30 January, 2017

රංජන්ගේ ක‍්‍රියාව ගැන ජනපති මැදිහත් වී පරීක්ෂණයක් කැඳවයි

ranjan-ramanayake-divulapitiya

අද දිනයේ රාජකාරීවලින් ඉවත් වී විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදුණු බව කියන සිද්ධියට විරෝධය පල කිරීමටයි.

ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක නිලධාරීන් මෙලෙස අද දිනයේ සිය සේවාවලින් ඉවත් වනු ඇති.

මීට අමතරව රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පල කරමින් ස්ථාන කිහිපයක විරෝධතා ද සංවිධාන කර ඇති බවටයි පැවසෙන්නේ.

ගම්පහ දිස්ත‍්‍රික් පරිපාලන සේවා සංගමයේ උප සභාපති ඒ. කේ. ආර්. අලවත්ත පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කණගාටුව පල කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඒ හා සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ අද දිනයේ තීරණය කරන බවයි.

දිවුලපිටිය අකරගම ප‍්‍රදේශයේ සිදුවන පස් කැපීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත එය නිරීක්ෂණයට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

අදාළ සිදුවීම පහතින් දැක්වේ,



නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක‍්‍රියා කලාපය කිසිසේත්ම අනුමත නොකරන බවයි ශ‍්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගන්නේදැයි මාධ්‍යවේදීන් ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. එම මාධ්‍ය හමුව පහතින් දැක්වේ



අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දරන්නේ කුමන මතයක්දැයි නෙත් නිවුස් ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුමගෙන්ද විමසීමක් කළා.

“එක කාලේක සමෘද්ධි නිලධාරියෙක්ව ගහක බැන්ඳා. ගහක බැඳලා අන්තිමට ඒ සඳහා කටයුතු කරන කොට වෘත්තීය සමිති උත්තරය වුනේ නිලධාරියා තනියම ගහේ බැඳගත්තා කියලා. නමුත් අද තව සිද්දියක් වෙලා තියෙනවා බැන්නයි කියලා. හොඳ වෙලාවට ගහක බැඳලා නැහැ. අපේ විශේෂත්වය තියෙන්නේ මේ ආණ්ඩුවේ මේක හරිද වැරදිද කියලා බලන්න පරීක්ෂණයක් කැඳවනවා. කාටවුණත් අයුතු විදිහට , අයුතු බලපෑම් කරන්න රජය ඉඩදෙන්නේ නැහැ. නමුත් පහුගිය කාලේ වගේ හාස්‍යජනක විදිහට මමම බැඳගත්තා කියලා කියන්න වෙන්නේ නැහැයි කියන එක තියෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීතුමා කතාකරපු හේතුව අපි දන්නේ නැහැ. ඒ වෘත්තිකයන්ට ඒ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, රජයට රජයේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් හැමෝටම නිදහසක් තියෙනවා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. රජයක් වශයෙන් අපි වගකීම ගන්නවා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරලා , දෙපැත්තෙම චෝදනා මොනවද කියලා අරගෙන ජනතාවට සාධාරණය ඉෂ්ට කරලා දීමේ වගකීම අපිට තියෙනවා. මේ වෙනකොටත් ජනාධිපතිතුමා මේ සඳහා මැදිහත් වෙලා , කොමසාරිස්තුමියත් කැඳවලා , නියෝජ්‍ය අමාත්‍යවරයාත් කැඳවලා මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න රජය තීරණය කරලා තියෙනවා”.

මේ අතර ලබන බදාදා වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් රට පුරා රාජ්‍ය නිලධාරීන් ඒකරාශී කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් පවත්වන බවයි ශ‍්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ.

_නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රංජන්ගේ ක‍්‍රියාව ගැන ජනපති මැදිහත් වී පරීක්ෂණයක් කැඳවයි"

    Post a Comment