22 December, 2016

මං ඒ ගැහැණු ළමයව ඇදගෙන ඇතුළට ගිය අතරේ අනිත් අය මුදල් කොල්ල කෑවා

bank-robber-and-girl-abused

"අම්මට මංගල යෝජනා කිහිපයක්ම ආවා"

"ඒත් මම නිසා අම්මා ඒ එකකටවත් කැමති වුණේ නැහැ"


ජීවිතයක් හරියන්න දිගු කාලයක් ගතවුණාට වරදින්න ඒ තරම් කාලයක් ගතවෙන්නේ නැහැ.

ඒ වගේම නරක යහළුවන් ආශ්‍රය කරලා ජීවිතේ වරද්දගත්ත අයත් ඕනෑතරම් ඉන්නවා.

මේ නිසා නිකරුණේ ජීවිතය නාස්තිකරගත් තරුණ තරුණියන් සිපිරි ගෙවල් වල දුක් විඳින්නේ හිතුවේ නැති විදියට.

ඉතින් අන්න ඒ වගේ ලස්සනට ගෙවන්න තිබුණු ජීවිතයක් අකාලයේ විනාශ කරගෙන සිපිරි ගෙදර දුක් විඳින තරුණයෙක් පිළිබඳවයි මේ කියන්න හදන්නේ.

“මාව මැරෙනවා නම් හොඳයි. මට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ආව මුල් දවස්වල මං ඔහේ බලාගෙන හිටියා. දැන් මං කන්නේ බඩ ගින්නට මිසක් කෑම ගැන තියෙන ආසාවට නෙමෙයි. හරියට වතුරයි බතුයි ගිලිනවා වගේ.”

“හැමදාම දවාලට බත් පෝලිමේ ඉන්නකොට මට මතක්වෙන්නේ අම්මා මටම කියලා මැටි කෝප්පෙන් වහලා තියෙන බත් පිඟාන. බිම සිමෙන්ති පොළොවේ නිදියන්න ගියාම මතක් වෙන්නේ අම්මගේ චීත්තෙ උණුසුම. ඒත් ඒ හැම දෙයක්ම මං විසින්ම නැති කරගත්ත දේවල්.

කුමාර එසේ පවසන්නේ දෑසේ නැගී කදුළු පිස දමමිනි. කොල්ල කෑම, මත්ද්‍රව්‍ය විකිණීම විතරක් නෙවෙයි ස්ත්‍රී දූෂණය ද ඔහුට තියෙන වැරදි වලින් කිහිපයකි. ඒ සියලු වැරදි වලට ලැබුණ දඬුවම් කාලය අවුරුදු පහළොවකටත් වැඩිය. ඔහු මෙපමණ වැරදි ගොඩකට හසුවුණේ කෙසේද ?

“මම ඕන නම් හැදෙන්න ඉඩ තිබුණා. ඒත් නරක ආශ්‍රය මගේ ජීවිතේ විනාශ කෙරුවා. ඒත් අම්මා නම් කිව්වේ පුතේ උඹ අරයා මෙයා කියන නිසා නෙවෙයි උඹගේ හිතට එකඟව වැඩ කරපන් කියලා. ඇත්ත, අරයා මෙයා කියන විදියට නටන්නේ නැතිව මං මට ඕන විදිහට වැඩ කළා නම් අද මහ උළු ගෙදර තපින්න වෙන්නේ නැහැ”

“මං හිටියේ කොළඹ කිට්ටුව. අපේ තාත්තා එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි. එයාගේ වැඩේම මිනිස්සු එක්ක පැටලෙන්න යන එක. අම්මා නම් හරිම අහිංසක ගැහැනියක්. අම්මා, තාත්තා එක්ක කැමැත්තෙන් ඇවිල්ලා නැහැ. තාත්තා අම්මව අරගෙන ඇවිල්ලා තියෙන්නේ බලෙන්. ඒත් අම්මා තාත්තට ආදරෙන් සැලකුව බව නම් මට මතකයි. අම්මගේ ආදරේට තාත්තා කොහොම සැලකුවද කියන්න මට මතක නැහැ. මට දැනුම් තේරුම් වෙනකාලේ වෙනකොට අම්මා තාත්තා ඉදිරියටවත් ආවේ නැහැ.

