11 January, 2017

ඩෙංගු සෑදී වේදනාවෙන් සිටි මගේ මහත්තයා ගැන වෛද්‍යවරුන් සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැහැ - බිරිය කියයි

kasun-sameera-abeysinha-death-of-dengue-kalubowia-staff

ඩෙංගු හැදිලා වේදනාවෙන් සිටි මගේ මහත්තයා ගැන වෛද්‍යවරුන් එතරම් සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැහැ. අපි බැලුවේ මහත්තයාව ප්‍රයිවට්‌ හොස්‌පිට්‌ල් එකකට අරන් යන්නයි. නමුත් වෛද්‍යවරුන් ඔහුව ගෙනියන්න දුන්නේ නැහැ.........." යෑයි ඩෙංගු උණ රෝගයෙන් මියගිය කළුබෝවිල මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයාගේ බිරිඳ වන චාරිකා මල්වත්ත මහත්මිය හැඬූ කඳුලින් පැවසුවාය.

ඩෙංගු උණ රෝගයෙන් තවත් එම රෝහල් සේවකයෙකු මියයැම සම්බන්ධයෙන් කළුබෝවිල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට අප ඊයේ (10 වැනිදා) ගිය අවස්‌ථාවේ ඇය එසේ කීවාය.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස්‌ ඇත්තේ හොරණ, පොකුණුවිට, බණ්‌ඩාරවත්ත පදිංචිව සිටි කසුන් සමීර අබේසිංහ (28) නමැති රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයෙකි.

ඩෙංගු හේතුවෙන් මියගිය මෙම රෝහල් සේවකයා සමඟ මීට පෙර ඩෙංගු හේතුවෙන් රෝහලේ හෙද නිලධාරිනියක හා සෞඛ්‍ය කාර්ය සහායිකාවකද මිය ගියහ.

මෙහිදී හැඬූ කඳුලින් තවදුරටත් කතා කළ චාරිකා මල්වත්ත මහත්මිය මෙසේද කීවාය.

මියගියේ මගේ මහත්තයා. අපි බැඳලා මාස අටයි. මහත්තයා කළුබෝවිල රෝහලේ වැඩකළා. මම කළුතර නාගොඩ රෝහලේ සේවය කරන්නේ. එයා හරිම හොඳ කෙනෙක්‌. උණ රෝගී තත්ත්වයක්‌ නිසා එයාව මේ රෝහලට ඇතුළත් කළේ අනේ එයා දැන් නැතිවෙලා. කොහොමද දෙයියනේ මම මේ දුක දරාගන්නේ මහත්තයාට අමාරු නිසා අපි බැලුවේ එයාව හොඳ ප්‍රයිවට්‌ හොස්‌පිට්‌ල් එකකට අරන් යන්න. නමුත් මහත්තයාව අරන් යන්න වෛද්‍යවරුන් ඉඩ දුන්නේ නැහැ.

මියගිය රෝහල් සේවක කසුන් සමීරගේ පියාවන හොරණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දසරත් අබේසිංහ මහතා දැඩි කම්පනයෙන් යුතුව මෙසේ පැවැසීය.

පුතා කළුබෝවිල මහ රෝහලේ අවුරුද්දක්‌ තිස්‌සේ වැඩකළා. පුතා බැඳලා ඉන්න දුව වැඩකරන්නේ නාගොඩ රෝහලේ. පුතා රෝහලේ වැඩකරන අතරේ උණ හැදුණා. 27 වැනිදා එයා රෝහලේ වැඩ කරලා ගෙදර ආවා. අසනීප තත්ත්වය නිසා පුතා 28 වැනිදා හොරණ පුද්ගලික වෛද වරියකට පෙන්නුවා. ඇය කිව්වා පුතාට ඩෙංගු වෙන්න ඇති රුධිර පරික්‍ෂණයක්‌ කරන්න කියලා. ඒ අනුව හොරණ පෞද්ගලික වෛද්‍ය ආයතනයකින් පරීක්‍ෂණයක්‌ කළා. ඒ අනුව ඔහුගේ බ්ලඩ් කවුන්ට්‌ එක හොඳටම අඩු නිසා අපි පුතා වැඩ කළ කළුබෝවිල රෝහලට ඔහුව 29 වැනිදා හවස ඇතුළු කළා. ඔහුව ඇතුළු කළේ රෝහලේ තුනේ වාට්‌ටුවට. ඔහු එහි දින දෙකක්‌ හොඳ තත්ත්වයෙන් සිටියා. කතාබහත් කළා.

පසුව ඔහුව රෝහලේ එම්. අයි. සී. යූ. එකට මාරුකළා. ඒ දැම්මාට පසු පුතා කතා කළේ නැහැ. වෛද්‍යවරුන් කිව්වා ඔහුට බෙහෙත් විදලයි තියෙන්නේ කතා කරන්න එපා කිව්වා. පුතාගේ තත්ත්වය හොඳ නැති බව අපට පෙනුණු නිසා අපි පුතාව අයි. ඩී. එච්. රෝහලට අරන් යන්න වෛද්‍යවරුන්ගෙන් ඉල්ලුවා.

