28 December, 2016

බඹර පදම එක්ක නිරංජනී තියන ඊළඟ අඩිය මොකද්ද?

niranjania-shanmugaraja-paper-article

 නිරංජනි මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ?

හිරු මෙගා ස්ටාර් නිසා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.

 ගායිකාවක් විදියටත් නිරංජනි දැන් කලඑළි බැහැලනේ?

ඔව්. මම බඹර පදම කියලා ගීතයක් රිලීස් කළා.

 නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වෙලා හිටි හැටියේ ගායිකාවක් වෙන අදහසක් ආවේ?

ඇත්තටම මට ගායිකාවක් වෙන්න තමයි වුවමනාව තිබ්බේ. ගායිකාවක් වෙන්න කලින් මට නිවේදිකාවක්, නිළියක් වෙන්න ලැබුණා. ඊට පස්සේ තමයි ගායිකාවක් වෙන හීනය හැබෑ වුණේ.

 සිංහල ගීතයක් කරන්න හිතුවේ?

මගේ භාෂාව දමිළ භාෂාව. මම ඒ භාෂාව දන්නවා. මට සිංහල භාෂාවෙන් ගීත කියන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් මම ඉදිරියටත් ගීත ගායනා කරන්න හිතාගෙන ඉන්නෙ. දමිළ ගීතයක් ගයන්නත් ආරාධනාවක් ලැබුණොත් ඒ ගීතයකුත් ගායනා කරනවා.

කොහොමද නිරංජනි කියන ගායිකාවට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මේ ගීතය නිකමට කරලා බැලුවේ. මම ඊළඟට කරන ගීත ඊට වඩා මහන්සි වෙලා කරන්න හිතාගෙන ඉන්නේ.

 කරන දේ මහන්සි වෙලා කරන රංගන ශිල්පිනියක් වුණාට නිරංජනිව නිර්මාණ අඩු ප්‍රමාණයක දකින්න ලැබෙන්නේ ඇයි?

ඇත්තටම දමිළ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක සීමාවකට කොටු කරලා තියෙන්නේ. අපිව ගොඩක් වෙලාවට ගන්නේ යුද්ධය පසුබිම් කර ගත්ත නිර්මාණවලට. නැත්නම් දමිළ චරිතවලට. ඉතින් එකම දෙයින් පේන්න මම කැමැති නෑ. ඒකයි මම ගොඩක් නිර්මාණවල පේන්න නැත්තේ. ඒ වගේම නිර්මාණ ගොඩක මාව පේන්න නැති වෙන්න තවත් හේතුවක් තියෙනවා.

 ඒ මොකද්ද?

අපිට අඩු ගෙවීම්වලට තමයි නිර්මාණවලට කතා කරන්නේ. අපි ලොකු ගණන් ඉල්ලන්නේ නෑ. සාධාරණ මුදලක් අපි ඉල්ලන්නේ. මොකද අපිත් කරන දෙයට උපරිම කැප වෙනවනේ. එහෙම අඩු මුදලට වැඩ කරනවට වඩා වැඩ නොකර ගෙදර ඉන්න එක හොඳයි. ඒකයි මම නිර්මාණ ගොඩක පේන්න නැත්තේ.

 මුදල නිසා හොඳ වැඩක් වුණත් අතහරිනවාද?

හොඳ චරිතයක් නම් වෙනස් චරිතයක් නම් මම ලැබෙන මුදල ගැන නොහිතා වැඩ කරනවා. නමුත් ඒක හැමදාම කරන්න බැහැ. මේක අපේ වෘත්තියනේ. අපිටත් වගකීම් තියෙනවනේ ඉෂ්ට කරන්න.

 නිළියක් වුණු එක ගැන කලකිරීමෙන්ද ඉන්නේ?

කලකිරීමක් නැහැ. නිළියක් වීම ගැන සතුටුයි. ඒත් අපේ දක්ෂකම තිබිලත් අපි ඒ දක්ෂකම ලෝකෙට පෙන්නලත් අපිව අඩු මුදලකට ගන්න එක ගැන දුකයි.

 නිරංජනිට ජනප්‍රිය වෙන්න ආසාවක් නැද්ද?

