30 January, 2017

මගේ ළඟින් "රාජ උෂ්ණය" ආවේ නෑ කියා එක ළඟ වාඩිවෙලා හිටිය ස්වර්ණා මට කිව්වා

maithripala-swarna

සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චිගේ පනස් වසරක සිනමා ජීවිතයට උපහාර පුද කෙරෙන 'ස්වර්ණාය ගැහැනිය' උපහාර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27දා සන්ධ්‍යාවේ තරංගනී රංග ශාලාවේ පැවැත්විණි.

සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මුළුදුන් මෙම උත්සවයට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාද හිටපු ඇමැතිවරුන් වන ජීවන් කුමාරතුංග, බන්දුල ගුණවර්ධන මහත්වරුද සහභාගි වූහ. ජනාධිපතිවරයා අතින් ස්වර්ණා සමරු තිළිණය ලබා ගත්තාය.

සිංහල සිනමාවේ ප්‍රවීණයන් රැසක් එක්වූ සංවාද මණ්ඩපය සෞම්‍ය ලියනගේ මහතා මෙහෙයවීය.

ජනාධිපතිවරයා එහිදී මෙසේ පැවැසීය.

මම අද ස්වර්ණා මල්ලවආරච්චිගේ උත්සවයට තරංගනී රංග ශාලාවට ඇවිත් වාඩි වුණාම ස්වර්ණා ඇවිත් මගෙ අල්ලපු පුටුවේ වාඩි වුණා. ස්වර්ණා මට කිව්ව මම මෙහෙම ජනාධිපති කෙනෙක් ගාව අල්ලපු පුටුවෙ වාඩි වුණු පළමුවැනි අවස්ථාව කියල. මම ස්වර්ණගෙන් ඇහුව නිකම් වැඩිපුර රාජ උෟෂ්ණයන් එහෙම දැනෙනවද කියල. (ශාලාවේ මහ හඩින් සිනා) 'නෑ' ස්වර්ණ කිව්වා. (නැවතත් සිනා)

අද දවල් මම කාර්යාලෙ ඉන්න වෙලාවෙ මගේ ලේකම්වරයෙක් ඇවිත් ඇහුව "සර් හවස ස්වර්ණා මල්ලවආරච්චිගෙ උත්සවයට යනවද?" කියල. "යනව" මම කිව්ව. "සර් මැඩම් යනවද?" කියල ඊළඟට ඇහුව. මම ඇහුව "ඇයි අහන්නෙ කියල"

"සර් මැඩම් යනව නම් සීට් එකක් වෙන් කරන්නයි ඇහුවෙ" කීව. මම කීව "පිස්සුද එයා මම යන උත්සවවලට යනවද?"

මම ගෙදර ආවෙ හවස 6.00ට 7.00ට. මෙතෙන්ට එන්න ඕන නිසා මම ලෑස්ති වෙද්දි අපේ නෝන ළඟට ආව. 

"කොහෙද ආයෙත් යන්න ලැහැස්ති වෙන්නෙ" ඇහුව. "ස්වර්ණගෙ උත්සවේට" මම කිව්වා.

"හා මාත් එන්නද?" (ශාලාවේ මහ හ¾ඩින් සිනා) "කොච්චර හොඳද යමු" මම කීව. බොහොම කලාතුරකින් වෙන වැඩක්. ඒකත් ස්වර්ණගෙ පිනක් මම හිතන්නෙ. (සිනා)

දැන් මෙහි පැවැති සාකච්ඡාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා කියපු කතාව ගැනත් මගේ අදහස ප්‍රකාශ කරන්න ඕන. මොකක්ද එතුමා කීවෙ,

"මේ ස්වර්ණගෙ සිනමා සතිය කරන්න ගිහිල්ල මට ජීවිතේ එපා වුණා. මට හිතුණ ඇයි මම මේ රටේ තවත් ඉන්නෙ කියල" මම දන්නව ධර්මසිරි බණ්ඩාරනායක මහත්තය මාව ජනාධිපති කරන්න මහන්සි වූ කෙනෙක්. මම අහන්නෙ සිනමා සතිය කරන්න ගිහිල්ල ඔබතුමාට ඔහොම හිතුණ නම් මට කොහොම හිතෙනවා ඇද්ද? (ශාලාවේ සිනා)

මම සතුටු වෙනව අද වගේ දවසක ස්වර්ණා මල්ලවආරච්චි වැනි අපේ රටේ පමණක් නොවේ ජාත්‍යන්තරයේත් කීර්තියට පත් විශිෂ්ට සිනමා ශිල්පිනියක් සමරන වෙලාවක මේ උත්සවයට සහභාගි වන්න ලැබීම ගැන. 

