11 January, 2017

මහින්දට යළි බලය දෙන්න අපිට පිස්සු නැහැ

buddhika-pathirana-mr-give-power-back-we-are-not-crazy

නවක මන්ත්‍රිවරුන් අතරින් ගත්විට ඔබ ඉදිරිපෙළ සිටින මන්ත්‍රිවරයෙක්. ඒත් ඔබට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්වත් ලැබුණේ නැහැ නේද?

ඒක ඉතින් අදාළ නෑනේ. මම වැඩ කරනකොට, කවදාවත්, විපක්‍ෂයේ සිටිනකොටවත්, ආණ්ඩු පක්‍ෂයේ සිටින කොටවත් තනතුරු තානාන්තර කියන කාරණය ජනතාව අතරට යන්න හෝ ජනතාවට වැඩ කරන්න මට ගැටලුවක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී මගේ භුමිකාවේදීත්, මාතර දිස්ත්‍රික් ජනතා භූමිකාවේදීත්, මම එදා විපක්‍ෂයේදීත්, අද ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරද්දීත් ඒ ආකාරයෙන්ම කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම සංවර්ධන ක්‍රියාදාමය මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමේදීත් තනතුරු තානාන්තර තිබීම හෝ නොතිබීම මට බාධාවක් නොවෙයි කියලා වැඩ කිරීමෙන් පෙන්වලා තිබෙනවා.

බඩු මිල වැඩියි. බදු බර වැඩියි. දඩ වැඩියි කියන එක හැමතැනින්ම ඇහෙනවා. බඩු මිලදී ගනිද්දී ඒ අමාරුව දැනෙනවා කියන්නත් පුළුවන්. නවක මන්ත්‍රිවරයකු ලෙස ජීවන වියදම වැඩිවීම පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

සහල් සම්බන්ධ කාරණයේදී ජනතාව යම්කිසි තැතිගැන්මකට ලක්වෙලා තියෙනවා කියන කාරණය සහ ජනතාව සහල් මිල පිළිබඳ දරන මතය සම්බන්ධ මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් බලනකොට ජනතාව දරන මතය සාධාරණයි කියලා අපට තේරෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව වහාම එක පැත්තකින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග පුළුවන් තරම් සහල් බවට පත්කරලා ජනතාව අතට පත් කරන්නත්, එක පැත්තකින් ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණය ආනයනය කරන්නත් කටයුතු කරලා තියෙනවා.

සහල් අර්බුදයට හේතුව මොකක් කියලාද ඔබ හිතන්නේ?

ඇත්තටම මේ අර්බුදය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ගෙවුණු දෙදහස් දහසය වර්ෂයේ වර්ෂාපතනය, දෙදහස් පහළොව වර්ෂයේ වර්ෂාපතනයත් එක්ක බලනකොට ලොකු අඩුවක් තිබීම. දෙදහස් දාහතෙත් පුරෝකතනය කරලා තිබෙනවා පළමුවැනි මාස කීපයේදී දැඩි නියං තත්ත්වයක් ඇති වෙනවා කියලා. මේක සහල් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි තවත් බොහෝ කෘෂිකාර්මික බෝග සම්බන්ධයෙන් බලපාලා තිබෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා නම් යම් දෙයක එහි ඉල්ලුම වැඩි තත්ත්වයක් යටතේ මිල එහා මෙහා වෙනවා.

ආණ්ඩුව මේ තත්ත්වය පාලනය කරන්න මැදිහත් විය යුතුයි නේද?

ආණ්ඩුවට සමහර වෙලාවට පාලනය කළ හැකි තත්ත්වයන් තියෙනවා. ආණ්ඩුවට පාලනය කළ නොහැකි තත්ත්වයන් තියෙනවා. පාලනය කළ නොහැකි තත්ත්වයන්වලදී වෙනත් විකල්පවලට යනවා. ඒ නිසා තමයි සහල් ආනයනය වැනි ක්‍රමවේදවලට ගිහින් තියෙන්නේ. වර්තමාන ආණ්ඩුව දවස් සියයේ ආණ්ඩුව තුළ පවා සිද්ධ කළේ ඉතා පැහැදිලිව ජනතාවට වඩාත් සහන ලබාදෙන ජීවන වියදම අඩුකිරීමේ ක්‍රමවේදයක්. ඉන්පසුව පසුගිය අගෝස්තු මාසයේ 17 වැනිදා ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඉදිරිපත් කළ අයවැය ලේඛන දෙකෙන්ම යම් යම් බඩු භාණ්ඩ ගණනාවකම මිල අඩු කිරීම් කළා. වර්තමාන සමය චේතනාන්විතව ජනතාව තළන්න පෙළන්න නම් ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නැහැ.

ඒ නිසා පාලනය කළ නොහැකි බලවේග විසින් ඇති කරපු නියඟය වැනි තත්ත්වය පමණයි මේ සඳහා බලපාන්නේ.

