28 January, 2017

ලෝකෙටම එපා කරපු M.D.M කුඩු දකුණට බැස්සුවේ කවුද?

mdm-drugs

2017 නව වසර උදාව පිළිගැනීම සඳහා ලක්වාසීන් පමණක් නොව ලෝකවාසීහුද ලහි ලහියේ ලකලෑස්ති වූහ.
මාතර වෙරළ තීරයට දසදහස් දෙනා දෙසැම්බර් 31 රාත්‍රියේ රැස් වූයේ ප්‍රීතිමත්ව නව වසර උදාව පිළිගැනීම සඳහාය.

2016 වසර අවසන් කරමින් පෑයූ හිරුද බස්නාහිරින් බැස යන්නට ආසන්න වූයේ නටුවෙන් ගිලිහෙන ඉදුණු පලතුරු ගෙඩියක් මෙනි. එය අෑත සිතිජයේ සැඟව ගියේ මාතර වෙරළ තීරයම අඳුරේ තබමිනි.

දළ රළ පෙළ මුහුදු තීරය සිප ගනිමින් සිටියදී බාල ළමා මහලු උදවියද වෙරළේ නාමින් සතුටු වෙමින් සිටියෝය.

මිරිස්ස වෙරළ තීරයේ සංචාරක හෝටල්වලද මල්වෙඩි පත්තු කරමින් මධුවිත උත්සව ආරම්භ කෙරිණි.
ඕඥචජඩ ර්ථීචපබර (බීච් පාටි) ලෙස ප්‍රකට මෙම සැණකෙළි සඳහා දෙස් විදෙස් සංචාරකයෝ පැමිණ සිටියහ.
මධුවිත තොලගාමින් නර්තනයේ යෙදෙමින් සියල්ලෝම 31 රාත්‍රියේ මුහුදු සුළඟේ පහස විඳිමින් ගත කරන්නට වූහ.

'මිරිස්ස බීච් හොටෙල් එකක මත්ද්‍රව්‍ය ජාවාරමක් යනවා' නව වසර උදා වී පැය කිහිපයකට පසු මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට තොරතුරක් ලැබිණි.

නව වසරේ වැඩ අල්ලමින් මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදිත කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් වහාම ලද තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළහ.

ජනවාරි පළමු වැනි දින එළිය වැටෙත්ම බීච් පාටිවලට සහභාගි වූ බොහෝ දෙනා ඔවුන්ගේ නිවෙස් කරා යන්නට වූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු පරීක්ෂා කරමින් සිටි පොලිස් කණ්ඩායමට නැවත තොරතුරක් ලැබිණි. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැලිගම, මිරිස්ස මුහුදු තීරයේ සංචාරක හෝටලයක නැවතී සිටින බවටය.

ඔවුන් ජනවාරි පළමු වැනිදා රාත්‍රියේදී මුහුදු තීරයේ සංචාරක හෝටල්වල පැවැත්වෙන බීච් පාටිවලට මත්ද්‍රව්‍ය සැපයීමට සිටින බවට ඔත්තුකරු තහවුරු කෙළේය.

එම ඔත්තුවත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ සැලසුම මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් සකස් කෙරිණි.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම වහාම මිරිස්ස වෙරළ තීරයේ පිහිටි සංචාරක හෝටලට කඩා වැදුණේය.

එහි කාමර දෙකක ලැගුම් ගෙන සිටි තරුණ පිරිසක් පරීක්ෂාවට ලක් කළ පොලිස් කණ්ඩාමට ඔවුන් සතුව තිබූ කොකේන් ග්‍රෑම් හයකට අධික ප්‍රමාණයක් සහ හෂීස් මිලිග්‍රෑම් 3,600ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන අතර ඔවුන් කැලණිය, වත්තල, ජාඇළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමේදී හෙළි වී තිබිණි. ඔවුන් අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පිහිනුම් උපදේශකවරයකු, වතු අධිකාරිවරයකු, කැලණිය ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක පුහුණුකරුවකු, ගෘහ නිර්මාණ ශිල්පියකු, එංගලන්තයේ පුරවැසිභාවය හිමි අයකු සිටින බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

මනස විකාර කරන මිල අධික කොකේන් සහ හෂීස් යන මත්ද්‍රව්‍ය මෙම කල්ලිය කොළඹ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් ලබා ගන්නා බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ.

