11 January, 2017

අප්‍රිකාවෙන් නවකයෝ 6ක් බසිද්දී ලංකාවෙන් අලුත් මුහුණු 2ක්

6-new-arrivals-from-africa-sri-lanka-2-new-faces

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ලබන 20 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයෙක් වන තික්ෂිල ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන් ඇතුළු ක්‍රීඩකයන් 9 දෙනකු දකුණු අප්‍රිකාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව තික්ෂිල ද සිල්වා, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයන් 9 දෙනා ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට ඇතුළත් කර ඇතැයි වාර්තා වන අතර දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මේ වනවිටත් දකුණු අප්‍රිකානු සංචාරයට එක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා විස්සයි -20 සංචිතයේ සෙසු සාමාජිකයන් ලෙස කණ්ඩායමට එක් වීමට වැඩි ඉඩකඩක් පවතින බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.

මෙම සංචාරයට එක්කර ඇති නවක ක්‍රීඩකයන් වන 23 හැවිරිදි තික්ෂිල ද සිල්වා චිලව් මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ විස්සයි -20 තරග 16කට සහභාගිවී එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 218ක් ලබා ඇති ක්‍රීඩකයකු වන අතර කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී) නියෝජනය කරන 25 හැවිරිදි වමත් දඟ පන්දු යවන්නකු වන ලක්ෂාන් සඳකැන් පළමු පෙළ විස්සයි -20 තරග 15කදී කඩුලු 16ක් බිඳ හෙළා ඇති ක්‍රීඩකයෙකි. තවමත් විස්සයි -20 වරම් ලබා නැතත් ජාත්‍යන්තර ටෙස්ට් තරග 3කට සහ එක් එක්දින තරගයක් ක්‍රීඩා කර ඇති සඳකැන් එහිදී පිළිවෙළින් කඩුලු 9 සහ 2 බැගින් දවා ගැනීමට සමත්ව තිබේ.

වමත් මඳ වේග පන්දු යවන්නකු වන ඉසුරු උදාන වසරකට පසු නැවතත් සංචිතයට කැඳවා තිබීමද විශේෂත්වයක් වන අතර එක් විස්සයි -20 තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති අසේල ගුණරත්නද සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත. ඔහු නිමාවූ සිම්බාබ්වේ සංචාරයේදී තුන් ඉරියව්වෙන් කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්විය.

මේ අතර දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි-20 තරග දෙක සඳහා ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් යුත් සංචිතය නම් කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක ෆර්හාන් බෙහාර්ඩියන් දකුණු අප්‍රිකානු විස්සයි -20 කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.

තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කළ සංචිතයට නවක ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත් කර තිබීම කැපී පෙනෙන සිදුවීමක් වන අතර නායක බෙහාර්ඩියන්, ඩේවිඩ් මිලර්, ඉම්රාන් තහීර් සහ ආරොන් පන්ගිසෝ යන සිවුදෙනා පමණක් දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට සහභාගිවූ විස්සයි -20 තරගාවලිය වන ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම නියෝජනය කර ඇත.

දකුණු අප්‍රිකානු විස්සයි -20 කණ්ඩායමේ සිටින ෆෆ් ඩු ප්ලෙසිස්, හශීම් අම්ලා, ජේ.පී. ඩුමිනි, කුවයිටන් ඩි කොක් සහ කගිසො රබාඩා වැනි ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් රැසක් එළඹෙන විස්සයි -20 තරගාවලියේදී විවේක ගැන්වීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

දකුණු අප්‍රිකානු සංචිතය -
ෆර්හාන් බෙහාර්ඩියන් (නායක), තෙයුනිස් ඩි බෘයින්, රීසා හෙන්ඩ්‍රික්ස්, ඉම්රාන් තහීර්, හෙයිනො කුන්, ඩේවිඩ් මිලර්, මන්ගලිසෝ මොසෙලි, ලුන්ගි එන්ගිඩි, වෙයින් පානෙල්, ඩේන් පීටර්සන්, ආරොන් පන්ගිසෝ, ඇනඩිලේ පෙහෙලුක්වායෝ, ජොන් - ජොන් ස්මට්ස්.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අප්‍රිකාවෙන් නවකයෝ 6ක් බසිද්දී ලංකාවෙන් අලුත් මුහුණු 2ක්"

    Post a Comment