ස්වර්ණා ඔබට එදා වගේම අදත් රටම ආදරෙයි. ගරු කරනව. රටම ඔබව පිළිගන්නව. අපි කවුරුත් එකතු වෙලා විවිධ විෂය ක්ෂේත්‍රවල චරිත පිළිබඳව කතා කරන්නෙ ඉතා කලාතුරකින්. සිනමා කලා කවර මාධ්‍ය ගත්තත් එහි චරිතයක් තෝරාගෙන ඒ චරිතය ගැන අප කතා කරන්නේ බොහොම කලාතුරකින්. ඔබේ පනස් වසරක සිනමා ජීවිතය ගැන සමරන්නට මේ සන්ධ්‍යාවේ අප හැම දෙනාම එක්වුණේ ඔබට කරන ගරු කිරීමක් වශයෙන්.

ඔබේ හැකියාව, දක්ෂතාව, නිර්මාණශීලීභාවය, පරිපූර්ණභාවය සමඟ ඔබට තව තවත් කලාවට ජනතාවට ඔබේ දැනුම බුද්ධිය පරිණතභාවය පරිත්‍යාග කරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මා ඉතසිතින් ප්‍රාර්ථනය කරනවා. සුබ පතනවා. ආශීර්වාද කරනවා. අපි හැම විටම ඔබ සමඟයි. ඔබ සියලු දෙනාට ස්තුතියි.

ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය-

මම තනියම ආවෙ නැහැ මේ ගමන. පළමුවැනි චිත්‍රපටයෙදි මට සිනමාව එපා කරවන්න හැදුව. ඒ වුණාට මට එපා වුණේ නැහැ. ඒකෙන්ම තේරෙනවනෙ මම කාගෙන ඉන්න පුළුවන් කෙනෙක් කියලා. පළමුවැනි චිත්‍රපටයෙදි කතා නොකරපු සිරිල් වික්‍රමගේ අයියත් පස්සෙ ඇවිත් මට කිව්ව කතා නොකළට සමාවෙන්න කියල. ඒක ලොකු දෙයක්නෙ. මම මේ තරම් දුර ආවෙ ඔක්කොමත් එක්කල. මම තනියම ආපු ගමනක් නොවෙයි.

ජනාධිපතිතුමනි, පසුගිය සතිය පුරා මෙහි චිත්‍රපට දහයක් පෙන්නුවා. මම අද එකක් හැර අනෙක් සියල්ලම බැලුවා. මම හිතනව ඒවා සිනමා පාසලක් වගේ. ගොඩක් තරුණ පිරිස් ඒවා නැරඹුවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. තුන්දහසක් ටිකට් පැය තුන ඇතුළත ගියා. ධර්මසිරි මා සමඟ කිව්ව අව්වෙ, වැස්සෙ පෝලිමේ එන මේ මිනිස්සු දැක්කහම මට ඒගොල්ලො ගාවට ගිහින් දණගහල වඳින්න හිතෙනව කියල.

අපි බලපු චිත්‍රපට දහයම ගත්තොත් ඒවා සංරක්ෂණය පැත්තෙන් ඉතාමත් දුර්වල තත්ත්වයක තියෙන්නෙ. පුළුවන් විදියට ආකයිව් වෙලා තියෙනව. අපිට ඊට වඩා පහසුකම් නැතිව ඇති. මා ගැන කියනව නොවේ. ඒ චිත්‍රපට සිනමාව ගැන හදාරන්න පුළුවන් කෘති. ඒ ගැන මොනව හරි කළොත් අනාගත පරම්පරා වෙනුවෙන් ආරක්ෂා වෙලා තියේවි.

හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි මෙහි පැමිණියාට. මගේ දරුවා මේ උත්සවය පටන් ගත්තේ කොමිටියක් හදාගෙන මට සප්‍රයිස් එකක් දෙන්න කියල. ඒක කරගන්න බැරි වුණා. මොකද මටත් මේ වැඩවලට සම්බන්ධ වෙන්න සිදුවුණා. චිත්‍රපට නැරඹූ පිරිස මෙහි කැඳවන්න ඉඩ නැති වුණා. එය මගේ දුකට හේතුවක්. ඔවුන් අමනාප නොවේය කියා හිතනවා. අපට බී.එම්.අයි.සී.එච්. වගේ තැනක් ගන්න බැරි වුණා. අපි ඒ ගැන මහන්සි වුණා සෑහෙන්න. ධර්මසිරි සෑහෙන්න දුක්විඳින්න කැමැතිනෙ. මගේ දුව නම් ආස නෑ දුක්විඳින්න. රස නවයක් තියෙනවනෙ. එයින් ධර්මසිරි කැමැති දුක කියන එකට.

-උදේනි සමන් කුමාර_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ ළඟින් "රාජ උෂ්ණය" ආවේ නෑ කියා එක ළඟ වාඩිවෙලා හිටිය ස්වර්ණා මට කිව්වා"

    Post a Comment