28 January, 2017

මම කළේ අසභ්‍ය රඟපෑමක් ‍නෙවෙයි

oshadi-himasha

ඕෂධී හිමාෂා කියන නමටත් වඩා ඇය දැන් ජනප්‍රිය ‘ආශාවරී’ කියන නමින්. ඒ ආන්දෝලනාත්මක ලෙස සයිබර් අවකාශයේ පැතිර යන ආශාවරී ගීතයේ වීඩියෝවේ රංගනයේ නියැළෙන්නේ ඇය නිසා. මේ ඕෂධී සමග ආශාවරී ගැන කළ පුංචි කතාවක්.

‘ආශාවරී’ ඕෂධීගේ කීවැනි මියුසික් වීඩියෝවද?
අනේ මන්දා. කීවැනි එකද කියලා කියන්න ගණන් තියාගෙන නමෛයි මම රඟපෑවේ. ඉස්සර මුල් කා‍ලේ නම් ගණන් කරමින් රඟපෑවා. මම හිතන්නේ සින්දු 100කට වඩා වැඩි ගණනක වීඩියෝවලට මම රඟපාලා තියෙනවා.

ආශාවරී වැඩිපුර ප්‍රසිද්ධ වුණේ අර අඩ නිරුවත් රංගනය නිසාද?
ආශාවරී වීඩියෝව වැඩිපුර හිට් වුණා කියලා කියන්න අමාරුයි. මොකද මම රඟපාපු වීඩියෝ ගොඩක් මේ වෙනකොට හිට්වෙලා තියෙනවා. මේක එකක් විතරයි.

සමහරු සෑහෙන්න බණිනවා නේද?
මට නම් 90ක්ම ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර. හුඟක් අය කියනවා හොඳයි කියලා. සීයට දහයක් වගේ ‍පොඩි පිරිසක් තමයි නරකයි කියනවා ඇත්තේ.

මේ තරම් ප්‍රසිද්ධියේ ඇඟ නිරාවරණය කරද්දී හිතට බයක් දැනුණෙ නැද්ද?
ඇත්තටම බයක් තිබුණා. මොකද මේක ලංකාව නිසා. මම වෙන රටකදී මේ දෙය කළා නම් ඇත්තටම මේකෙ ඇති දෙයක් නැහැ.

ඒ කියන්නෙ පිටරටවලදී මේ අයුරින් හැසිරිලා පුරුදුයි කියන එකද?
ඔව්. මීට පෙර මම වතාවක් රූ රැජන තරගයකට තුර්කියට ගියා. ඒකෙදි බිකිනි ඇඳුමින් සැරසිලා බොහොම ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීම් කරන්න මට සිද්ධ වුණා. ඒක අරුමයක් නමෛයි. අරුමයක් වෙන්නෙ ලංකාව වගේ රටක මේ වගේ කෙටි ඇඳුම්වලින් රූපගත කිරීම තමයි.

මීට පෙරත් ඕෂධීට ඇඳුම් සම්බන්ධව චෝදනා එල්ලවෙලා තියෙනවා නේද?
මම සම්බන්ධව ගොසිප්වත්, නරක විදියේ කතාන්දරවත් මුකුත්ම මට නම් අහන්න ලැබිලා නැහැ.

සින්දුව නිසා මම තවත් ජනප්‍රිය වුණා. කොහොමටත් ක්‍ෂේත්‍රයේ ජනප්‍රියතාව වැඩි වෙනකොට ඕනම කෙනකුට කතා හැදෙන එක සාමාන්‍යයි. මට වෙලා තියෙන්නෙත් ඒකමයි.

මුදල් ලැබෙන නිසාද මේ වගේ වීඩියෝවල පෙනී ඉන්න තීරණය කරන්නේ?
ඔව්. මම මේ ක්‍ෂේත්‍රයට මුලදී ආවේ මගේ ආසාවට. නමුත් දැන් මගේ රැකියාව මේක. ඒ නිසා මුදල් ඕන. වීඩියෝවක් කළත්, මොන දේකට ආරාධනා ලැබුණත් මම මුදල් ගැන කතා කරලයි වැඩේ ගැන කතාව ස්ථිර කරන්නේ.

මේ වගේ දර්ශනවලට පෙනී ඉන්න ගෙදරින් තහංචියක් නැද්ද?
වීඩියෝව කරන්න කලින්ම මම දෙමාපියන්ගෙන් අවසර ගත්තා. එයාලා හික්කඩුව ප්‍රදේශයේ ජීවත්වෙන නිසා මේ වගේ දේවල් අරුමයක් නොවෙයි. අනික මගේ දෙමාපියන්ට ලොකු අවබෝධයක් තියෙනවා මම කරන කියන වැඩ ගැන.

එතකොට ස්වාමිපුරුෂයාත් අකැමැති වුණේ නැද්ද?
එයාට ප්‍රශ්නයක් නැහැ. එයා මට ජීවිතේට හුඟක් උදව් කරනවා. අනික මේකේ මම අසභ්‍ය දර්ශනයකට පෙනී ඉන්නෙ නැහැ. තනියම ඇඳ උඩ ඉඳලා නැගිටලා නාන කාමරයට යන දර්ශනයක් විතරයි තියෙන්නේ. ඒ නිසා එයාට විරුද්ධ වෙන්න ඕනකමක් තිබුණේ නැහැ.

ආශාවරී සින්දුව හෑල්ලු කරන විදියේ කොමඩි වීඩියෝ කිහිපයක් කරලා තිබුණා දැක්කද?
ඔව්. ඒකෙ වරදක් කියන්න බෑ. අපට ඒවා නවත්වන්නත් බැහැ. ලංකාවෙ මිනිස්සු ලෝකෙට වඩා හරි වෙනස්. අගය කළ යුතු දේ අගය කරන්න දන්නෙ නැති සමහරු ඉන්නවා. සමහර කොමඩි වීඩියෝ දැක්කම නම් මට හිනාත් ගියා.

ඉදිරියේ දී මොකද වෙන්නේ?
හොඳට වැඩ කරනවා. සිනමා රංගනයට එන්න ගොඩක් ආසයි මම. ඒ වගේම නිරූපණය හොඳින් කරනවා.

විවාහක රූ රැජන වෙන්න කැමැත්තක් නැද්ද?
මම ක්‍ෂේත්‍රයට ආවේ මගේ හැකියාවෙන්. මම රූපය පෙන්නන්න බියුටි පැජන්ට්වලට ඉදිරිපත් වුණේ නෑ ලංකාව ඇතුළතදී. මේක මහන්සියෙන් ආපු ගමනක්. මිසිස් ශ්‍රී ලංකා වෙන්න මම හිතන්නේ තාම මට වයස මදි. තව අවුරුදු දෙක තුනක් යනකල් මට මේ රූපය රැකගෙන ඉන්න පුළුවන් වුණොත් සමහර විට මම ඒ තරගයට ඉදිරිපත් වේවි.

ashawari-iraj

ashawari-iraj-2

-සඳමාලි වර්ණසූරිය_රිවිර

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම කළේ අසභ්‍ය රඟපෑමක් ‍නෙවෙයි"

    Post a Comment