16 October, 2016

මගේ චරිතය ගැන දන්න මිනිස්සු දන්නවා - පියුමි වගේ අයට උත්තර බඳින්න යාමත් මෝඩකමක්

ඇය රඟපෑ පළමු චිත්‍රපටයටම ජනතාවගේ ප්‍රසාදය සම්මානයකින් හිමි වුණා. ඒ හිරු ගෝල්ඩන් සම්මාන රාත්‍රීයේදීයි. මෙවර හිරු ගෝල්ඩන් සිනමා සම්මාන රාත්‍රීයේදී ඇයට ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණු නිසා ඇය ගැන රිවිසරසියට ලියන්න හිතුවා. මේ උදාරි ලැබුණු සම්මානය ගැන කියු කතාවයි.

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන රාත්‍රියේදී දිනක්ෂි හා ශලනිව පරද්දලා ජනප්‍රියම නිළිය වෙන්න පුළුවන් වෙයි කියලා හිතුණද…?

ප්‍රවේගය කියන්නේ මම රඟපෑ පළමු චිත්‍රපටය. පළමු චිත්‍රපටයෙන්ම හොඳම නිළියට හිම් සම්මානයට මාව නිර්දේශ වුණා කියලා දැනගත්ත වේලාවේ නම් හුඟක් සතුටු හිතුණා. ඒ වගේම ඒ සම්මානය මට ලැබුණා නම් කියලත් හිතින් හිතුවා. ඒත් ඒ රාත්‍රියේදී ඒ සම්මානය මටම හිමි වෙයි කියලා නම් මම හිතුවේම නැහැ. 

මොකද දිනක්ෂි වගේම ශලනි මට වඩා ජනප්‍රිය නිසා. ඒත් ඒ දෙන්නා සම්බන්ධ වුණ චිත්‍රපට ඒ තරම් ජනප්‍රිය වුණේ නැහැ කියලා මම දැනගෙන හිටියා. ඒත් ඒ දෙන්නා ජනප්‍රියයිනේ. ඒ දෙන්නාම මගේ යාළුවෝ. මට මේ සම්මානේ ලැබෙන්නේ නැතිව ඒ දෙන්නාගෙන් කෙනෙක්ට හිමි වුණත් මම සතුටු වෙනවා.

සම්මානය හිමි නිළියගේ නමට ඔබේ නම කියැවෙනකොට මොකද හිතුණේ…?

ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබෙන්නේ විනිශ්චය මණ්ඩලයකින් නෙමෙයි. ජනතාවගේ මනාපයෙන්. ඒක තමයි වටිනාම දේ වෙන්නේ. ඒ වාසනාව මම ප්‍රවේගය චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැටියට හිමි කරගත්තා. ඇත්තමට මට ඒ සතුට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. තවම සතුට විඳිනවා. එහි ගෞරවය ප්‍රවේගය චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිෂ්පාදක ඇතුළු කණ්ඩායමට හිමි වෙන්න ඕන. ඒ වගේම මේ වගේ සම්මාන උළෙලක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වු හිරු නාළිකාවටත් ස්තූතිය පුද කරන්න ඕන.

ජනප්‍රියම නිළිය වෙන්න කීයක් වියදම් කළාද?

සතපහක්වත් වියදම් කළේ නැහැ. මම සල්ලි වියදම් කරලා එස් එම් එස් දැම්මෙත් නැහැ. ඒත් ෆේස් බුක් වෙබ් අඩවියට හිරු නාළිකාව දාන පෝස්ටර් ෂෙයාර් කළා. ඒවා හුඟක් අය අතරේ බෙදිලා ගියා. මම මේ සම්මානය ගත්තේ කිසිම විදිහකින් මහන්සි වෙලා නෙමෙයි.

ජනප්‍රියම නිළියට හිමි සම්මානයට නිර්දේශ වුණ අනෙක් නිළියන්ගෙන් සුබ පැතුම් ලැබුණද..?

ශලනි නම් ඒ වේලාවෙම සුබ පැතුවා. ඒත් මට දිනක්ෂිව ඒ රාත්‍රියේදී මුණගැහුණේ නැහැ. මගේ අළුත් ජංගම දුරකථන අංකය ඇය ළඟ නැහැ. තිබුණා නම් අනිවාර්යයෙන්ම ඇය මට කතා කරනවා.

