24 December, 2016

ලොව උසම නත්තල් ගස ගිනස් වාර්තා පොතේ ලියෙවෙයි ද?

worlds-tallest-christmas-tree-sri-lanka

නත්තල් දවසේ රාත්‍රී දොළහට දුප්පත් ගව මඬුවක බිහිවුණු සාමයේ කුමාරයාගේ මේ අසිරිමත් උපත ලොව පුරා සිටින කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් ආදරයකින්. භක්තියකින්. නත්තල කියන්නේ කිතුණු බැතිමතුන්ට ප්‍රීති මංගල්‍යයක්. මේ නත්තල් මංගල්‍යයේදී විවිධ නිර්මාණ සැරසිලිවලින් නිවෙස්, දේවස්ථාන අලංකාර කරන්නේ නත්තලේ අසිරිය විදහා පාමින්.

නත්තල් සැරසිලි අතරින් ප්‍රධාන තැනක් ගන්නා නිර්මාණයක් තමයි නත්තල් ගස. සීතල උඳුවප් මාසයේ ආරම්භයත් සමඟ සෑම කතෝලික නිවෙසකම පුංචි හෝ නත්තල් ගසක් ඉදි කෙරෙනවා. එහෙත් නත්තල් ගස ඉදිකිරීම නිවෙස්වලට පමණක් සීමා වෙලා නෑ. 

අද වන විට ලෝකයේ විවිධ රටවල, විවිධ නගරවල අලංකාර නත්තල් ගස් ඉදිවෙනවා. මේ විදිහට නත්තල් ගස් නිර්මාණය වෙද්දී ඒ අතරින් කීපයක් ගිනස් වාර්තා පොතටත් ඇතුළත් වුණා. 2009 වසරේ මෙක්සිකෝවේ ඉදිකර තිබූ උසකින් යුතු නත්තල් ගස දැනට ඉදිකර ඇති උසම කෘත්‍රිම නත්තල් ගසට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියනවා.

එහෙත් ඔබ මේ දකින්නේ ලොව ඉදිකර ඇති උසම කෘත්‍රිම නත්තල් ගසයි. මෙය ඉදිකර තිබෙන්නේ අපේම රටේ වීම මෙහි ඇති විශේෂත්වයයි.

කොළඹ ගාලු මුවදොර (Galle face) පිටියේ ඉදිකර තිබෙන මෙම යෝධ නත්තල් ගසේ උස මීටර් 114ක්. ජී. අයි. යකඩ පයිප්පවලින් සැකිල්ල නිමාකර, කුකුළු දැල්වලින් ආවරණය කර එහි පයිනස් මල් එල්ලා, ඇති මෙම යෝධ නත්තල් ගස එල්ඊඩී විදුලි බුබුළු ලක්ෂ 5 කින් පමණ රාත්‍රියට අලංකාර කෙරෙනවා.

ලෝක වාර්තාවක් පිහිටවූ මෙම නත්තල් ගස ඉදිකරන්නට මුල් වූයේ බෞද්ධයන් පිරිසක් වීමත් මෙහි විශේෂත්වයක්. ඒ පිළිබඳව අදහස් දැක්වූයේ සුසන්ත අත්තනායක මහතා. ඔහු අර්ජුන රණතුංග සමාජ සත්කාර පදනමේ සභාපති ලෙස කටයුතු කරනවා.

“අපි මෙම නත්තල් ගස ඉදිකිරීම ආරම්භ කිරීමට සිතුවේ සුවිශේෂී කෘතගුණ දැක්වීමක් ලෙසයි. අපි දැනට වසර 5ක් පමණ කාලයක් ප්‍රයිමුවර් රියැදුරන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැයකට රුපියල් 300 ක වැනි දෛනික වැටුපකට සේවය කළා. 

ඒ කාලයේ අපි එවකට තිබුණු රජයෙන් ඉල්ලීම් කළා අපේ සේවය ස්ථිර කර දෙන ලෙස. අපේ මෙම පිරිස 62ක්. අපි කොටුව දුම්රිය පොළ ළඟ විරෝධතා ව්‍යාපාරයක පවා නිරත වුණා. නමුත් කිසිම කෙනෙක් ඊට ඇහුම්කන් දුන්නෙ නෑ. ඊට පස්සෙ 2015 රජය වෙනස් වෙලා අර්ජුන රණතුංග මැතිතුමා වරාය ඇමැති ලෙස පත්වුණා. අපි සියලුම දෙනා එතුමා මුණගැසිලා අපේ ගැටලුව ඉදිරිපත් කළා. 