කොළඹින් බැහැර ඇති රාත්‍රි බීච් පාටිවලට මෙම කල්ලිය මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සංවිධානාත්මකව පැමිණේ. දෙසැම්බර් 31 රාත්‍රි වෙරළ සාදවලටද මොවුන් රුපියල් ලක්ෂ දහයක පමණ කොකේන් සහ හෂීස් මත්ද්‍රව්‍ය රැගෙන ඇත. එම මත්ද්‍රව්‍ය කුඩා පැකට්වලට දමමින් දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කරනු ලබයි.
විදේශිකයන්ට මෙම කල්ලිය මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන්නේ දෙගුණයක මිලටය. ඉන් ඔවුන් ගජ වාසි ලබන බවද පොලිසිය සඳහන් කරයි.

මෙකී සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පමුණුවා දින දෙක තුනක් යන්නට මත්තෙන් මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට තවත් ඔත්තුවක් ලැබිණි.

ඒ අහංගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන 'වැලිගම කඩේවත්තේ ලොකු' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අධික විසැති සහ අධික මිලැති මත්ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරමින් සිටින බවටය.

යතුරුපැදියකින් ර්ච්ර් (එම්.ඩී.එම්.) නමැති මත්ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහුව ජනවාරි 4 වැනි දින පොලිස් කණ්ඩායම විසි මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සන්තකයේ එම මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 750ක් තිබී සොයා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය.
දකුණු පළාතෙන් ප්‍රථමවරට සොයා ගත් මෙම විස මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක මිල රුපියල් තිස් දහසක් පමණ වන බවද පොලිසිය පවසයි.

පාකිස්තානය, ඇෆ්ගනිස්තානය ආදී රටවල නිෂ්පාදිත මෙම විස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ මනස විකෘති වන බවද මත්ද්‍රව්‍ය විශේෂඥයෝ පවසති.

මෙම මත්ද්‍රව්‍ය ලේ සමඟ මිශ්‍ර වී ඉන් විකෘති මානසිකත්වයක් පවා ඇති කරන බවද එම විශේෂඥයෝ සඳහන් කරති.

ලෝකයේ බොහෝ රටවල භාවිතයට නුසුදුසු බවට නිර්දේශ කර ඇති මෙම මත්ද්‍රව්‍ය 'ලොකු' නමැත්තාට ලබා දී ඇත්තේද පෙර සඳහන් කළ මත්ද්‍රව්‍ය කල්ලියේ සිට අත්අඩංගුවට පත් වූ එංගලන්තයේ පුරවැසිභාවය හිමි තැනැත්තාය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සල්ලිකාරයන් මෙම මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබයි.

දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එස්.යූ. ප්‍රනාන්දු, මාතර, තංගල්ල, කොට්ඨාසභාර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදිත කුමාර මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත පොලිස් සැරයන්වරුන් වන ප්‍රියංකර (55804), සුනිල් (56615), පොලිස් කොස්තාපල්වරන් වන අරුණ (6403), ක්‍රිෂාන්ත (55836), සිසිර (72699), සම්පත් (90047), මධුසංඛ (90044) සහ පොලිස් කොස්තාපල් රියැදුරු චන්ද්‍රසේන (80490) යන පොලිස් කණ්ඩායම විසින් මෙම වැටලීම සිදුකර ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.

පොලිස් විමර්ශකයන්ගේ ඊළඟ අරමුණ වන්නේ මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ තෝරු මෝරු අත්අඩංගුවට ගැනීමය.

විකෘති මනසක් ඇති කරන ශරීර සෞඛ්‍ය පරිහානියට පත් කරන මෙම නව මත්ද්‍රව්‍ය විදෙස් රටවල සිට මෙරටට ගෙන්වන එම මහා පරිමාණ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අපේ ඒකායන ප්‍රාර්ථනයයි.

- චාමර අමරසූරිය_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝකෙටම එපා කරපු M.D.M කුඩු දකුණට බැස්සුවේ කවුද? "

    Post a Comment