක්ට කැමැත්තෙන් "

    Post a Comment