පුතාගේ බ්ලඩ් කවුන්ට්‌ එක දිගින් දිගටම අඩුවුණා. එයාව අරන් යන්න අපට දුන්නේ නැහැ. වෛද්‍යවරුන් කිව්වා පුතාගේ බ්ලඩ් කවුන්ට්‌ එක අඩුවෙනවා කියලා. එයාට අමාරුයි කියලත් කිව්වා. සෞඛ්‍ය ඇමැතිතුමා මගේ මිතුරෙක්‌. මම මේ ගැන එතුමාටත් කිව්වා. පස්‌සේ එතුමාගේ උපදෙස්‌ මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයන් පුතාගේ තත්ත්වය අහන්න මේ වෛද්‍යවරුන්ට කතා කරලා තිබෙනවා. එතකොට ඒ වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමැතිතුමාගේ නියෝජිතයන්ට පුතාට හොඳයි කියලා කියා තිබෙනවා. මේවා කැත වැඩ. ඇයි මේ අයට සෞඛ්‍ය බලධාරීන්ට ඇත්ත කියන්න බැරි. ඒකෙන්ම පේනවනේ ඒගොල්ලන්ගේ දුර්වලතා.

අනික්‌ එක තමයි පුතාගේ බ්ලඩ් සාම්පල් වගයක්‌ මම අරන් ගියා බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයට. ඒවා එහෙට ගිහින් භාරදුන්නාම කරන්න ඕන පරීක්‍ෂණය ලියලා නැහැ කියලා ඒ වෛද්‍ය පර්යේෂණායතනයේ නිලධාරීන් කළුබෝවිල රෝහලේ පුතාව බලපු වෛද්‍යවරුන්ට දුරකථන මාර්ගයෙන් කතා කරලා ඇහුවා. එහිදී රෝහල් වෛද්‍යවරුන් හරි වෙන කෙනෙක්‌ හරි එහිදී රෝහලේ වෛද්‍යවරුන් කියා තිබෙනවා එහෙම ලෙඩෙක්‌ නැහැ කියලා. අපි රිපෝට්‌ එකක්‌ එව්වෙත් නැහැ කියලා කියා තිබෙනවා. මෙන්න මේ වගේ තමයි පුතාට අසාධාරණ කම් වුණේ.

දැන් මේ රෝහලේ හිටපු සේවකයෙකු වූ මගේ පුතාට දක්‌වපු සැලකිල්ල පේනවනේ. ඉතිං ඩෙංගු හැදිලා මේ රෝහලට එන සාමාන්‍ය රෝගියකුට මේ වෛද්‍යවරු කියන අය කොහොම සැලකිල්ලක්‌ දක්‌වයිද?

ශ්‍රී ලංකා නිදහස්‌ සෞඛ්‍ය සේවා සංගමයේ (කළුබෝවිල ශාඛාව) ලේකම් එම්. පී. ජී. සමරසිංහ මහතා මෙසේ පැවැසීය.

දැන් මේ රෝහලේ සේවක සේවිකාවන් තුන්දෙනෙක්‌ ඩෙංගුවලින් මිය ගියා. මීට පෙර තවත් රෝහල් සේවක සේවිකාවන් 30 දෙනකු ඩෙංගු හැදිලා පීඩා වින්¹. දැන් අද වනවිටත් තවත් රෝහල් සේවකයන් කීපදෙනකුට ඩෙංගු හැදිලා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මේකට හේතුව රෝහල හරිහැටි සුද්ද පවිත්‍ර නොකිරීම. අනිත් එක අවුරුදු ගාණක්‌ වැඩ නතරවී ඇති නව මහල් ගොඩනැඟිල්ල. ඒ වගේම රෝහල වටා ඇති නිවාස පරිශ්‍ර සුද්ද පවිත්‍ර නොකිරීම, මෙච්චර සේවක මරණ තුනක්‌ වෙලත් සෞඛ්‍ය බලධාරීන් ඒ ගැන හරි හැටි සොයා බැලුවේ නැහැ. මේ නිසා අපි ඉදිරියේ දී රෝහල් සේවකයන්, ගම්වාසීන් සමඟ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා.

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා - රෝහල් වෛද්‍යවරුන්ගෙන් අසාධාරණයක්‌ වුණා කියලා මට ඔය කියන සේවකයාගේ පියා ඇවිත් තාම පැමිණිලි කළේ නම් නැහැ. ඔහු මා සමග කතා කළා. නමුත් ඔය දැන් කියන චෝදනා එකක්‌වත් මට මේ වෙනකම් ඔහු කියා නැහැ.

රෝහල අපි පුළුවන් තරම් පිරිසිදුවයි තියාගෙන ඉන්නේ. හැමදාම කාණු සුද්ධ පවිත්‍ර කරනවා.

- ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, උපාලි වෛද්‍යජීවක නුගේගොඩ සහ ඥනතිස්‌ස ජයවර්ධන බොරලැස්‌ගමුව_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩෙංගු සෑදී වේදනාවෙන් සිටි මගේ මහත්තයා ගැන වෛද්‍යවරුන් සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැහැ - බිරිය කියයි"

    Post a Comment