ඔතැනදී ජනාධිපතිවරයාගේ සහෝදරයකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියලා තිබෙනවා ආණ්ඩුව වී ගඩබා කරගෙන සිටිනවා මිස වෙළෙඳපොළට දාන්නේ නැහැ කියලා. මේ සම්බන්ධව පිටස්තර පුද්ගලයකු එනම් වී මෝල් හිමියකු ප්‍රකාශයක් කිරීම හරියි කියලා ඔබ හිතනවද?

මේ ප්‍රකාශය මම දැක්කේ නැහැ. ජනාධිපතිවරයාගේ සහෝදරයා පිළිතුරු ලබාදිය යුතු ප්‍රශ්නයක්. මම පිළිතුරු ලබාදිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. වෙනම කාරණා ගැන සාමාන්‍යයෙන් මම කතා කරන්නේ නැහැ.

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ කියනවා ආණ්ඩුව පෙරළනවා කියලා. යූඇන්පී එකට ඇඟිල්ල එහෙන් මෙහෙන් දික්කරන බවකුත් පේනවා. මේවාගෙන් එක්සත් ජාතික පක්‍ෂය කලබල වෙලාද ඉන්නේ?

කොහෙත්ම කලබල වෙලා නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා කවදාවත් ආණ්ඩුවක් හදලා ආණ්ඩුවක් කරපු නායකයෙක් නෙවෙයි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ධුර කාලය අවසන් වීමෙන් පසු එහි අනුප්‍රාප්තිකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහත්තයා මැතිවරණයකින් ජයග්‍රහණය කළා.

හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග අනූ හතර වර්ෂයේදී ජයග්‍රහණය කළේ එහෙම නෙවෙයි. අවුරුදු දහඅටක එක්සත් ජාතික පක්‍ෂ පාලනයක් පරාජයට පත් කරලයි ජනාධිපති ලෙස ජයග්‍රහණය ලැබුවේ. ඒ රාජ්‍ය බලය හා රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරලා මහින්ද රාජපක්‍ෂ අගමැති පුටුවේ වාඩි වුණේ සහ ජනාධිපති ධුරයට ආවේ.

කොයිම වෙලාවකවක් විපක්‍ෂයේ ඉඳගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලියක මහින්ද රාජපක්‍ෂ මහත්තයා හිටියේ නැහැ. දෙදහස් හතර වසරේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පෙරළන මොහොතෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති පුටුවේ හිටියේ. ඒ නිසා එතුමා කියන දේ සලකන්න බැහැ.

මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය පාර්ලිමේන්තුවේ හඬක් නංවන බවක් පේනවා නේද?

එතුමා පාර්ලිමේන්තුවේ එකසිය දහතුනක් හදාගන්න එපැයි. එතුමට ඉන්නේ මන්ත්‍රිවරු පනහයිනේ. ඒ ඔක්කොම කළත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මහින්ද රාජපක්‍ෂ මහත්තයට ආරාධනා කරන්න එපැයි අගමැති විදියට එන්න කියලා. ඒ නිසා මේවා මේ මිනිසුන්ගේ මයිල් කෙළින් වෙන්න කියන විහිළු සහගත කතා.

රාජ්‍ය ඇමැතිවරුන්ට ආණ්ඩුව එපාවෙලා කියනවා. එපා වෙන්න තරම් ආණ්ඩුව ඇතුළේ කරුණු කාරණා සිදුවෙලාද?

මෙහෙමයි. ඔබ පළමුවැනි ප්‍රශ්නයට ඇසුවේ මට තනතුරු නොලැබීම කියන කාරණය ගැනයි. මට තනතුරු නොලැබීම කියන කාරණය නොසලකා හරිමින් මම පෙන්වලා තියෙනවා සාමාන්‍ය මන්ත්‍රිවරයකු ලෙස මගේ ගමන. ඉතින් ඒ නිසා තනතුරු තානාන්තර නොලැබුණත් අපි මේ ආණ්ඩුව රැකගන්න හදන්න හේතුවක් තියෙනවා. අපට පිස්සුවක් නෑ මහින්ද රාජපක්‍ෂ මහත්තයා අතට ආයෙත් බලය යන ක්‍රමවේදය හදන්න. ඒ නිසා ආණ්ඩුව එපා වුණු කවුරුහරි රාජ්‍ය ඇමැතිවරු ඉන්නවා නම් ඒ අය ඒක ගැන කතා කරන්න ඕන. අපට අවශ්‍ය සංවර්ධනය වෙනුවෙන්, ජනතාවගේ නිදහස වෙනුවෙන් රැකීරක්‍ෂා ජනිත කරවීම වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් වර්තමාන ආණ්ඩුව පවතින්න.

විද්‍යාව හැදෑරූ පුද්ගලයකු ලෙස විභාගයට මුහුණදීමට සිටින සිසුන්ට ආශිර්වාද ගන්වපු පෑනක් ලබාදීම වැනි කටයුතු අනාගත පරපුර මිථ්‍යාවේ ගිල්වීමක් කියලා ඇහෙන කතා අතර තියෙනවා නේද?