එයා හැම තිස්සෙම හිටියේ බියෙන්. තාත්තා මාකට් එකේ එළවළු විකුණුවා. ගෙදරට කන්න බොන්න ගෙනාවා. හැන්දෑවට අඩියකුත් ගහලා ගෙදර ආවේ. කොහොමහරි තාත්තා හිටපු ගමන් මැරුණා. මරණ පරීක්ෂණයෙදි කිව්වේ වසක් කැවිලා කියලා. අම්මා නම් කිව්වේ තාත්තාගෙ නපුරුකම් වලට කවුරුහරි වස දෙන්න ඇති කියලා. මහා ලොකු චණ්ඩියෙක් නූනට තාත්තාට ඒ දවස්වල අහල පහළ මිනිස්සු බයයි. ඒත් අම්මට නම් කවුරුත් ආදරෙයි. තාත්තගේ මරණෙන් පස්සේ අපට ජීවත් වෙන්න ක්‍රමයක් හොයා ගන්න වුණා. ගමක හැදිලා වැඩුන අම්මා මිනිස්සු එක්ක ඔට්ටු අල්ල අල්ලා මාකට් එකේ බඩු විකුණන්න දැනගෙන හිටියේ නැහැ.”

“මම ඉස්කෝලේ යන ගමන නතර කෙරුවා. එතකොට මං හිටියේ හයේ පන්තියේ. අම්මයි මමයි දෙන්නම මාර්කට් එකේ් එළවළු විකුණුවා. තාත්තා ගැන මතකය අපේ හිත් වලින් හෙමින් සීරුවේ මැකිලා ගියා. තාත්තා මැරෙනකොට අම්මට වයස අවුරුදු තිස් නවයක් විතර ඇති. අම්මට මංගල යෝජනා කිහිපයක්ම ආවා. ඒත් මම නිසා අම්මා ඒ එකකටවත් කැමති වුණේ නැහැ.”

“අම්මයි මමයි කාලයක් හොඳින් ජීවත් වුණා. ඔය කාලේ තමයි මට සමන්තව මුණ ගැහුණේ. සමන්තට රස්සාවක් තිබුණේ නැහැ. එයා කළේ කසිප්පු පෙරණ එක. මට හරියට මතක නැහැ. මං සමන්තගේ ව්‍යාපාරේ කොටස් කාරයෙක් වුණා. අම්මා වැන්දෙ නැති එක විතරයි. ඒත් මං සමන්තගේ ගෙදර යන එක නතර කළේ නැහැ. දෙතුන් වතාවක් සමන්ත මට ඇප දුන්නා.”

“පුතේ උඹ ඔය ගෙදර යන එක නතර කරපං. නැත්තං මං මේ වහබෝතලේ බොනවා”

“අම්මා දවසක් රෑ ඇද ළඟට ඇවිත් කිව්වා. ඒ වෙනකොට මට අවුරුදු විස්සක් විතර ඇති. අම්මා වහ බොයි කියන බයට මං සමන්තලාගේ ගෙදර යන එක නතර කළා. අම්මා ඊට පස්සේ මාර්කට් එකට එළවළු දාන්න ගියේ නැහැ. ඒත් අපි කොල්ලෝටික එකතු වුණා. ඒ අය එක එක විදියේ වැරදි වැඩ කළා. මේ හැම එකකටම මම හවුල් නැති වුණාට ඒ හැම දෙයක්ම කෙරෙන තැනට මම ගියා.”

“දවසක් යාළුවෝ කට්ටිය අපේ ගෙදර එකතු වුණා. අම්ම නම් කැමති වුණේම නැහැ. මම ඒ අය එක්ක එකතු වෙනවට. ඒත් මම අම්මගේ කීමට වඩා යාළුවෝ කියන දේ ඇහුවා. එදා රෑ කට්ටිය කතා වුණේ ගමේ බැංකුව කොල්ලකන විදිය ගැන. හැමෝටම ගාන බෙදෙන විදිහත් කතා වුණා. සති ගානක් මේ සාකච්ඡාව ගියා. අන්තිමට වැඩේ කරන විදිහ ගැන ස්ථිර තීරණයකට ආවා. අපි ඔක්කොම පස් දෙනයි.”

