23 November, 2016

මේනකා මෙදාපාර හැබෑ කරගන්න හදන හීනය මොකද්ද?

මේනකා මෙවරත් හොඳම නිළි සම්මානය ලබනවා. හොඳම නිළි සම්මානය දැන් නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි නේද?

හොඳම නිළිය සම්මානය සිය පාරක් ලැබුණත් මට ඒ අත්දැකීම නුහුරු නුපුරුදුයි. සම්මානයක් වෙනුවෙන් මේනකා පීරිස් කියන නම කියවෙද්දි දැනෙන්නේ විශේෂ හැඟීමක්. ඒ මොහොත තව පැය දෙක තුනකට දික්වෙනවා නම් මම ආසයි.

සම්මාන කොච්චර ලැබුණත් සිග්නීස් හොඳම නිළි සම්මානය ගැනත් බලාපොරොත්තු තියෙන්න ඇති නේද?

ඇත්තටම නෑ. මොකද මම මේ සම්මානය වෙනුවෙන් නිර්දේශ වෙලා කියලවත් දැනගෙන හිටියේ නැහැ. මේක මට ගහෙන් ගෙඩි එන්න වගේ ලැබුණු සම්මානයක්. මට ඉන්විටේෂන් එක ලැබුණු නිසා මම ගියා. දිනුෂා රාජපතිරණ සහ මගේ අම්මා තමයි මගේ දෙපැත්තේ හිටියේ. සම්මානය වෙනුවෙන් හේතු පාඨය කියද්දි මම දිනුෂාව කෙනිත්තුවා. එයාගේ අතේ ඒ නියපොතු පාර තාම ඇති.

නොමිනේට් වුණා කියලා නොදැනද සම්මාන උළෙලට ගියේ?

ඔව්. මට ඉන්විටේෂන් එකක් ලැබුණොත් මට සම්මාන නැතත් ඒකට කොහොම හරි සභභාගි වෙනවා.

මේනකාට පිට පිට හොඳම නිළි සම්මානය ලැබෙන්නේ හැඳුනුම්කම් නිසා කියලා සමහරු කියනවා?

මට හොඳම නිළි සම්මානය ලැබුණේ තුන්වැනි වතාවට. සම්මාන උළෙලවල මට විශේෂ සම්බන්ධකම් තියෙන අය නැහැ. මම කොහොමත් විශේෂ සම්බන්ධකම් පවත්වන කෙනෙක් නෙවෙයි. අඩු ගානේ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, නළු නිළියෝ එක්කවත් විශේෂ සම්බන්ධකම් නැහැ. හැබැයි මම ඕන කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරලා ඉන්නවා. බුද්ධිමත් ඇහැකින් බලන කෙනෙක්ට මගේ දක්ෂතාවක් තියෙනවාද නැද්ද කියලා බලන්න පුළුවන්. මාව විවේචනය කරන්න පුළුවන්. හැබැයි මාව විවේචනය කරන්න කලින් ඒ විවේචනය කරන අයට රන්මැණිකා කවුද කියලා හොඳට බලන්න කියනවා.

ඒ කියන්නේ මේනකාට සම්මාන ලැබෙන්නේ හැඳුනුම්කමට නෙවෙයි දක්ෂතාවටමයි.

ඔව්. හැඳුනුම්කම්වලට සම්මාන දෙනවා නම් හරි සම්මාන ගන්නවා නම් හරි ඒ අයව ගහලා එළවන්න ඕනෙ.

සම්මාන ගැන බලාපොරොත්්තු තියාගෙන ඉඳලා වෙන කෙනෙක්ට සම්මානයක් ලැබුණොත් මේනකාට දුක, ඊර්ෂ්‍යා හිතෙනවද?

මගේ වයසත් එක්ක මාව සම්මානයකට නොමිනේට් වීමත් සම්මානයක් ලැබුණා හා සමානයි කියලා මගේ අම්මා කියනවා. ඒ වචනවලින් මම හයිය වුණා. මට සම්මානය නොලැබිලා වෙන කෙනෙක්ට ලැබුණත් ඒක දරාගන්න ආත්ම ශක්තියක් මට තියෙනවා. ජීවිතේ නොලැබෙන දේවල් මම අතහරිනවා. මට කා ගැනවත් දුකක් ඊර්ෂ්‍යාවක් නෑ.

මේනකා ක්ෂේත්‍රයේ විශේෂ යාළු මිත්‍රකම් තියාගන්නේ නැත්තේ ක්ෂේත්‍රයේ අය ළඟින් ඇසුරු කරන්න බැරි නිසාද?