එතුමා සානුකම්පිතව බලලා එවකට සිටි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කළා අපට සිදුවී තිබුණු අසාධාරණය ගැන. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය දැඩි සේ විරුද්ධ වුණා. නමුත් කැබිනට් අමාත්‍යවරයකු ලෙස එතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපේ රැකියා ස්ථිර කිරීමට කැබිනට් අනුමැතිය අරගත්තා. ඒ අනුව අපේ රැකියා ස්ථිර වුණා. ඉතින් අපි ඊට කළගුණ සැලකීමක් ලෙස තමයි මේ වගේ නිර්මාණයක් කිරීමට පෙලඹුණේ.

අපි රියැදුරන් හැටියට හිටියට විවිධ කලා හැකියාවන් තිබෙනවා. ඒවායින් රටට කීර්තියක් ගෙන දෙන ලෙස මේ නිර්මාණය අපි කරනවා. මේ අතරින් ප්‍රමුඛස්ථානය ගන්නේ එච්. ඩී. මහින්ද නානායක්කාර. ඔහුට මෙවැනි නිර්මාණයක් බය නැතුව කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඔහු සමඟ ඔහුට පිටුපසින් ඉඳගෙන සියලුම සහයෝගය ලබා දෙමින් තමයි අපි මේ නිර්මාණය කළේ.

අපිට මේ වගේ දෙයක් කරන්න මුදල් බලය, රාජ්‍ය බලය නෑ. නමුත් මේ වගේ දෙයකට ඒ දෙකම අවශ්‍යයි. විශේෂයෙන් ගෝල්ෆේස් පිට්ටනිය වගේ තැනක් ගන්න අවසර ඕනමයි. අපිට ඊට අවසරය ලබා දෙමින් ඒ හැම දෙයක්ම කරන්න ඇමැතිතුමාගේ ආශිර්වාදය ලැබුණා. ඒ සමඟම මෙම නත්තල් ගසේ සංවිධායක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් මංගල පී. ගුණසේකර මැතිතුමා. එතුමාගේ අනුදැනුම මත තමයි අපි හැම දෙයක්ම කළේ. අපි දහදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තමයි මෙතැන මූලික කටයුතු කරන්නේ.

ඒ තමයි මහින්ද නානායක්කාර, සුසන්ත අත්තනායක, භාග්‍ය කේ බණ්ඩාර, එල්. කේ. බී. රත්නායක, චන්දික ප්‍රසාද්, ශාන්ත ජූඩ් ද මැල්, සම්පත් ගුණරත්න, එස්. හර්ෂරත්න, එච්. ජී. ඩී. සුසන්ත සහ ආර්. එම්. එන්. රාජපක්ෂ කියන පිරිස.

අපි දහදෙනාගෙන් 09 දෙනෙක්ම බෞද්ධයෝ. ජූඩ් ද මැල් පමණයි කතෝලික කෙනෙකුට ඉන්නෙ. අපි 62 ‍ගෙන් ඉතිරි සියලුම දෙනාත් උපරීම සහයෝගය ලබා දුන්නා. ඔවුන් හැම දෙනාම රාජකාරි කටයුතුවලට පාඩුවක් නොවෙන්න ස්වෙච්ඡාවෙන් පැමිණ මෙහි වැඩ කටයුතු කළා.

තවත් විශේෂ දෙයක් කියන්න ඕන. මේ නිර්මාණයට අපි වරාය අධිකාරියෙන් ඇණ මුරිච්චියක දෙයක්වත් අරගෙන නෑ. දොඹකර, වෑල්ඩින් ප්ලාන්ට් ආදිය කිසිම දෙයක් නත්තල් ගහ වෙනුවෙන් යොදවාගෙන නෑ.”