ඇත්තටම මම කැමැතියි මගේ නම කියපු ගමන් ප්‍රේක්ෂකයන්ගේ හිතේ ආදරයක් ඇති වෙනවා නම්. මට ප්‍රසිද්ධ නොවී ජනකාන්ත නිළියක් වෙන්නයි ඕනේ. හිරු මෙගා ස්ටාර්වලින් මම ජනප්‍රිය වෙයි. මම මට ලැබෙන හැමදෙයින්ම මගේ උපරිම දක්ෂතාව පෙන්වන්න උත්සාහ කරනවා.

 දමිළ ශිල්පීන් රියැලිටිවලට සම්බන්ධ වෙනවා අඩුයි. හිරු මෙගා ස්ටාර්වලට නිරංජනිට ආරාධනා ලැබෙන්න විශේෂ හේතුවක් ඇති?

මේ මම සම්බන්ධ වුණු පළමු වැනි රියැලිටි වැඩසටහන. ඒ වැඩසටහනේ ඉන්න එකම දමිළ රංගන ශිල්පිනිය මම. ගොඩක් රියැලිටිවල ශිල්පීන් සම්බන්ධ කර ගන්නේ ජනප්‍රියත්වයත් එක්ක. ඉතින් මම ගොඩක් ජනප්‍රිය නැහැ. මට රියැලිටි වැඩසටහන්වලට ආරාධනා නොකර ඉන්න එක සාධාරණයි. මම හිරු ෂෝවලට යනවා. හිරු එකෙන් මට සම්මානයකුත් ලැබුණා. ඉතින් මට මේ වැඩසටහනට ආරාධනා ලැබුණම සතුටින් භාර ගත්තා. මමත් ආර්යන් කණ්ඩායම එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 මේ දවස්වල පාතාලයටත් බැඳිලනේ ඉන්නේ?

ඔය කියන්නේ මීදුම් තරණ ටෙලි නාට්‍යය ගැනනේ. මේ නාට්‍යයේ මම නිරූපණය කරන්නේ පාතාලයට සම්බන්ධ චරිතයක්. මම දැනට ටෙලි නාට්‍ය හතරක් කරලා තියෙනවා. මේක මම කළ චරිතවලින් වෙනස් චරිතයක්. මම ඒ වගේ වෙනස් සහ අභියෝගාත්මක චරිත කරන්න කැමැතියි.

 සිනමාවේ වෙනස් වැඩකට ආරාධනා ලැබුණා කියලත් ආරංචියි.

ඔව් දැනට සිනමාවේ වෙනස් චරිතයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

 පසුගිය කාලේ නිරංජනි සිනමා නිර්මාණයක් නියෝජනය කරලා ජාත්‍යන්තරයටත් ගියානේ?

මගේ දෙවැනි චිත්‍රපටය "රතු සමනල සිහිනේ". ඒ චිත්‍රපටය තාම ලංකාවේ තිරගත වුණේ නැහැ. ඒත් ඒක ලෝකය පුරාම ජාත්‍යන්තර සිනමා උළෙලවලට තෝරාගත්ත චිත්‍රපටයක්. ඉතින් මටත් ඒ චිත්‍රපටය නියෝජනය කරලා ඉන්දියාවේ සිනමා උළෙලකට සහභාගි වෙන්න ආරාධනා ලැබුණා.

 රංගන ජීවිතය ගැන කතා කළානේ. දැන් පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු. දැන්මම එකලාසයක් වෙන්න අදහසක් නැද්ද?

දැන් තමයි මගේ පීක් ටයිම් එක පටන් ගත්තේ. ඉතින් මට දැන් කලාව වෙනුවෙන් දෙයක් කරන්න ඕන. විශේෂ කෙනෙක් දැනට ඉන්නවා. විවාහයට තාම කාලය ඇවිත් නැහැ කියලා හිතන්නේ. ඒ දේවල් වෙන්න ඕන විදියට සිද්ධ වෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බඹර පදම එක්ක නිරංජනී තියන ඊළඟ අඩිය මොකද්ද? "

    Post a Comment