කලාකරුවෝ හරිම සංවේදී. සංවේදී අය එක්ක ඉද්දි පරිස්සම් වෙන්න ඕනෙ. මොකද පොඩි දේකින් හරි එයාලගේ හිත රිදෙන්න පුළුවන්. ක්ෂේත්‍රයේ යාළුකම් දීර්ඝකාලීනව පවත්වන්න වෙලාවක් නෑ. මගේ පාසලේ යාළුවෝ තමයි මගේ හොඳම යාළුවෝ. එයාලා මොනවා වුණත් මාව වැරැදියට තේරුම් ගන්නේ නැහැ. මට ඕනෙ ක්ෂේත්‍රයේ අය එක්ක හිත හොඳින් ඉන්න. ඒ නිසා ලිමිට් තියාගෙන ඉන්නවා. මම ටිකක් තනියමත් ඉන්න කැමැති කෙනෙක්.

මේනකාට ක්ෂේත්‍රයේ තරහකාරයෝ නම් ඇති නේද?

මාත් එක්ක තරහා අය ඉන්නවද දන්නේ නෑ. එහෙම අය ඉන්නවද කියලා මම හිත යොමු කරන්නේ නෑ. මම කා එක්කවත් රණ්ඩු වෙන්නේ නෑ. කාටවත් වැරැදි කරන්නෙත් නැහැ.

මේ දවස්වල රංගන කටයුතු පැත්තෙන් මොකද වෙන්නේ?

ගැමුණු මහරජ ටෙලි නාට්‍යයේ ෂූටින් ඉවර කළා. තව නාට්‍ය තුනකට කතා කරලා තියෙනවා. ඒවා තාම සාකච්ඡා මට්ටමින් තියෙන්නේ.

පුංචි තිරයේ වැඩ පෙන්නුවට මේනකාගෙන් සිනමාවට හරියට වැඩක් ගන්නේ නැති පාටයි?

මම ආලෝකෝ උදපාදි සහ තුන්පත් රෑන චිත්‍රපට දෙකට සම්බන්ධ වුණා. ඉදිරියේදී ඒ චිත්‍රපට තිරගත වෙයි. හැබැයි සිනමාවට අපෙන් ප්‍රයෝජන ගන්නෙම නැහැ. ලංකාවේ ලස්සන, දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉද්දි ඇයි පිටරට රංගන ශිල්පිනියන් හොයන්නේ. ඇයි ලංකාවේ ශිල්පීන්ගෙන් ගුණාත්මක දෙයක් කරන්න බැරි. සිනමාවට හරි ආරාධනාවක් නැති එක ගැන දුකයි.

මේ දචස්වල රියැලිටි වැඩසටහනකට කලා ශිල්පීන් බොහෝ දෙනෙක් එකතු වෙලා. මේනකාව ඒ වැඩසටහනෙන් හැලුණද?

නැහැ. මටත් ආරාධනා ලැබුණා. ඒත් මගේ මල්ලි ඇක්සිඩන්ට් වුණු නිසා එයාගේ කටයුතුවලට මට කැපවෙන්න වුණා. ඒ එක්ක රියැලිටි එකකට සාධාරණයක් කරන්න බැරි නිසා ඒ ආරාධනාව භාරගත්තේ නැහැ.

මේනකාගේ හීනයක් හැබෑ වෙන්න යනව කියලත් ආරංචියි.

ඔව්. මගේ ඩ්‍රීම් එක හැබෑ වෙන්න යන්නේ. පොඩි පැටව් ටිකකට නර්තනය උගන්වන්න මට හීනයක් තිබ්බා. ඉතිං දෙසැම්බර් මාසේ 3 වැනිදා ගල්කිස්ස තපෝදනාරාම පන්සලේදී උදේ 10.00ට නර්තන වැඩමුළුවක් තියලා ළමුන් බඳවා ගැනීම කරනවා. අවුරුදු 3 - 13 අතර දරුවන්ට තමයි මම මූලික තැන දීලා තියෙන්නෙ. මේ දවස්වල අනෙක් දේවල් ටිකක් පැත්තක තියලා ඒ හීනෙට යන්න වැඩ කරනවා.

menaka-21-11-16

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම
ඡායා - අසන්ත ගමආරච්චි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මේනකා මෙදාපාර හැබෑ කරගන්න හදන හීනය මොකද්ද? "

    Post a Comment