19 January, 2017

චෛත්‍යයේ මැණික් ගල් සවිකළ කොත උස්සලා

නාරාහේන්පිට පිහිටි ජාත්‍යන්තර ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයක චෛත්‍යයක සවිකර තිබූ මැණික් ගල් ඔබ්බවන ලද ලක්‍ෂ ගණනාවක් වටිනා කොතක් සොරාගෙන ගිය බව කියන කට්ටඩියකු, හමුදා සෙබළකු ඇතුළු සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය පවසයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ කට්ඩි‍ෛයකු, කුකුලේගම යුද හමුදා අනු ඛණ්ඩයක සෙබළකු, නාරාහේන්පිට ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරකු හා එම ප්‍රදේශයේම වාහන නැවතුම් ස්ථානයක අයිතිකරුවෙකි.

සැකකරුවන් සිවුදෙනා ඔවුන්ට අවශ්‍ය කට්ටඩි වැඩ කරවා ගැනීම සඳහා නිතර දෙවේලේ ඉහත කී කට්ටඩියාගේ මොරගහහේනේ පිහිටි දේවාලය වෙත ගොස් ඇති බවත්, ඔවුන්ට එම කාර්යයන් කරදීම සඳහා මැණික් ගල් ඔබ්බවන ලද කොතක් අවශ්‍ය බව කට්ඩි‍ෙයා එකී සිවුදෙනාට පැවැසීමෙන් පසුව නාරාහේන්පිට සිටි සැකකාර ත්‍රිරෝද රථ රියැදුරාගේ උපදෙස් මත යුද හමුදා සෙබළා විසින් ඉකුත් දෙසැම්බර් මස 06 දින මැදියම් රැයේදී එම කොත රහසිගතව ගලවා කට්ඩියාට ගෙනගොස් භාරදී ඇති බවට කරුණු අනාවරණය වන බවද පොලිසිය පැවැසීය.

පොලිසියට ලද තොරතුරක් මත පසුගිය දිනක අලුයම් කාලයේදී එම කොත සොයා ගැනීම සඳහා මොරගහහේන ප්‍රදේශයේ පිහිටි කට්ටඩියාගේ නිවෙස වටලන විට කට්ටඩියා හා කාන්තාවන් සිවුදෙනකු එම කොත අසල දන නවාගෙන පුද සත්කාර පවත්වමින් සිටි බවද පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා කොළඹ අංක 3 ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම 23 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසන්න හා අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රදීප් වික්‍රමරත්න ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

stupa

කුමුදු උපුල් ශාන්ත_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "චෛත්‍යයේ මැණික් ගල් සවිකළ කොත උස්සලා"

    Post a Comment