එහෙම කියන අය ඉන්නවා නම් ඔවුන් මිථ්‍යාව සහ යථාර්ථය අතර වෙනස දන්නේ නැහැ. එහෙම මිථ්‍යාව සහ යථාර්ථය අතර වෙනස දන්නේ නැති මෝඩයන්ට මගේ දැනුම නැහැ. සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් පිළිබඳ බුද්ධ ශාසනයේදී අපි කතා කරනවා. මේ ගැන දන්නේ නැති අය ඉන්නවා නම් රේණුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත කියවන්න කියලා මම ඒ අයට ආරාධනා කරනවා.

ඔබ කියන්නේ එය මිථ්‍යාව වැපිරීමක් නොවන බවද?

පළමුවැනි කාරණය අපි උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ලියන දරුවන් වෙනුවෙන් සෑම වර්ෂයකම ආශිර්වාද බෝධි පූජාවක් කරනවා. ඒක සමාජය තුළ විවේචනය කරන්නේ නැහැ.

එහෙනම් කවුද විවේචනය කරන්නේ?

පුංචි දරුවන් වෙනුවෙන් මම කරන වැඩපිළිවෙළ දරාගන්න බැරිව කුහකයන් කීපදෙනකු තමයි මේක විවේචනය කරන්නේ. මේ ජාත්‍යන්තර බලවේගයත්, ජාත්‍යන්තර බලවේගවල දුෂ්ට දේශීය නියෝජිතයොත්, ඩොලර්වලට කහින විදේශීය දුෂ්ට බලවේගවල කකුල් ලෙවකන, දුෂ්ට බලවේගවලට වුවමනාවක් තියෙනවා මේ රටේ දෙමළ ජනතාව, බෞද්ධ ජනතාව, ක්‍රිස්තියානි ජනතාව සහ කතෝලික ජනතාව ආගමත් එක්ක තියෙන බැඳීමෙන් ගලවලා මේ අයව අනාගමික කරන්න. අනාගමික කරලා ලංකාවේ ආගමික පදනම ගලවලා දැමීමේ කුමන්ත්‍රණයට සම්මාදම් වෙන දේශීය හා විදේශීය ඒජන්තයන් තමයි කියන්නේ අපි මිථ්‍යාදෘෂ්ටික විශ්වාසත් එක්ක ඉන්නවා කියලා. අපේ සමාජය කියන්නේ නැහැ ඒක.

ඔබ දිගටම මේ ආශිර්වාද පූජාවන් කරනවාද?

මේ වසරේදීත් ගණදෙවි පූජාවන් තියෙනවා. බල්ලෝ බිරුවත් සඳ බැබැළෙයි. අපි අපේ ගමනානන්තයක් දක්වා යනකොට පාර දෙපැත්තේ බුරන බල්ලෝ දිහා බල බලා හිටියොත් අපේ ගමන යන්න වෙන්නේ නැහැ. ඒ නිසා බුරන බල්ලෝ මං ගණන් ගන්නේ නැහැ.

සමාජය හරි මඟට ගැනීමට කරන කටයුත්තක් ඔබ කරනවා කියලයි මේ කියන්නේ?

සමාජයක් හික්මවන්න පුළුවන් ආගමෙන්. මම ලංකාවේ ළාබාලතම දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා. මම හැමතිස්සෙම කහ සිවුර අනිත් පැත්තෙන්, පන්සල අනිත් පැත්තෙන්, ආගමික අධ්‍යාපනයත් සමඟ ඉන්න කෙනෙක්, මම ඉතා පැහැදිලිව සඳහන් කරන්න ඕන ලංකාවේ බුදුදහමත් සමඟ බොහෝ පන්සල්වල විෂ්ණු දෙයි හාමුදුරුවන්ගේ සහ කතරගම දෙයිහාමුදුරුවන්ගේ දේවාල තිබෙනවා. අනිත් එක අපව විවේචනය කරන අයට මතක නැහැ අපි පුංචි කාලේ ඒ අය බෞද්ධ නම් ඒ අය හින්දු නම් ඒ අයට අම්මලා තාත්තලා අකුරු කියවනකොට ගණදෙවි රූපයක් තියලා අකුරු කියෙව්වා කියලා.

අනිත් එක අපි බෝධි ජූජාවක් තියලා ජය පිරිත කියලා ඉන්පසුව ගණදෙවි පූජාව පැවැත්වූයේ. ඒ වගේම අද සමාජයේ වුණත් අෑත සමාජයේ පවා ගණදෙවි හෑල්ල සහ සකස්කඩ කියවීම අපේ සංස්කෘතියත් එක්ක අපේ අධ්‍යාපනයත් සමඟ බැඳිලා තිබෙනවා. සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට කියලා එදා ජනවහරේ කීවේ ඒ නිසයි.

සංවාදය - රසිකා හේමමාලි _මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහින්දට යළි බලය දෙන්න අපිට පිස්සු නැහැ "

    Post a Comment