එහෙත් මෙවැනි දැවැන්ත නිර්මාණයකට අතිවිශාල මුදලක් වැය වෙයි. මෙය එක් කෙනෙක්ගෙ ධනස්කන්දයකින් කළ දෙයක් නෙමෙයි. මේ සඳහා විවිධ ආයතන විවිධ සංවිධාන අපිට ආධාර කරලා තියෙනවා. ප්‍රධාන ලෙසම අපට වියදමක් ගිහින් තියෙන්නෙ ජී. අයි. යකඩ බටවලට සහ දැල්වලට පමණයි. විශේෂයෙන් මිනිස් ශ්‍රමය මිල කරන්න බෑ. අපි සියලුම දෙනා මීට දායක වෙන්නෙ ස්වෙච්ඡාවෙන්. කිසිම මුදලක් බලාගෙන නෙමෙයි. ඒ වගේ ම දවල් රෑ නැතුව නිදි වරාගෙන, අව්වේ පිච්චී පිච්චී ඔවුන් වෙහෙස වුණේ අපේ රටට – අභිමානයක් ලබා දෙන්න.

තවත් විශේෂ දෙයක් කිව යුතුයි. අපි මේ කටයුත්තට මුල පිරුවේ පසුගිය අගෝස්තු මාසයේ. ඒත් අගරදගුරු තුමාගේ නියෝගයට ගරු කරලා අපිට දවස් 6ක් වැඩ කටයුතු නතර කරන්න සිදුවුණා. ඒ වන විටත් සෑහෙන්න වැඩ අවසන් කර තිබුණු නිසා අපට හරිම සිත් රිදීමක් වෙලා හිටියේ. ඒ නිසා අපි කිසි කෙනෙක් ගියේ නෑ මෙතැනම හිටියා. ඒත් අපි එක කොළ කෑල්ලක්වත් ඇහින්දෙ නෑ මොකද උන්වහන්සේගේ නියෝගයට පිටින් අපි වැඩ කරනවා කියලා කවුරුහරි කිව්වොත් හොඳ නැති නිසා. අන්තිමේ ගරු අගමැතිතුමා මැදිහත් වෙලා අපිට මේ කටයුත්තට අවසර ලැබුණා.”

මෙම යෝධ නත්තල් ගස ඉදිකිරීම සඳහා ජි. අයි. පයිප්ප දහසක්, කුකුළු දැල් රෝල් 200ක් පමණ ද ගසේ කඳ සකස් කිරීම සඳහා අඩි 14 1/2 ලොරි තට්ටු 10ක් පමණ පිරවූ පිට පලු ද වැයවී තිබේ. ගස සැරසීම සඳහා පයිනස් මල් ලක්ෂ 15ක් පමණ යොදාගෙන ඇති අතර, නත්තල් ගස අලංකාර කිරීම සඳහා බල්බ් ලක්ෂ 5ක් පමණ ද යොදාගෙන තිබේ.

ගසෙහි වට ප්‍රමාණය වට අඩි 76ක් පමණ වන අතර මෙහි යකඩ බර ටොන් තිහක් පමණ වෙයි. මෙම යෝධ නත්තල් ගස දැක ගැනීම සඳහා විශාල විදේශීය සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීම සඳහා සංචාරක හෝටල් වෙන් කරවාගෙන ඇතැයි වාර්තා වන අතර, ලොව උසම නත්තල් ගස සඳහා ගිනස් වාර්තාව හිමි රට ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ තව තවත් බැබළෙනු ඇත.

මෙම නත්තල් ගස ඉදිකිරීමෙන් පසු ලැබෙන ද්‍රව්‍යමය ආධාර අනාථ නිවාසවලට සහ වැඩිහිටි නිවාසවලට ලබා දීමට කටයුතු කරන බවත්, ලැබෙන සියලුම මූල්‍යමය ආධාර ජනාධිපති වකුගඩු අරමුදලට ලබා දීමට ද කටයුතු කරන බව පැවසීම නත්තලේ සැබෑ අරුත යථාර්ථයක් බවට පත්කිරීමක් වනු ඇත.

ඉඳුනිල් වීරරත්න_ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලොව උසම නත්තල් ගස ගිනස් වාර්තා පොතේ ලියෙවෙයි ද?"

    Post a Comment