රංගන ක්ෂේත්‍රයට අලුත් වුණත් ජනප්‍රිය ඔබට ඊර්ෂයා කරන අය ඇති නේද..?

මම හැමෝමත් එක්කම සුහදව කටයුතු කරන කෙනෙක්. මිනිස්සු අතරේ ඉන්න කෙනෙක් හැටියට මට මොන දේ කළත් මම කාත් එක්කවත් තරහා නැහැ.

දැන් සම්මානිත නිළියක් නිසා රංගනයට අය කරන මුදලත් වැඩි වෙයි නේද..?

සම්මාන ගත්තා කියලා මගේ වෙනසක් වෙන්නේ නැහැ. මම මමමයි. ඒත් රංගන පරාසය වැඩිදියුණු කරගන්න ඕන. ප්‍රමිතියක් ඇතිව නිර්මාණය වෙන නිර්මාණවල මම රඟපානවා. ඒත් මම රංගන ජීවිතේ යන ගමන නම් හිමින් යන්නේ කියන එක මතක් කරනවා.

අහම්බෙන් නිළියක් වෙලා කෙටි කලකින් සම්මානයකුත් අරගෙන ජනප්‍රියම නිළිය වුණ එක ගැන ආඩම්බරයෙන්ද.. ඒ ගැන මොකද හිතන්නේ කියලත් මතක් කරමු..?

ඇත්තටම මම අහම්බෙන් නිළියක් වුණත් පුංචි කාලේ ඉඳලා හිතුවේ කොහොම හරි කලා කටයුත්තකට සම්බන්ධ වෙනවා කියලයි. සිංදු කියලා රඟපාලා හෝ නර්තනයේ යෙදීලා හරි. අඩු තරමින් රූප රචනාවලට හරි ඉන්නයි මට ඕන වුණේ. ඒත් ඒ ඉරණම් ගමන මාව සම්පුර්ණයෙන්ම වෙනස් කළා. ප්‍රවේගයට සම්බන්ධ වුණ නිසා. ඒ ගැන ඇත්තටම මට නිහතමාණිව ආඩම්බර වෙන්නත් සතුටු වෙන්නත් පුළුවන්.

අලුත් නිර්මාණ මොනවාද කියලත් කියමු..?

මගේ දෙවන චිත්‍රපටය වෙන්නේ බෙනට් රත්නායක මහත්මයා අධ්‍යක්ෂණය කරන නෙලා චිත්‍රපටය. ඒකත් ළඟදීම විකාශය වේවි.

පසුගියදා ඔබේ නම ආන්දෝලනයට ලක් වුණා. ශ්‍රීලංකා විවාහක විශ්ව රූ රැජිණ කිරුළ ඔබ හිස මත පැලඳුන නිසා. එය ඔබ ලබා ගත්තේ ලිංගික අල්ලස් දීලා කියලයි පියුමි හංසමාලි නම් කිව්වේ…?

අනේ මන්දන්නේ නැහැ. ඒ වගේ කතා මොකට කියනවාද කියලා. කවුරු කොහොම කිව්වත් මගේ චරිතය ගැන දන්න අය දන්නවා. පරාජය දරා ගන්න බැරිව එයා ජීවත් වෙන පරිසරය අනුව එයා හැසිරෙන විදිහ ඒ. මම ජිවිත් වෙන විදිහ අනුව මම ඒ වගේ අයට උත්තර බඳින්න යන්නේ නැහැ. ඒක මෝඩ වැඩක්.

උදාරිගේ නමට වුණ හානිය නිසා ඊට නිතිමය පියවර ගන්නේ නැද්ද..?

තේරුමක් නැති දේවල් වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ අපරාදේ. මට ඒ ගැන දුකක් නැහැ. එයා ගැන තරහකුත් නැහැ. ඒත් මට සතුටුයි. තරගය අවසන් වෙලත් එයා තවමත් මං ගැන කතා කරනවට.

ආයෙමත් ඇයව මුණ ගැසුනේ නැද්ද..?

තවම නම් මුණ ගැසුණේ නැහැ.

udari-perera-gossip-01

හර්ෂණී වීරරත්න | (ඡායාරූප – චමිල කරුණාරත්න)

_රිවිර

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ චරිතය ගැන දන්න මිනිස්සු දන්නවා - පියුමි වගේ අයට උත්තර බඳින්න යාමත් මෝඩකමක්"

    Post a Comment