11 January, 2017

ලැබෙන ප්‍රතිචාර ගැහැනු ළමයින්ගෙන් වුණත් පිරිමි ළමයින්ගෙන් වුණත් භාරගන්නවා

rasanjana-nandasiri-wijaya-nandasiri

කලා කෙත පෝෂණය කරන්නට අමිල මෙහෙවරක් කරලා දැයෙන් සමුගත් ප්‍රවීන කලාකරු විජය නන්දසිරිගේ පුත් රසාංජනගේ ජීවිතේ එකම අපේක්ෂාව දැන් වෙනස්වෙලා.

ඒ කියන්නේ ඔහු බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ ගුවන් නියමුවෙක් වෙන්න.

නමුත් ඉතින් ඔහු ඒ අපේක්ෂාවට තවත් දෙයක් එකතුකරගෙන. ඒ සිය පියාගේ අඩි පාරේ යන්න.

ඉතින් ඒ ගමන යන්න සූදානම් වෙලා ඉන්න රසාංජන සිය ඉදිරි කලා කටයුතු ගැන පුවත්පතකට මෙලස සඳහන් කරලා තිබුණා.

රසාංජන තාත්තාගේ අඩි පාරේ යන්න ලෑස්තිද දැන් ?

මම ලංකාවට ආවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් නියමුවෙක් විදියට සම්බන්ධ වෙන්න. ඒක හින්දා ඒකට අවශ්‍ය විභාග කිහිපයක් ලංකාවේ කරන්න තියෙනවා.

මේ දවස්වල ඒවාටත් ලෑස්ති වෙනවා. ඒ ගමන් දැන් ටික දවසකට කලින් මගේ තාත්තා පළමුවැනියටම නිෂ්පාදනය කරපු කුස පබාවතී වේදිකා නාට්‍යයේ පුහුණුවීම් අපි පටන් ගත්තා.

ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබිලා කියලත් ආරංචියි ?

දැනටම ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලත් තියෙනවා. නමුත් මගේ ඉලක්කය වෙලා තියෙන්නේ පළමුවැනියටම වේදිකාවෙන් රංගන කටයුතු ආරම්භ කරන්න. මොකද මගේ තාත්තාත් මුලින්ම ආවේ වේදිකාවට. ඉතින් ඒ අඩිපාරේ යන්න තමයි මගේ කැමැත්ත.

දිගටම කලාවේ නිරත වෙන්නද හිතාගෙන ඉන්නේ ?

පුංචි කාලේ නම් මම තාත්තාගේ නිර්මාණවලට සහභාගි වෙලා තියෙනවා. 2003 වසරේදී තාත්තාගේ වෘෂභ රාජ නාට්‍යයෙන් තමයි මම මගේ රංගනය ආරම්භ කළේ.

ඉස්සර ඉඳන්ම මම තාත්තා කලින් නිෂ්පාදනය කරපු වේදිකා නාට්‍යවල වේදිකාව පිටිපස්සේ වැඩවලට ගොඩක් දායක වෙලා තියෙනවා. ඒ හින්දා මම හිතාගෙන හිටියේ කලාව විනෝදාංශයක් විදියට කරන්න.

නමුත් තාත්තාගේ හැර යෑමත් එක්ක ඒ බරපැන මට පැටවුණා. ඉතින් මම හිතාගත්තා තාත්තා වෙනුවෙන් කලාවට යමක් කරන්න ඕනි කියලා. මට දැනට තියෙන ලොකුම ඉලක්කය තමා කුස පබාවතී නාට්‍ය ජනවාරි මාසයේදී වේදිකාගත කිරීම.

රසාංජන රංගනය හදාරලා තියෙනවද ?

මම හිතන්නේ තාත්තා දිහා බලන් ඉඳීමම රංගන පාසලකට ගියා වගේ. පොඩි කාලේ ඉඳන්ම මම තාත්තා දිහා බලලා තමයි හැදුණේ. මොකද මටත් ඕනවෙලා තිබුණේ කවදාහරි තාත්තා වගේ වෙන්න. තාත්තා දිහා බලන් ඉඳලාම රංගනය ගැනත් මම ගොඩක් දේවල් අධ්‍යයනය කරලා තියෙනවා.

තාත්තාගේ හීනයක් තිබුණද කවදාහරි රසාංජනව කලාවට යොමු කරන්න ?