“ගමේ බැංකුවට අපි නිතර ආව ගියේ නැති වුණාට ඒකේ ඉන්න අයව අඳුනනවා. ඒ නිසා මහදවාලේ අපි මුහුණ බැඳගෙන ඇතුලට ගියා. අපේ සමහර අය ගියේ මුදල් දාන විදිහට. බැංකුවේ කවුන්ටරේ ඉන්නේ වයසක ගැනු කෙනෙක්. එයාට සහයට තරුණ ගැහැනු ළමයෙකුත් හිටියා. මට බාර වුණේ ඒ ගෑනු ළමයව බලා ගන්න. මං ඒ ළමයව ඇදගෙන ඇතුළට ගියා. අනිත් අය මුදල් කොල්ල කෑවා. අර ගෑනු ළමයා මගෙන් බේරෙන්න දැඟලුවා. මගේ අතේ තිබුණේ සෙල්ලම් පිස්තෝලයක්. කෙල්ල දඟලනවා වැඩි නිසා මං කෙල්ලගේ කම්මුලට එකක් ගැහුවා. මං හිතුවේ නැහැ ඒ කෙල්ල මට ගහවි කියලා. කෙල්ල මට පයින් එකක් ගැහුවා. මං දන්නෑ මට මොනවා වුණාද කියලා. මං කෙල්ලට දෙන්න පුළුවන් හැම වදයක්ම දුන්නා. මං විතරක් නෙමෙයි අනෙක් අයත් කෙල්ලට වද දුන්නා. ඒ අතරේ අපේ එක්කෙනෙක් සල්ලි අරගෙන පැනලා ගියා. කෙල්ලගෙයි වයසක අම්මණ්ඩිගෙයි කෑ ගැහිල්ලට ගමේ කට්ටිය බැංකුව වට කළා. කොහොමහරි අපි හතර දෙනෙක් පොලිසියට අහුවුණා.”

පොලිසියේදී අපට හරියට වද දුන්නා. සිද්ධිය දැකපු අය අපට විරුද්ධව සාක්කි දුන්නා. අවුරුදු දෙකකට විතර පස්සේ අච්චු ලැබුණා. අම්මා මුලින් නම් මාව බලන්න ආවේ නැහැ. ඒත් මාස දෙක තුනකට විතර පස්සේ අම්මා මාව බලන්න ආවා.”

“පුතේ ඇයි උඹ මේ වගේ නොහොබිනා වැඩ කළේ කියලා ඇහුවා. මට එයාට උත්තරයක් දෙන්න බැරිව ගියා. මට දැන් තේරෙනවා මං කරපු වැඩේ වැරදියි කියලා. ඒත් ඒ කරපු වැරදි වැඩවල හරි වැරැද්ද තේරෙනකොට මං ප්‍රමාද වැඩියි.”

“අම්මා හැම මාසෙකම වගේ හිර ගෙදර ආවා. මං අන්තිමට අම්මට කිව්වා මාව බලන්න එන්න එපා කියලා. එයා දැන් වයසයි. මට අම්මත් එක්ක අගේට ජීවත් වෙන්න තිබුණා. දුරදිග නොබලපු නිසා තමයි හැම ප්‍රශ්නයක්ම මතුවුණේ.”

“දැන් හිරගෙදර ඇවිල්ලා අවුරුදු අටක් විතර වෙනවා. ඒත් මට කිසිම දේකට උවමනාවකින් සම්බන්ධ වෙන්න හිතෙන්නේ නැහැ. වෙලාවකට හිතෙනවා මාව මැරෙනවා නම් හොඳයි කියලා. තව වෙලාවකට හිතෙනවා මට පිස්සු හැදෙනවානම් හොඳයි කියලා. මට එහෙම හිතෙන්නේ මට මගේ හිත හදාගන්න අමාරු නිසා. මට හැම මොහොතකම ඇහෙන්නේ බැංකුවේ ගෑනු ළමයා කෑගහපු හැටි. සමහර දවස්වලට මට රෑට හීනෙනුත් ඒ මූණ පේනවා. කඳුළු පිරිච්ච බයාදු බැල්මෙන් බලා ඉන්න ඒ ඇස් දෙක දැක්කම මට මම කරපු පව් මතක් වෙනවා. මට ඒ නිසාම හරි හැටි නින්දක් නැහැ. හීනෙන් බය වෙනවා. මේක තමයි මගේ කරුමේ.”

කුමාර පවසන්නේ ඉමහත් කණගාටුවෙනි. ඔහු දැන් තමන් කළ වැරදි පිළිබඳ පසුතැවිලි වන්නේය. ඒවා නිවැරදි කරගෙන හොඳ මිනිසකු වීම ඔහුගේ බලාපොරොත්තුව වූවත් කළ වැරදි අමතක කර දැමීමට ඔහුගේ යටි සිත සූදානම් නැත. ඔහු මොහොතින් මොහොත අතීතය තුළම සැරිසරමින් මානසිකව තැවෙන්නේ එබැවිනි.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මං ඒ ගැහැණු ළමයව ඇදගෙන ඇතුළට ගිය අතරේ අනිත් අය මුදල් කොල්ල කෑවා"

    Post a Comment