තාත්තා කිසිම මොහොතකදී කලාව කරන්න කියලා අපිට බලපෑම් කරලා නැහැ. පොඩි කාලේ වුණත් අම්මා, තාත්තා මගේ තීරණ මටම ගන්න ඉඩ දුන්නා.

පොඩි කාලේ ඉඳන්ම තාත්තාගේ හැම නාට්‍යයකම වගේම වේදිකාවෙන් පිටුපසින් මම ඉඳලා තියෙනවා. නමුත් කවදාවත් මට බලපෑම් කරලා නැහැ. හැබැයි මට දැන් හිතෙනවා තාත්තාගේ ඉලක්කයක් තියෙන්න ඇති යම්කිසි දවසක මාව කලාවට ගන්න.

මං ගුවන් නියමුවෙක් වෙන්න කරන වැඩ ගැනත් තාත්තා ගොඩක් ආසාවෙන් හිටියා.

තාත්තගේ ආභාසය අරන් ක්ෂේත්‍රයට එද්දි ප්‍රෙක්ෂකයෝ ඔබෙන් තාත්තව බලාපොරොත්තු වෙන එකක් නැද්ද ?

අනිවාර්යයෙන්ම. ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ තාත්තා කරපු දේ මාත් කරයිද කියලා වුණත් ඇත්තටම තාත්තා කරපු දේ මට කරන්න බැහැ. මොකද තාත්තා කියන්නේ කාලයක් තිස්සේ කලාව හදාරලා ඒ විෂයෙන් පෝෂණය වෙච්ච කෙනෙක්.

මම ඒ තරම් කලාව ගැන පෝෂණය වෙලා නැහැ. මොකද තාත්තා අවුරුදු 50ක් කලාවේ නිරත වෙලා හිටියා. ඉතින් මම හිතනවා ඔහුට යම් සාධාරණයක් මම කරයි කියලා.

නමුත් තාත්තා කරපු දේම කොපි කරලා පේස්ට් කරන්න මම කැමැති නැහැ. මගේ තියෙන හැකියාවෙන් ඉදිරියට යන එක තමයි මගේ බලාපොරොත්තුව.

රසාංජන කලා කටයුතුවලට යොමු වෙන්න ගත්ත තීරණයට අම්මා කැමැති වුණාද ?

ඔව්. අම්මා තමයි මට දැනට ඉන්න ලොකුම හයිය. මොකද තාත්තා ඉද්දි අපේ ශක්තිය වුණේ තාත්තා. ඉතින් තාත්තගේ අඩුව පුරවන්න අම්මා ගොඩක් දේවල් කරනවා.

මගේ පිටිපස්සෙන් යෝධ ශක්තියක් වෙලා අම්මා ඉන්නවා. මම කලාවට සම්බන්ධ වෙන එක ගැන අම්මගේ අකැමැත්තක් නැහැ.

ඉදිරියේදී රංගන ශිල්පියෙක් සහ පයිලට් කෙනෙක් විදියට ජීවිතයේ වැඩ කටයුතු බැලන්ස් කරගන්න පුළුවන් වෙයිද ?

අඩු වයසකදි මම මගේ ජීවිතේ ගොඩක් දේවල්වලට මුහුණදීලා තියෙනවා. ඉදිරියේදී කාලය කළමනාකරණය කරගෙන ගුවන් නියමුවෙක් විදිහට වගේම කලාවටත් උපරිම සාධාරණයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

මේ දවස්වල රසාංජනට තරුණියන්ගෙන් ප්‍රතිචාර වැඩියි කියන්නේ ඇත්තද ?

ඒ දේ මටත් තේරිලා තියෙනවා. ප්‍රතිචාර වැඩි එක ගැන සතුටුයි. ඒ ලැබෙන ප්‍රතිචාර ගැහැනු ළමයින්ගෙන් වුණත් පිරිමි ළමයින්ගෙන් වුණත් මම භාරගන්නවා.

රංගනය ගැන හිතනවා වගේම විශේෂ ගෑනු ළමයෙක් ගැනත් දැන් හිතලා ඇති නේද ?

තවම නැහැ. ඇත්තටම දැන් තියෙන වැඩකටයුතු එක්ක මට ගැහැණු ළමයෙක් ගැන හිතන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to " ලැබෙන ප්‍රතිචාර ගැහැනු ළමයින්ගෙන් වුණත් පිරිමි ළමයින්ගෙන් වුණත් භාරගන්නවා"

    Post a Comment